Naifmvlog

Naifm vlog Gossip and News

ප්ලාස්ටික් අනුභව කරන

“ප්ලාස්ටික්” ලෝකයටම ප්‍රශ්නයක්. ඊට හේතුව ඒවා දිරාපත් වීම සිදුවන්නේ බොහෝ කාල වකවානු පසු කළාට පසු නිසාය. මෙය නිෂ්පාදනයක් වශයෙන් යොදාගත් පසු විනාශ කිරීමට කිසියම් ක්‍රමයක් සොයාගත යුතු යැයි සිතූ විද්‍යාඥයන් කාලයක පටන් කල්පනාවට ගත්තා. පර්යේෂණ සිදුකළා. එහි උපරිම ප්‍රතිඵල අවස්ථාව උදාවුණේ 2018 අප්‍රේල් 19දායි.“ලෝකය නිපදවන සියලුම ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉන්පසු පරිසරයට හානිකර තත්ත්වය ඇති කරන්න ඉතිරි නොකර විනාශ කර දමන්නට, එම ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාවක අන්තර්ගත එන්සයිමයක් සොයාගත්තා.

එය තවදුරටත් වර්ධනය කරලා ප්ලාස්ටික් අනුභව කරන, කා දමන, දිරාපත් කරවන ක්‍රියාවලියට මේ හොයාගැනීම මහත් උපකාරී වෙනවා” මෙය සොයාගත් විද්‍යාඥයන් සතුටින් පැවැසුවේ එලෙසයි. මේ අනුව “පෙට්” ලෙස ලොවම හඳුන්වන, බෝතල් සෑදීමට යොදාගන්නා ඝන ප්ලාස්ටික් ද්‍රව්‍යය දින කිහිපයක් තුළ දිරාපත් කරවීමට අවශ්‍ය වන එන්සයිමය PETase ලෙස නම් කිරීමට යෙදුණා. මෙම එන්සයිමය යොදාගත් විට ප්ලාස්ටික් නිෂ්පාදනය භාවිතයෙන් පසු පරිසරයට මුදා නොහැර ඉතා ඉක්මනින් විනාශ කර දමන්නට හැකිවනවා. අවශ්‍ය නම් යළි ප්‍රතිචක්‍රිය ක්‍රියාවලිය හරහා ප්‍රති නිෂ්පාදනයට යොදාගත හැකියාව ඇති කරවනවා.

ප්ලාස්ටික් ආහාරයට ගන්නා මේ කියන අපූරු එන්සයිමය ජපානය පළමු වරට යොදාගත් කතාවත් අපූරු එකක්.“අයිඩියෝනෙල්ලා සකායින්සිස්” නම් ජපන් ආයතනය තමන්ගේ ප්‍රධාන බලශක්තියක් ලෙස යොදාගන්නේ ප්ලාස්ටික්. ඒ අනුව ඔවුන් ප්‍රතිචක්‍රිය ක්‍රියාවලිය සඳහා පසෙක ගොඩගසා තිබුණු ප්ලාස්ටික් බෝතල්වල තැවරුණු රොන්මඩ විශේෂයක් විශේෂ අවධානයට ලක් කළා. එම රොන් මඩ දැඩි ලෙස පර්යේෂණාගාර තුළ පරීක්ෂණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුණු ගොඩක් අතරින් සොයාගත් රොන් මඩවල තිබී PET ase නම් එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාවක් හොයාගත්තා.

ඒ 2016 වසරේදියි.පසුගිය වසර කිහිපය තුළ ලෝකය ඉතා විශාල වශයෙන් ප්ලාස්ටික් නිපදවීමට උත්සුක වීමේ අවස්ථාවන් සමඟම ලෝකයටම ප්ලාස්ටික් හිරිහැරයක් වුණා. නමුත් ජපන් විද්‍යාඥයන්ගේ මේ විද්‍යාත්මක හරඹය නිසා ලෝකයට ප්ලාස්ටික් මාරයාගෙන් වැඩ අරන් විනාශ කර දමන්නත්, යළි උපදවාගෙන යළි විනාශ කර දමන්නත් හැකි වී තිබෙනවා. PET නමින් අයත් වන ප්ලාස්ටික් කුලය “පොලියෙස්ටර්”ය. එහෙම නැතිනම් “පොලිතිලීන් ටෙරෙෆ්තැලේට්” වශයෙන් හඳුන්වා තිබෙන්නේ පරිසරය තුළින්ම නිපදවා ගන්නට හැකි වූවක් ලෙසය. මෙම එන්සයිමය ජපන් විද්‍යාඥයන් සොයාගත්තේ අහම්බෙන් වුවත් එය තවදුරටත් පර්යේෂණයට භාජන කිරීම ඔවුන් අත්හැර නැහැ.“අපි මෙම හදිසියේ සොයාගත් බැක්ටීරියාවේ පරිණාමය සොයාගෙන යනවා. එය හොයාගත් දිනෙක මෙම බැක්ටීරියාවත් ඊට වඩා වේගවත් කරලා ප්ලාස්ටික් නැත්තටම නැති කරන, එය කා දමන, විනාශ කරන දියුණු බැක්ටීරියාවක් සොයා ගන්නවා.

එය ලෝකවාසී මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස වේවි”ජපන් විද්‍යාඥයන් මේ ගැන මාධ්‍යයට කීවේ එවන් වැදගත් තොරතුරක්. ඒ අනුව ඉතා බලගතු එක්ස් කිරණ යොදාගෙන එන්සයිමයේ ත්‍රිමාන රූප නිර්මාණය කරගෙන තිබෙන අතර එය හඳුනා ගැනීමට මහත් පිටිවහලක් වෙනවා. එන්සයිමයේ ක්‍රියාකාරිත්වය තවත් වැඩි කළ හොත් මීටත් වඩා ප්‍රතිඵලදායී සොයාගැනීමක් කිරීමට අවස්ථා උදාවන බවත් එම ජපන් විද්‍යාඥ කණ්ඩායමේ අදහසයි.තත්ත්වය මෙසේ ප්‍රකට වෙද්දී එම එන්සයිමය අඩු මුදලකින් නිෂ්පාදනය කරවීමටත්, එය ඕනෑම රටකට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි දෙයක් බවටත් පත් කිරීම එම ජපන් විද්‍යාඥ කණ්ඩායමේ අදහසයි. කෙසේ වෙතත් ප්ලාස්ටික් මර-න්න යොදා ගන්නා මේ කියන එන්සයිම නිපදවන කර්මාන්ත ශාලා ඉදිරියේදී බිහිවුවහොත් එය පුදුමයට කරුණක්ද නොවන බැව් කියැවෙනවා. කර්මාන්තයක් ලෙස මෙම එන්සයිම ප්ලාස්ටික් මාරයා, බැක්ටීරියාව ඉදිරි සියවසේ හොඳ පිම්මක් පනින තාක්ෂණ ලෝකයේ අපූරු සොයා ගැනීමක් හා ආධාරකයක් විය හැකියි.