Naifmvlog

Naifm vlog Gossip and News

දේවස්ථානයක් ගැඹුරු අත්ලන්තික් සයුරෙන්

ජලයෙන් යට වූ ඉපැරණි හෙරක්ලියෝන් නමැති නගරයෙහි තිබුණු ඉපැරැණි දේවස්ථානයක නටබුන් ඊජිප්තුවේ උතුරු වෙරළට ඔබ්බෙන් “ඊජිප්තු අත්ලාන්තිස්” යනුවෙන් හැඳින්වෙන සාගර කලාපයෙන් හමුවී තිබේ. මෙයින් අවුරුදු 1200කට පමණ පෙර මෙම නගරය සාගර ජලයෙන් වැසී ගොස් ඇතත් වසර 2000දී එය සොයා ගනු ලැබීමෙන් පසු සාගර පුරාවිද්‍යාඥයෝ එහි නව ජනපද මතුකර ගැනීම සඳහා පුළුල් ගවේෂණයක යෙදී සිටිති. ඉතාම මෑතකදී කරන ලද එවැනි ගවේෂණයකදී ජලයෙන් යටවූ ඉපැරණි දේවස්ථානයක නටබුන්ද තඹ කාසි හා ස්වර්ණාභරණ රැසක් සහිත ජල යාත්‍රාවක්ද සොයාගැනීමට ඊජිප්තු හා යුරෝපීය කිමිඳුම්කරුවන්ට හැකි විය. සහමුලින්ම විනාශ වී ඇති එම දේවස්ථානයේ කොටසක් ඉතා සංකීර්ණ ස්කෑන් උපකරණ මඟින් හඳුනාගැනීමට ඔවුහු සමත් වූහ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි හා හතරවැනි සියවස්වලට අයත් කුඩා ගී්‍රක දේවස්ථානයක නටබුන් හා මැටි බඳුන් රැසක්ද මෙහිදී ඔවුනට හමුවිය.

මෙහි තිබී හමුවුණු තඹ කාසි ක්‍රි.පූ. 283 – 246 අතර කාලයේ සිටි දෙවැනි ටොලමි රජුගේ යුගයට අයත්ය. හෙරක්ලියෝන් නගරය ආසන්නයේම සාගර ජලයෙන් යටවුණු කැනොවිස් නමැති ජනපදයේ සිතියමක් සකසා ගැනීමටද පුරාවිද්‍යාඥයන්ට හැකි විය. නගරය තුළ සැතපුමකින් තුනෙන් දෙකක් පමණ පෙදෙසක විසිරුණු ගොඩනැඟිලි කිහිපයක නටබුන් හා ඒ අතර වූ තඹ කාසි රැසක් මෙන්ම මුදු හා කර්ණාභරණ ඇතුළු රන් ආභරණ කිහිපයක්ද ඔවුහු සොයා ගත්හ. මෙහිදී හමුවුණු එම කලාත්මක භාණ්ඩ කිස්තු පූර්ව 305-30 දක්වා කාලයේ පැවැති ටොලමි රාජ්‍ය සමයත් ක්‍රිස්තු වර්ෂ 330දී ආරම්භ වුණු බයිසන්ධයන් අධිරාජ්‍ය සමයත් අතර කාලයට අයත් යැයි ගවේෂකයෝ විශ්වාස කරති. මෙම සාගර කලාපය තුළ ගිලී තිබුණු නැව්වලින් කිහිපයක්ද ගවේෂකයන්ගේ පරීක්ෂණයට ලක්වූ අතර ගොඩනැඟුණු නැවක තිබී මැටි බඳුන්, කාසි හා ස්වර්ණාභරණ රැසක්ද ඔවුනට හමුවිය. ඒවා ක්‍රි.පූ. හතර වැනි සියවසට අයත් යැයි සැලකේ.

ක්ලියෝපැට්රා අනුස්මරණය කරන දේවස්ථානය පිහිටි හෙරක්ලියෝන් නගරය, අබෝකර් බොක්ක නමින් දැන් හැඳින්වෙන සාගර කලාපය තුළ ගිලී යන්නට පෙර, මධ්‍යධරණී කලාපයේ ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවැතියේය. මෙයින් ‍ෙදාළොස් අවුරුද්දකට කලින් සාගර පුරාවිද්‍යාඥ ආචාර්ය ෆ්‍රැන්ක් ගොඩ්ඩියෝ 18 වැනි සියවසේ ඇතිවූ නයිල් සටනේදී ගිලුණු ප්‍රංශ නැව් සොයනු පිණිස ඊජිප්තු වෙරළ තීරයෙහි සෝදිසියක යෙදී සිටියදී ඔහුට නැතිවූ නගරයෙහි තිබුණු කාසි හා රන් භාණ්ඩ අහම්බෙන් හමුවිය. වසර දහසකටද වැඩි කාලයක් තිස්සේ වෙළෙඳ මධ්‍යස්ථානයක්ව තිබිණැයි සැලකෙන හෙරක්ලියෝන් නගරයේ ජන ජීවිතය කෙබඳුවීද යන්න පිළිබඳ යම් ආකාරයක චිත්‍රයක් එයින් මවාගත හැකියැයි ගවේෂකයෝ කියති. මෙම නගරය පිළිබඳ කරුණු ඇතැම් ශාස්ත්‍රීය පොත්පත්හි සඳහන් වූ නමුත් 2000 වසරේදී එය සිතියමකට නැඟෙන තෙක්ම අබුකර් බොක්කේ ජල ස්කන්ධය තුළ සැඟවී තිබිණි.

පර්යේෂක ආචාර්ය ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ කියන පරිදි මුලදී තෝනිස් යනුවෙන් හැඳින්වුණු හෙරක්ලියෝන් නගරය සිතියමට නැඟීම සඳහා පර්යේෂකයන්ට අවුරුදු හතරක් ගත විය. සිතියම සම්පූර්ණ කර ගැනීමට ඔවුනට හැකිවී ඇත්තේ කැණීම්වලින් දශකයකට පමණ පසුවය. නගරය ජලයෙන් යට වීමට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට ආචාර්ය ගොඩ්ඩියෝගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු පර්යේෂක කණ්ඩායමට මෙතෙක් නොහැකි වී ඇති නමුත් අස්ථාවර මඩ ස්ථරයක් මත නගරය ඉදිවීමත් ඉන් පසුව සාගර ජල මට්ටම ඉහළ යෑමත් ඊට හේතු වන්නට ඇතැයි යන්න පොදු විද්‍යාත්මක සාධකය වශයෙන් සැලකේ. මුළු නගරයම එක්වරම අඩි 12ක් පමණ ගැඹුරෙහි ගිලී ගොස් ඇත. තමන් තවමත් සිටින්නේ මේ පිළිබඳ පර්යේෂණයේ ආරම්භක අවස්ථාවේ යැයි 2013දී “ටෙලිග්‍රාෆ්” පුවත්පතට පැවැසූ ආචාර්ය ගොඩ්ඩියෝ සම්පූර්ණ ගවේෂණයක් සඳහා වසර 200ක් පමණ ගත වනු ඇතැයිද කීවේය.

ඉපැරණි හෙරක්ලියෝන් නගරය

ඊජිප්තු හා ගී්‍රක නම්වලින් “තෝනිස් – හෙරක්ලියෝන් යනුවෙන් හැඳින්වුණු මෙම නගරය අවුරුදු 1200කට පෙර සාගර ජලයෙන් සහමුලින්ම වැසී ගියේය. ක්‍රි.පූ. 331දී ඇලෙක්සැන්ඩ්‍රියා නගරය බිහිවන්නට කලින් ගී්‍රක රටවලින් ඊජිප්තුවට පැමිණි සියලුම නැව් මෙම නගරය ඔස්සේ යා යුතුව තිබුණ හෙයින් එකල මේ නගරයට ඉමහත් කීර්තියක් හා සමෘද්ධිමත් සමයක්ද උදා වී තිබිණි. මෙහි වූ අමුන් දේවස්ථානය නිසා ආගමික වශයෙන්ද මෙම නගරයට වැදගත් තැනක් හිමිව තිබුණු අතර රාජ වංශයේ අඛණ්ඩතාව සමඟ බැඳුණු ආගමික චාරිත්‍ර විධිවල අඛණ්ඩ පැවැත්ම සඳහාද එම දේවස්ථානයෙන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටුවිය.

ක්‍රි.පූ. 8 වැනි සියවසේදී නිර්මාණය වුණු හෙරක්ලියෝන් නගරය වරින් වර හටගත් ස්වාභාවික ව්‍යසන හේතුකොට ගෙන කිහිපවරක්ම මෙහි ඉතා දරුණු ජල ගැලීම්ද ඇතිවූ නමුත් නගරය මධ්‍යධරණී මුහුදේ ජලස්කන්ධයෙන් සහමුලින්ම වැසී ගියේ ක්‍රි.ව. 8 වැනි සියවසේදීය. “අධෝජල පුරාවිද්‍යා යුරෝපීය ආයතනය” ආචාර්ය ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝගේ මෙහෙයවීමෙන් 2000 වසරේදී සොයා ගන්නට කලින් තෝනිස් හෙරක්ලියෝන් නගරය පිළිබඳ කිසිදු සඳහනක් නොවීය. මානව සංහතියේ මතකයෙන් එම නාමය සහමුලින්ම මැකී ගියේය. එහෙත් ඉපැරණි ශාස්ත්‍රීය පොත් කිහිපයකත් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද දුර්ලභ ගණයේ ලේඛන කිහිපයකත් හෙරක්ලියෝන් නාමය සඳහන්ව ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

හෙරක්ලස් නමැති සුප්‍රකට වීරයා ඊජිප්තුවට පැමිණ පළමුවෙන්ම පය තැබූ තැන ඉදිකරන ලද මහා දෙවොලක් පිළිබඳව කරුණු ක්‍රි.පූ. 5 වැනි සියවසේදී හෙරඩොටස් නමැති ගී්‍රක ඉතිහාසඥයා ප්‍රකාශ කර ඇත. ට්‍රෝජන් සංග්‍රාමයට කලින් හෙලන් නමැති කාන්තාව ඇගේ පෙම්වතා හාරිස්, සමඟ හෙරක්ලියෝන් නගරයට පැමිණ ඇති බවද එම ඉතිහාසඥයා සඳහන් කර ඇත. හෙරක්ලස් දේවස්ථානය පිහිටි හෙරක්ලියෝන් නගරය, නයිල් ගඟේ කැනොපික් අතු ගංගාවේ මුව‍ෙදාරට නැඟෙනහිර දෙසින් පිහිටි කැනොපස් නගරයටද නැඟෙනහිර පැත්තෙන් හෙරක්ලියෝන් නගරය පිහිටි බව ඊජිප්තු ඉතිහාසඥ ස්ට්‍රැබෝ ප්‍රකාශ කර ඇත.