Naifmvlog

Naifm vlog Gossip and News

ලෝකෙටම තියෙන්නේ එකයි

ජියර්මෙක්වසුට් කියන්නේ මේ ලෝකෙ තියෙන අපූරුම දුම්රිය සේවයක්. කොටින්ම මේ ජාතියේ දුම්රිය සේවාවන් ලෝකෙටම තියෙන්නේ එකයි. මේ දුම්රිය සේවය ක්‍රියාත්මක වන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවරයි. හංගේරියානු බසින් ජියර්මෙක්වසුට් කියන එකේ අර්ථය වන්නේ ළමයින්ගේ දුම්රිය සේවය යන්නයි. බුඩාපෙස්ට් හි ෂෙන්යි හේජි සිට හුවොස්වොල්ගි අතර ධාවනය වන මෙම දුම්රිය මඟෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 11.2ක්.

ඒ කියන්නේ සැතපුම් 7ක් විතර. මෙහි ඇති විශේෂත්වය වන්නේ රියැදුරු හැරුණු විට ප්‍රවේශපත් අලෙවිය, දුම්රිය මාර්ගයේ මෙහෙයුම්, නියාමන කටයුතු ඇතුළු දුම්රියේ අනෙකුත් සියලුම මෙහෙයුම් කටයුතු වයස අවුරුදු 10-14 අතර ළමයි අතින් සිදු වීමයි.මේ අපූරු දුම්රිය සේවයට අඩිතාලම වැටෙන්නේ හංගේරියානු රාජ්‍ය දුම්රිය සේවය මඟින් ළමයි විසින් මෙහෙයවනු ලබන දුම්රිය සේවයක් ඇති කිරීමට තීරණය කිරීමත් සමඟයි.

ඒ සඳහා ප්‍රදේශ කිහිපයක්ම සලකා බලන ලද අතර අවසානයේ හංගේරියානු කොමියුනිස්ට් පක්ෂය ඒ සඳහා බුඩා කඳුකර පෙදෙස තෝරාගනු ලැබුවා. ඒ අනුව එහි ඉදිකිරීම් 1948 අප්‍රේල් 11 වන දින ආරම්භ කළා. එහි පළමු පියවර වූ ෂෙන්යි හේජි සිට එලෝරේ අතර කොටස එම වසරේම ජූලි මාසයේ විවෘත කරන ලද අතර දෙවන අදියර වූ සග්වරිල්ගෙට් දක්වා කොටස ඊළඟ වරේත්, අවසන් අදියර වූ හුවොස්වොල්ගි දක්වා වූ කොටස 1950 අගෝස්තු මාසයේදීත් නිමාවට පත් කළා.

පසුව 1956 දී සිදු වූ හංගේරියානු විප්ලවයේදී මෙම දුම්රිය සේවය වසා දැමුණු අතර නැවත 1957 පෙබරවාරි 3 වැනි දින එය විවෘත කරනු ලැබුවා.දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය අතර ඇති නැවතුම් පොළවල් සංඛ්‍යාව 7ක්. ඒ සෑම නැවතුමක් ආශ්‍රිතවම තේමා උද්‍යාන, සත්වෝද්‍යාන, වැනි ආකර්ෂණීය ස්ථාන පිහිටා තිබෙනවා. ඒ හැරුණු විට සමස්ත දුම්රිය මාර්ගයම වැටී ඇත්තේ බුඩාපෙස්ට් නගරයේ සුන්දර කඳුකර පෙදෙසක් හරහායි.