Naifmvlog

Naifm vlog Gossip and News

සූර්ය බල විදුලි උත්පාදන කට්ටල

අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 20කට නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදන කට්ටල ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (16දා) විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මේ සම්බන්ධව ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම සූර්ය බල කට්ටල නොමිලයේම ලබාදෙන ලෙස ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

දැනට විදුලිබලය නොමැති පවුල් 12,500කට මෙන්ම සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14 කටත් සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් විශාල සංඛ්‍යාවද ආවරණය වන පරිදි මෙම අනුග්‍රහය ලබාදීමට තීරණය කර තිබේ.දැනට ඇතැම් අඩු ආදායම්ලාභී පවුල් තම නිවාස වෙත විදුලිය ලබාගෙන ඇතත් විදුලි බිල්පත් ගෙවීමේදී ඔවුන් යම් අපහසුතාවලට මුහුණපා සිටින බවත් ඔවුන්ද මෙම වැඩපිළිවෙළට එක් කර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙසද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දී ඇත.මේ සඳහා දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් ඔවුන්ට විදුලි උත්පාදන කට්ටල නිපදවීමට ධෛර්යය ලබාදීමද මෙම වැඩපිළිවෙළේ තවත් අරමුණක් බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.