Naifmvlog

Naifm vlog Gossip and News

වෙත්තිමුනිගෙ දොස්තර පුතා

මේ වනවිටත් ලෝකවාසීන්ට මහත් හිසරදයක් බවට පත්ව තිබෙන නව ක-රෝනා හෙවත් ක-විඩ්  වයිරසය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයකදී ලොව ලක්‍ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි කරමින් ලක්‍ෂ 22කට අධික ප්‍රමාණයකට මෙම රෝගය ව්‍යාප්ත වී තිබීමෙන්ම මෙම රෝගයේ ඇති භයානක බව පෙන්වා දී ඇත. ක-රෝනා කියන්නේ මේ ශත වර්ෂයේ සිදුවූ භයානකම වයිරසය වුණාට 19 වැනි ශත වර්ෂයේදී ඒ කියන්නේ 1918 වසරේදී හටගත් ස්පැනිෂ් (Spanish) නම් දරුණු උණ රෝගයක් හේතුවෙන් ලෝකයේ මිලියන 50කට ආසන්න පිරිසකට ජීවිතය අහිමි කළා සේම ඇමෙරිකාවේ පමණක් ලක්‍ෂ 7කට ආසන්න සංඛ්‍යාවකට මෙලොවින් සමුගැනීමට පවා සිදුවී තිබිණි.

ඇමෙරිකාවේ පමණක් එම වයිරසයෙන් මිය-ගිය සංඛ්‍යාව කොතෙක්ද කිවහොත් සෑම හිස් ඉඩමකම මිනී වළලා තිබූ බව සඳහන් විය. ඉන් අනතුරුව 1957 වසරේදී ඒෂියන් ෆ්ලූ (ආසියානු උණ) නම් වයිරසයත්, 1968-69 වසරවලදී හොංකොං වයිරස් උණ රෝගයත්, 2009 වසරේදී ස්වින් නමින් උණ රෝගයෙන් ඇමෙරිකාවට දැඩි බලපෑමක් එල්ල නොවූවද මේ වනවිට පැතිර යන ක-රෝනා හෙවත් ක-විඩි වයිරසය හේතුවෙන් ලොව ‘රජු’ බවට විරුදාවලිය ලබන ඇමෙරිකා එක්සත් ජනපදයට අත් වී ඇති හානිය සුළුපටු නොවේ. මේ වනවිට ඇමෙරිකාවේ ලක්‍ෂ 7කට ආසන්න ප්‍රමාණයකට රෝග ලක්‍ෂණ පහළ වී ඉන් 35,000කට අධික සංඛ්‍යාවක් නිහඬ කරවීමට සමත්ව සිටින මෙම ක-රෝනා වයිරසය කොතරම් දරුණු වුවත් රෝගීන් සුවපත් කිරීම සඳහා ඇමෙරිකාවේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දිවා/රෑ නොබලා කරන මෙහෙය අති මහත්ය.

නව ක-රෝනා හෙවත් ක-විඩ්  වයිරසයෙන් පීඩාවට පත්ව සිටින ඇමෙරිකානුවන්ට නිහඬවම සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ද සිටී. 1975 හා 1979 යන වසරවලදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව රඟපාමින් එක්දින තරග 3කදී අර්ධ ශතක දෙකක් ලබාගත් සුනිල් වෙත්තිමුනි මහතාගේ පුත් ශෂී වෙත්තිමුනි මහතා ඒ අතරින් ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකටය. තම පියාගේ (සුනිල් වෙත්තිමුණි) මෙන්ම බාප්පාවරුන් වන මිත්‍ර වෙත්තිමුනි හා සිදත් වෙත්තිමුනිගේ ක්‍රිකට් අඩිපාරේ නොගිය ශෂී වෙත්තිමුනි එයටම නොදෙවැනි සේවයක් සැලසීම සඳහා වෛද්‍ය වෘත්තිය තමන්ගේ ජීවිතය කරගනිමින් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ඉන්පසු ඇමෙරිකානු පුරවැසිභාවය ලබා මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍යවරයකු ලෙස නිහඬවම සේවයක් කරන ශෂී වෙත්තිමුනි මහතා ක-රෝනාවෙන් පීඩාවට පත්වූ ජනතාවට කරනු ලබන සේවය සඳහා එම ජනතාව විසින් කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුට (ශෂී වෙත්තිමුනි) ලබා දුන් ගෞරවය ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය. මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ස්ටේටන්හි ජීවත් වන ශෂී වෙත්තිමුනි මහතා ක-රෝනා වයිරසය වැලඳී සිටි රෝගීන්ට දිවා/රෑ නොබලා කළ නිහඬ සේවය ලෙහෙසි පහසු එකක් නොවන බව දන්නේ එම රෝගයෙන් පීඩාවට පත්වූ පිරිස පමණි. මේ වනවිට ක-රෝනාවෙන් පීඩා විඳින දරුණුතම නගරයක් ලෙස ප්‍රකටව පවතින නිව්යෝර්ක් නුවරදී ඔහු කළ මෙහෙයට උපහාර දැක්වීම සඳහා මෙම රෝගයෙන් සුවපත් වූ පිරිස ඔහුගේ නිවෙස අසලට පැමිණ ඔහුට ගෞරව දැක්වීම කැපී පෙනුණි.

‘බොහෝම ස්තුතියි’, ‘අපි ඔබට ආදරෙයි’, ‘ඔබ හැමදාමත් අපිට ඕන’ යන වචනමාලාවන් තමන්ගේ වාහනවල සටහන් කරමින් ඔවුන් ශෂී වෙත්තිමුනි මහතාගේ නිවෙස අසල මල් කලඹ තබමින් පී්‍රති ඝෝෂා කරන අයුරු වෙබ් අඩවිවල දක්නට ලැබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාටද අභිමානයකි. සුදු, කළු භේදයකින් හෝ ජාති භේදයකින් තොරව අසරණ වූ ජනතාවට සේවය සලසන්නා ‘ජනතා වීරයෙකි. එසේම දරුණු ජීවිත අවදානමක් තිබියදීත් එය පසෙකලා අසරණවූවන් වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා හැමදාමත් ජනතාවගේ හදවත් තුළ සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එසේනම් ශෂී වෙත්තිමුනි පිළිබඳවත් අප සියලු දෙනාටම කිව හැක්කේ ඔහු ‘නිහඬ වීරයෙක්’ බවය.