Naifmvlog

Naifm vlog Gossip and News

නිත්තවෙල ගුණයා

උඩරට නර්තනයේ රන් සලකුණ නිත්තවෙල ගුණයාඋපන්බිමට ඉස්සර කාලේ මිනිස්සු පුදුම විදියට මේ රටට ආදරේ කරා. වැව් අමුණු දාගැබ් හදපු අය වගේම කලා හැකියාවෙනුත් මේ රට පෝෂණය කරන්න ඒ උතුමන්ට තිබ්බ කැක්කුම නිසා අදටත් අපි රටක් විදියට හරිම ආඩම්බරෙන් ඉන්නවා. ඒත් ඒ පිටිපස්සේ ඉන්න සුන්දර මිනිස්සු කාලයත් එක්කම අපිට අමතක වෙලා. ලංකාව ලෝකය ඉස්සරහා අනන්‍යතාවයක් ගොඩනගාගත්ත කලා මංපෙතක් තමයි නර්තනය. ඒ අතරිනුත් උඩරට නර්තනය අතිවිශේෂයි.පනහේ නෝට්ටුව අපි හැමෝම වගේ දැකලා තිබ්බට ඒකෙ ඉන්න තේජාන්විත නැට්ටුවා ගැන කවුරුවත් ම දන්නේ නැති තරම්. ඒ තමයි මහ යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ. එතුමාව ප්‍රසිද්ධියට පත් වුණේ නිත්තවෙල ගුණයා කියන ආදරණීය නාමයෙන්.1906දී දුම්බර මිටියාවතේ නිත්තවෙල රජමහා විහාරය පිහිටි පින්බර නිත්තවෙල ග්‍රාමයේ ගුණයා ඉපදෙන්නේ කිරි උක්කුවා කියන පනික්කි ගුරුන්නාන්සේගේ එකම පුතණ්ඩියා විදියට. මේ පනික්කි පරම්පරාව හයවෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත ආපු විශිෂ්ට පරම්පරාවක්. වටපුළුව ගමේ ඉස්කෝලෙට අධ්‍යාපනය ලබන්න ගියාට මොකෝ ගුණයා අවුරුදු හතරේ පටන් නැටුම් ශාස්ත්‍රය ප්‍රගුණ කරා.

පොතට පතට ඇලිලා කරන ලියන කියන වැඩවලට වඩා ගුණයා දක්ෂ නැටුමට. අවුරුදු 8දී මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ අනික් ගුරුන්නන්සේලාත් එක්ක මේ පුංචි කොල්ලා අඩව් අල්ලලා තියෙන්නේ හොඳ පළපුරුදු නැට්ටුවෙක් විදියට. ගුණයාගේ ලොකු අප්පච්චි තමයි නිත්තවෙල සුරඹා. නක්ෂත්‍රය සම්බන්ධ දැනුමැත්තෙක් වෙච්ච සුරඹාට තේරුණා මේ කොල්ලා කවදාහරි නැටුමෙන් ලෝකේ පෙරලන බව. ඉතින් පරම්පරාවේ මගපෙන්වීමයි ගෞරවෙයි මැද අවුරුදු 18ක් පිරුණු තැන ගුණයා වෙස් කිරුළු පළඳිනවා.වෙස් බැන්දට පස්සේ අවුරුදු 57ක් පුරාවට ගුණයා ගුරුන්නාන්සේ නුවර පෙරහැරේ නර්තනයේ යෙදිලා තියනවා. සමනල වන්නම, තුරඟා වන්නම, මයුරා වන්නම සහ මහබෝ වන්නම මෙතුමා නර්තනයට දුන්නු මහඟු දායාද. චන්ද්‍රරත්න මානවසිංහ ලියපු අමරදේවයන් ගායනා කළ වැලිතල අතරේ ගීතයට වස්තු බීජේ ගුණයා ගුරුන්නාන්සේගේ මහබෝ වන්නම. වෙස් ඇඳුම් කට්ටලය ඇඳගෙන බුදුන්ට උපහාර පිණිස හැඟීමෙන් කරපු එතුමාගේ රංග විලාසය හරිම අභිමානවත් කියලයි ඒ කාලේ උදවිය කියන්නේ. උඩරට නර්තනය විශ්වව්‍යාප්ත කිරීම නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ අතින් සිද්ධ වුණ උදාරතම සේවයක්.

මේ විස්මයජනක කුඩා නැට්ටුවාගේ කුසලතාව දැකපු ඒ කාලයේ දෙහිවල සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යතුමා වුණ ජෝන් හෙන්බර්ග් මහත්තයා ගුණයා සහ පිරිවර 1927දී ජර්මනියට එක්කගෙන යනවා. උඩරට නර්තනයේ උදාරත්වය ලෝකයක් ඉදිරියේ තියන්න මුල් පියවර ගත්තේ ගුණයා ගුරුන්නාන්සේ. 1957දී රුසියාවේ තිබ්බ ලෝක තරුණ සම්මේලනයට සහභාගී වුණ ලංකා සංස්කෘතික කණ්ඩායමේ නායක තැන ගත්තෙත් එතුමා. එතැනදී ලබන ජනප්‍රියත්වය මත ආයෙත් ජර්මනිය බලා ඉගිල්ලෙන ගුණයා ගුරුන්නාන්සේ බ්‍රිතාන්‍යයේ රැජිනගෙන් පවා ඇගයීමට ලක් වුණා කියලා කියවෙනවා. 1958 ෆිල්ම්ෆෙයාර් උළෙල වන්නමින් විචිත්‍රවත් කරන මේ අපුර්ව මිනිසා ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් ම තමාගේ කරගන්නවා.කළගුණ දැක්වීමක් විදියට ලංකාවේදීත් ඇගයීම් කීපයකට හිමිකම ලැබුණත් ඒ ගොඩක් ඇගයීම් අවසන් වුණේ ගුරුන්නාන්සේගේ හිත පාරවලා. මුදල් නෝට්ටු සහ මුද්දර වගේ දේවල් තුළින් කලාකරුවෙකු නියෝජනය වීම අපේ රටේ අල්පයි. ඒත් ඒ භාග්‍යය ගුණයා ගුරුන්නාන්සේ හිමිකරගන්නවා. 1950 නිදහස් දින සමරු මුද්දරේ වගේම 2005 ඉඳන් රුපියල් පනහේ නෝට්ටුවෙත් මේ අසමසම කලාකරුවාගේ රුව සඳහන්.

අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ අතින් ස්වර්ණ ජයන්ති සම්මානයත් මෙතුමා ලබනවා. ඒ වගේම නිත්තවෙල ආසන්නයේ ම ගමක පදිංචි වෙලා හිටපු ඒ. සී. එල් රත්වත්ත දිසාව තමන්ගේ ඉඩකඩම්වලින් කොටසක් මේ උදාර මිනිසාට දීලා තියෙන්නේ ඇගයීමක් විදියට.මේ රට මොනතරම් සුන්දර රටක් උනත් රටේ හැටියට මිනිස්සු සුන්දර නැති බව ජිවිතයේ එක මොහොතක හෝ බොහෝ දෙනා අත්විඳින දෙයක්. ජර්මනියෙන් 1947දී ඔහුව අගයා දෙන රන් සම්මානය කොළඹදී පාදඩයෙක් හොරකම් කරනවා. මල්මාලා රතු පලස් විතරක් නෙවේ ලබපු සම්මානයත් රටේ මිනිස්සුන්ගේ හොඳකමට ඔහුට අහිමි වුණා. ඒක එතුමාගේ ජිවිතයේ වේදනාබර ම දවසක්. 1973දී ඔහු සම්මානයක් ලබලා මහා වැස්සේ ඒකත් අරන් පාරවල් දිගේ ඇවිදලා තියෙනවා. පිටකොටුවට ඇවිත් මහනුවර බස් එකක් අරන් සම්මානෙත් එක්ක ගෙදර ගියාට මොකෝ සම්මානේ දෙන්න ආපු උදවිය කාර්බාර්වලින් යන්න ඇති. ජිවිතයේ අවසාන කාලයේ ඔහු රජයෙන් ඉල්ලුවේ එකම දෙයයි. ඒ කලායතනයක් හදන්න බිම් කෑල්ලක්.

ඒත් ඇස් දෙක පියාගන්න එතුමාට සිද්ධ වුණේ හීනය හැබෑවක් කර නොගෙන.ගුණයා වෘත්තියෙන් ගොවියෙක්. ඔහු සරල බව, නිහතමානිකම, ආචාරශීලි, විනෝදකාමී මේ ඔක්කොටම වඩා රටට ගොඩක් ආදරේ කරපු උතුම් මිනිසෙක්. ජාත්‍යාලය ඇඟ පුරාම දුවන මිනිසුන්ට මොකක් හෝ කරුමෙකට මේ රට යාදෙන්නේ නැති තත්වයක් තියනවා. ගුණයාගේ එකම පුතා ඔහුව හැර යනවා. දුවත් මිය පරලොව යනවා. ජීවත් වීමේ මාර්ගයක් විදියට කෝපි කඩන මේ අසහාය කලාකරුවාගේ එක් ඇසකට දිමි ගොට්ටක් වැටීමෙන් ඒ ඇහේ පෙනීම නැති වෙනවා. ජීවිතයේ අන්තිම කාලය අන්ත අසරණ විදියට ගෙවන්න සිද්ධ වුණ මොහු මරු වැළඳ ගන්නේ හරිම අවාසනාවන්ත විදියට. ඒ රෑ නින්දේදීම කුප්පි ලාම්පුව ඇඟට වැටීමෙන්. ප්‍රංශයේ සෝබෝර්න් විශ්වවිද්‍යාලයෙන් පවා ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කරමින් සිය රට වෙනුවෙන් ම ජීවත් වුණ මෙතුමාගේ ඉරණම ඛේදවාචකයක් විදියට ඉවර වෙනවා.ආයෙත් අපේ රටේ මේ වගේ මිනිසුන් ඉපදෙන එක නම් සිද්ධ වෙන්නැති දෙයක්. නමුත් ඒ වගේ අය හිටියා කියලා දැනගැනීම හරි වටිනවා. අපේ සංස්කෘතිය රැකගෙන රටට ආදරේ කරන විදිය සහ අනික් මානුෂික ගුණාංග ඒ දැනුමෙන් ජිවිතයට එකතු කරගන්න පුළුවන්. ඒත් කාටුන් ලෝකෙක හිර වුණ රසවින්දනය මොට වෙලා ගිය සමාජයක නිත්තවෙල ගුණයා නෂ්ටාවශේෂයක් පමණක් වේවිද?