Naifmvlog

Naifm vlog Gossip and News

නිහඬ කලූගාවේ ඌරන් අතර හිඳ

නිහඬ කලූගාවේ ඌරන් අතර හිඳ සිහින දකින්නා – අජටාකාශ විද්‍යාවේ පියා කොන්ස්ටන්ටයින් සියොල්කොව්ස්කි ‘‘පෘථිවිය මානවයාගේ තොටිල්ලයි. නමුත් කිසිවෙකුට හැම විටම තොටිල්ලේ ජීවත් වීමට උවමනා නැත“ යැයි මහා විද්‍යාඥ කොන්ස්ටන්ටයින් සියොල්කොව්ස්කි වරෙක පැවසුවේය.ගුරු විද්‍යාලයෙන් උසස් ගණිත ආචාර්යවරයකු ලෙස පිටව යාම පිණිස දිනකට පැය විස්සක් ඔහු පාඩම් පොත් හදාළේය. ඔහුට ආහාර ලෙස ගැනීමට තිබුණේ පාන් සහ අර්තාපල් පමණි. මුලින් වැසියන් ඔහු හැඳින්වූයේ ‘කලුගාහි සිහින දකින්නා’ කියාය. එම වයෝවෘද්ධ හිසෙහි තිබූ ජෛවයෙන් පිරිපුන් තරුණ මොළය ගැන දැන සිටියේ අල්පයක් දෙනා පමණි. අජටාකාශ විද්‍යාවේ පියා ලෙස යුග යුග බුහුමන් ලබන කොන්ස්ටන්ටයින් ඊ සියොල්කොව්ස්කි නොවන්නට රුසියානුවන් කිසි දිනෙක අජටාකාශයට පය නොතබනු ඇත.කලූගා වැසියන් සිතූ ආකාරයට ඔහු මෙලොවට අයත් මිනිසෙක් නොවේ. නිශ්ශබ්ද, පටු කොරොවින්ස්කියා වීදිය ඔකා ගඟ අසලින් කෙළවර වෙයි.

ශාන්ත ඔකා නදිය, වොල්ගා මාතාවගේ දෙටු දියණියයි. කොරෙන්ස්කියා වීදිය කෙළවර නිහඬ කුඩා ගෙයකි. වැඩි කලඑළියක් නැත. එහි වෙසෙන එකම නිවැසියා කොන්ස්ටන්ටයින් එඩුවාර්දොවිච් ට්සියොල්කොව්ස්කි, බොහෝ කලූගා වැසියන්ට ගරු කටයුතු ගුරුවරයෙකි. එහෙත් ඔහුට ආචාර කිරීමට, ගරු සැලකිලි දැක්වීමට ඉදිරිපත් වන්නේ කවුද?එහෙත් අතුරු පාරක පිහිටි ඔහුගේ විද්‍යාලය පිරී ඇත්තේ උසස් ගණිතය හදාරන ශිෂ්‍යයන්ගෙනි. බිහිරි මනුෂ්‍යයෙකු වන ඔහු රාත්‍රියට ද බොහෝ විට නොනිදයි. තම නිවසේ අට්ටාලය මතට වී ඔහුට පමණක් වැටහෙන පර්යේෂණවල යෙදෙයි. ළමා වියේදී බිහිරි බව උරුම කරගත් ඔහු යමක් ලබා සිටියා නම් ඒ අප්‍රතිහත වීර්යය නිසාය. ගුරු විද්‍යාලයෙන් උසස් ගණිත ආචාර්යවරයකු ලෙස පිටව යාම පිණිස දිනකට පැය විස්සක් ඔහු පාඩම් පොත් හදාළේය. ඔහුට ආහාර ලෙස ගැනීමට තිබුණේ පාන් සහ අර්තාපල් පමණි.එහෙත් මේ රුසියානුවා මිනිසුන් අජටාකාශයට යැවිය හැකි ක්‍රමය සොයා ගත්තේය. අජටාකාශ ජෙට් ප්‍රවාලන සංකල්පය ඔහු එසේ බිහි කළ තවත් න්‍යායකි.

දහඅටවන ශත වර්ෂයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියානු ස්වදේශිකයන් අධෛර්ය කිරීමට රොකට් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ඇත්තකි. ජනතා අධිෂ්ඨාන කණ්ඩායමේ විප්ලවවාදී නායක කිබල්විච්, පෙත්රෝපාවුලවිස්ක් සිරගෙයි අඳුරු කුටියක තනිවී සිටියදී ද කල්පනා කළේ රොකට්වල ආධාරයෙන් පියාඹන යන්ත්‍රයක සැලසුමක් ඇඳීම පිළිබඳවය. පී පියදොරොව්, වායුව රහිත රික්තකයක් තුළ, පියාසැරි යන්ත්‍ර නිපදවිය හැකි යැයි දිව්රුවේය. එහෙත් අජටාකාශ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන්නේ ඉහත කී කිසිවකු නොවේ. වැලැඩිමීර් ඉල්යීව් ලෙනින් බිහිකළ නිහඬ කලුගාවේ තර ඌරන් අතර ජීවත් වෙමින්, මෙම මහලු ආචාර්යවරයා 1903 දී අන්තර්ග්‍රහ තරණය පිළිබඳ නිවැරදි මූලධර්මය ප්‍රකාශයට පත් කළේය.රුසියානු සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික කම්කරු පක්ෂයේ දෙවැනි සම්මේලනය පැවැත්වූයේ ද එම වර්ෂයේමය. ට්සියෝල්කොව්ස්කිම වරක් ප්‍රකාශ කළ ආකාරයට ඔහුගේ අරමුණ වූයේ ‘සීමාරහිත ප්‍රමාණයක් ආහාර හා මහා ශක්තියක්’ මිනිසාට ලබා දීමයි. ඔහු ලෙනින් මෙන්ම විප්ලවවාදී අදහස් දැරුවේය.

ඔහුගේ ක්ෂේත්‍රය වූයේ අජටාකාශ විද්‍යාව හා උසස් ගණිතයයි. පෘථිවි චුම්බකත්වය බිඳ දැමීමට අජටාකාශ තරණ යානාවකට අවශ්‍ය වියෝග ප්‍රවේගය කොතරම්දැයි මුල්වරට ගණනය කළේ ඔහුය. එසේ අජටාකාශයේ සැරිසැරීමට සමත් සාර්ථකම යානය ජෙට් ප්‍රවාලන මූලධර්මයෙන් ක්‍රියාත්මක රොකට් යානය යැයි ඔහු කීවේය. ඒ සමගම ග්‍රහ තරණයට සමත් රොකටයක සැලැස්ම ද ඔහු තනා නිම කළේය. ඉතා සුළු විවේකයක් පවා ගැනීමට මැලි වූ ඔහු එම තාක්ෂණය ද තම පර්යේෂණවලට යෙදවීමට ඉතා කැමැත්තෙන් පසු විය. හරියට තමා යන මග නිවැරදි යැයි ඔහු කලින්ම දැන සිටියාක් මෙනි. එහෙත් ඔහු ගියේ ලෙහෙසි මගක නොවේ.සියොල්කොව්ස්කිගේ 130 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් 1984 වසරේදී නිකුත් කරන ලද රූබලයේ කාසියඑක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේ දී මේ මහා විද්‍යාඥයා, රටෙහි රාජකීය විද්‍යා ඇකඩමිය වැනි උසස් පර්යේෂණ ආයතන රැසක් සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. සමකාලීන විද්‍යාඥයෝ මෙම ගැමි ගුරුවරයා දෙස උපහාසයෙන් යුතුව බැලුවෝය. විටෙක මාස කිහිපයක දහඩිය මහන්සියෙන් කළ වායුපීඩන පර්යේෂණයකට ලැබුණේ රූබල් තුන්සිය ගණනකි. එහෙත් ඔහු දිගටම වැඩ කළේය.

අට්ටාලය මතට නැගගෙන නිදිවරමින් තම පර්යේෂණවලට අවශ්‍ය උපකරණ සියතින්ම තනා නිම කළේය. වායුපීඩනය, අජටාකාශයේ තනිවී පියාඹන අජටාකාශ යානයන්ට කෙණහිලි කරන්නේ කවරාකාරයට දැයි සම්පූර්ණයෙන්ම දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහුගේ පර්යේෂණ වාර්තාවක් පුවත්පතක පවා පළ වූයේ හඳ රාහු අල්ලන්නාක් මෙනි. ඉතා කලාතුරකිනි. ඔහු තුළ මානසික අසමතුලිතකමක් ද විය. තම ශ්‍රමය ඵල රහිත වේ යැයි නිරන්තර බියකින් ඔහු පෙළුණේය. එහෙත් ඔහු වාසනාවන්තයෙකි. බිරිඳ වර්වාරා එව්ග්‍රොපොව්නා ඔහුගේ සෑම දුකක්ම සම සිතින් පිළිගත්තාය. ළෙන්ගතු මිතුරෝ කිහිපදෙනෙක් ද ඔහු වූහ. ‘ගණිතය විනෝදය’ ලියා ලෝක ප්‍රකට වූ, ට්සියොල්කොව්ස්කිගේම ගතිගුණ පිහිටා තිබූ වයි. පෙරල්මාන් එයින් එක් අයෙකි.ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨ නායකයා ලෙනින් මුණගැසීමට මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාට කිසිවිටෙක වාසනාව උදා නොවීය. එහෙත් ලෙනින්ගේ දර්ශනය ඔහුගේ ජීවිතය එළි කළේය. ලෙනින්ගේ සමයේ දී ඉංජිනේරු ට්සාන්ඩාර් ජෙට් යානය තැනීම ඇරඹූවේ ට්සියොල්කොව්ස්කිගේ න්‍යායන් හා මූලධර්ම පදනම් කර ගනිමිනි. එයින් ලෙනින් විද්‍යා නිර්මාපකයන්ගේ මිතුරෙකියි ඔහු නියත වශයෙන් දැනගත්තේය.ඉතිහාසයේ මුල්ම වතාවට උත්තර ධ්‍රැවයට පියාඹා ගිය ඇමුඩ්සන් හා නොබ්ල් යානා අවාසනාවන්ත ඉරණමකට බඳුන් විය. එහෙත් අජටාකාශ තරණයෙහි ලා මිනිසුන්ගේ අනාගතය එයට වඩා අතිශයින් දීප්තිමත් යැයි ට්සියොල්කොව්ස්කි තරයේ විශ්වාස කළේය.

අවර පෙති සහිත ජෙට් ප්‍රවාලන යානා තරුණ ඉංජිනේරු සේනාංක විසින් නිපදවිණි. ඔවුන් මේ සියල්ලටම පදනම් කර ගත්තේ ට්සියොල්කොව්ස්කිගේ කටුසටහන්ය.විප්ලවය ජයගත්තේය. එහෙත් මුලින්ම උදාවූයේ ළදරු සෝවියට් දේශයට ඉතාම අසීරු යුගයකි. කෙසේ නමුත් ගොවි කම්කරු ලෙනින් රජය විද්‍යාඥයන්ට උපරිමය ඉටු කළේය. ඒ අනුව ට්සියොල්කොව්ස්කිට ද සාගත සමයේ දී විද්‍යාඥයින් ලබාගෙන ආහාර සලාක නොමිලයේ ලබා දෙන්නට නියම විය. සමාජවාදී ඇකඩමියේ සාමාජිකයෙකු ලෙස ද, කලූගා ප්‍රකෘති විද්‍යා සංගමයේ සාමාජිකයෙකු ලෙස ද ඔහු පත් කර ගැනිණි. මේ අතර 1921 නොවැම්බර් 9 දා මහජන කොමසාරිස් මණ්ඩලය මෙසේ ආඥා කළේය.“අහස් යානා ශිල්පය වර්ධනය කරවනු වස් කළ උසස් සේවය අගය කිරීමක් වශයෙන් කේ. ඒ. ට්සියොල්කොව්ස්කි හට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් දීමට තීරණය කර ඇත.’

’ එදා සිට තම පවුලට ආහාර සැපයීම පිළිබඳ විශේෂයෙන් සිතීමට ඔහුට අවැසි නොවීය.1932 හේමන්ත ඍතුවේ දී ඔහුගේ 75 වන ජන්ම සැමරුම අති උත්සවාකාරයෙන් සිදු කළ සෝවියට් සංගමය ‘සමාජවාදී ශ්‍රම වීරයා’ පදක්කමෙන් ඔහුට බුහුමන් දැක්වූවාය. එදින මහා රුසියානු ගත්කරු මැක්සිම් ගෝර්කි ඔහු වෙත යැවූ විදුලි පණිවුඩයක මෙසේ දැක්විණි. “ශ්‍රම වීරයාණෙනි, මම ඔබට ගෞරව පූර්වකව සුබ පතමි.’’මිනිස් අදහස් මිල කළ නොහැකි හෙයින්, එම මහඟු අදහස් පළ කරන පොත් මිනිස් වර්ගයා අතර නොමිලයේ බෙදා දිය යුතු යැයි ඔහු විශ්වාස කළේය. එනිසාම ඔහු ‘අර්ධස්ථර ජෙට් යානාව’, ‘රොකට් යානාව’, ‘විශ්වයේ වර්ගයාගේ හෝඩිය’, ‘ජෙට් අහස් යානා’ වශයෙන් ලියා තිබූ ග්‍රන්ථ වෙළෙඳපොළට නිකුත් කළේ නැත. ඔහුගේ අන්තිම කැමැති පත්‍රයේ තිබුණේ මෙවදන්ය.

“මිනිස් ප්‍රගතියේ හා සංස්කෘතියේ නියම නායකයින් වන බොල්ෂෙවික් පක්ෂයට හා සෝවියට් ආණ්ඩුවට අහස්යානා පැදවීමේ විද්‍යාව, අහස් යානා ශිල්පය, රොකට් විද්‍යාව හා අන්තරග්‍රහ තරණය පිළිබඳ මගේ සියලු නිර්මාණ හා කෘතීන් මෙයින් පවරා දෙමි. එම සියලු නිර්මාණ හා කෘතීන් සම්පූර්ණ කිරීමට පක්ෂය හා ආණ්ඩුව සමත් වන බව නිසැකය.’’ එම අභිප්‍රාය එලෙසින්ම ඉටු විය.ඉක්බිති මොස්කව් නගර මධ්‍යයේ අහස දෙස බලා සිටිනා ත්‍රිකෝණාකාර වානේ ස්ථම්භයක් ගොඩනැංවිණි. එහි මුදුනේ රොකට් වෙඩිල්ලකි. මානව ඉතිහාසයේ මුල් වතාවට අජටාකාශය තරණය කළ වීර රුසියානුවන් එයින් අනුස්මරණය වෙයි. සිහිවටනය පාමුල ට්සියොල්කොව්ස්කිගේ ලෝහ ප්‍රතිමාවකි. ඔහුගේ මුහුණ ප්‍රභාන්විතය. බුද්ධිමත්ය. එය මානව දයාවේ ද, ධෛර්යයේ ද සංකලනයකි.‘‘පෘථිවිය මානවයාගේ තොටිල්ලයි. නමුත් කිසිවෙකුට හැම විටම තොටිල්ලේ ජීවත් වීමට උවමනා නැත“ යැයි මහා විද්‍යාඥ කොන්ස්ටන්ටයින් සියොල්කොව්ස්කි වරෙක පැවසුවේය.