Naifmvlog

Naifm vlog Gossip and News

ගල්ඔය ව්‍යාපාරයේ තවත් එක් විශේෂයක්

අද සෑම සංවර්ධන යෝජනා ක්‍රමයකටම පාහේ විදේශ ආධාර බලාපොරොත්තු වුවද එදා විදේශයන්ට ගැති නොවී රට තුළින්ම සොයා ගත් මුදලින් මෙම යෝධ සංවර්ධන යෝජනා ක්‍රමයේ කටයුතු කිරීමට හැකිවීම ගල්ඔය ව්‍යාපාරයේ තවත් එක් විශේෂයක් වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය ලෙස වාර්තා වන්නේද ගල්ඔයයි. ඇමෙරිකාවේ මොරිසන් නුඩ්සන් ඉන්ටර්නැෂනල් (ර්.ම්.ධ්) සමාගමට මෙහි ඉදිකිරීම් කටයුතු භාරදුන් අතර 1951දී ප්‍රධාන වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ගොවි ජනපද 43ක් ස්ථාපිත කර ඇත. ජනපද 25ක සිංහල ගොවි පවුල්ද, ජනපද 15ක දමිළ සහ මුස්ලිම් ගොවි පවුල්ද පදිංචි කර ඇත. දිසාපතිවරු මාර්ගයෙන් ඉඩම් කච්චේරි පවත්වා රටේ හතර දිග්භාගයෙන්ම තෝරා ගන්නා ලද ඉඩම් නොමැති ගොවි පවුල් 5,859ක් පමණ ගල්ඔය වම් ඉවුරේ ජනපදවල පදිංචි කර තිබේ.

අද වන විට මෙසේ පදිංචි කරන ලද මුල් පරම්පරාවේ ගොවි පවුල් 5,859 අතරින් සැමියා හා බිරිය යන දෙදෙනාම ජීවත්වන ගොවි පවුලක් සොයා පසුගිය කාලය පුරාම ගල්ඔය වම් ඉවුරේ ජනපද අස්සේ කරක් ගැසූ අපිට එවැනි එක් ගොවි පවුලක් සොයා ගැනීමට හැකිවිය. මේ ගොවි පවුල එදා ගල්ඔය පදිංචි කරන ලද මුල් පරම්පරාවේ ගොවි පවුල් අතරින් මේ දක්වා ජීවත්වීමට වාසනාව ලබා ඇති එකම ගොවි පවුල ලෙස අපි විශ්වාස කරමු. මෙතැන් සිට වැරැන්කැටගොඩ, කොහොඹාන, වලගම්පුර අංක 27/146 නිවසේ පදිංචිව සිටින එම ගොවි පවුලේ පැටිකිරියට කන්දෙමු.“නවසිය විසිහතේ ලුණුවත්ත පන්නලවෙල උපන්න මම රත්නායක මුදියන්සේලාගේ පුංචිසිං‍ෙඤා්. නවසිය තිස්හයේදී ඒ ගමේම ඉපදුණු බාලසූරිය මුදියන්සේලාගේ සුදුමැණිකා මගේ නෝනා. අපි දෙන්නට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. අපේ තාත්තා අපි පොඩි කාලෙදී මැරුණා. පවුලේ හය දෙනෙක් හිටියා. මම බඩ පිස්සා. ගම ඉන්නැද්දිත් ගොවිතැන් බත් කළා. ඒත් හය දෙනෙක්ගෙ බඩකට පුරවන්ට මදි. අපිටම කියල මහ ලොකුවට ඉඩමක් කඩමක් නෑ. ඔය දවස්වල ගල්ඔය ඉඩම් දෙන ආරංචියක් ගමට ආවා. අම්මයි, මමයි ආරච්චි මහත්තයට කන පින්දම් ගහල ඉඩම් කච්චේරියට ගියා.

ආරච්චි, ලොකු රෙක්මන් එකක් දුන්නා. අන්තිමේදී ගමේ හත් අට දෙනෙක්ටම ගල්ඔය ඉඩම් හම්බ වුණා. නවසිය පනස්හතරෙ දවසකදී බදුල්ලට ගිහින් කෝච්චියේ නැඟල පොල්ගහවෙලට ගිහින් මඩකළපු කෝච්චියේ මඩකළපුවට ආවා. එදා රෑ මඩකළපුවේ පන්සලක හිටියා. රෑට ලූනු තෙල් දාල පාන් දුන්නා. කෝච්චියට අපෙන් සල්ලි ගත්තෙ නෑ. අපේ ලට්ට ලොට්ට වෙනමම වැගන් එකකට දැම්මා. මහ ලොකු වස්තුවක් තිබ්බෙ නෑ. කොලනියට ආවාම කොහොඹාන කියන පරණ ගමේ උදවිය උදවු උපකාර කළා. ඇළවේලි කපල තිබුණට වතුර නෑ. බෝඩ් එකෙන් කන්ට දුන්නා. කඳුරුවල පූ වළවල් හාරගෙන වතුර ගන්න හැටි කොහොඹාන පරණ ඇත්තෝ කියල දුන්නා. වන මෘගයෝ වැහි වැහල වගේ. හවා වෙනකොට ගෙට රිංගලා ‍ෙදාර වහ ගන්නවා. කෑ කොස්සන් ගහපුවාම අලි බොටානම් පන්න ගතෑකි.කුඹුරු දුන්නට හද්ද කැලේ. අපි දවස් ගාණක් කැලේ කැපුවා. ඒවා ගිනි දාල කුඹුරු අස්වද්ද ගත්තට මොකද මට හම්බවුණේ.

ඇළේ අගාවතේ කුඹුර. කොහොමටත් වතුර එන්නෙ නෑ. මමත් වැඩේ අත් හැරියෙ නෑ. උඩහ ඉඩම්වල වතුර පාත්වෙන කුණු ඇළේ පෝටාවක් බැඳල 147 ගොයියයි මමයි වතුර ගත්ත. පෝඩියාරේ උන්ද උදවු උපකාර කළා. කෝකටත් පෝඩියාරෙගෙ කරත්තෙ තමයි. වී ටික ගෙනත් දුන්නෙත් ඒ කරත්තෙන්. බෝඩ් එකෙන් හරක් ගන්ට සල්ලි දුන්නා. කල්මුණේ මරක්කයන්ගෙන් හරක් ගත්තා. එදා කුඹුරු හාන්ටයි, කොළ පාගන්ටයි මරක්කයන්ගෙ හරක් ඇන්න ලොකු වියදමක් ගියා. දහදුක් වින්දා. ඒත් තාමත් ජීවත් වෙනවා. ඩී.ඇස්. සේනානායක උත්තමය මතු නිවන් දකින්ට අපි මෙහෙමවත් ජීවත් වෙනවා. ගම හිටිය නම් මැරුන තැන්වල ලොකු ගස් තියේවි. දැන් ලෙඩා දුකා වෙලා. හරියට ඇස් පේන්නෙ නෑ. බඩ පෙරළෙනවා. අරකද? මේකද? ලෙඩ කෝටියයි. නෝනත් ලෙඩා දුකා. උන්දැට මට විතරවත් හයියක් හත්තියක් නෑ. ඇඳටම වැටිලා. ඇස් පේන්නෙම නෑ. අපි දෙන්නම බලාකියා ගන්නෙ බාල පුතා ආරියදාස. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

ආර්.එම්. ආරියදාස කිව්වෙ මෙහෙම දෙයක්.  දැන් තාත්තගෙ කුඹුර වැඩ කරන්නේ මම. එදා වගේම අවුරුදු හැට හැත්තෑවක් ගියත් කුඹුරට වතුර ගන්ට බෑ. ඒක අපේ කරුමෙ. කියන්ට ඕන, ලියන්ට ඕන හැම කෙනාටම කීවා, ලීවා. ඒත් පිළියමක් ඇහට පේනතෙක් මානෙක නෑ. මේ වතුර ප්‍රශ්නය අපේ නැති බැරි කමට ප්‍රධානම හේතුව වෙලා තියෙනවා.මෙහිදී අපට ශ්‍රී ලංකේය වාරිමාර්ග ක්ෂේත්‍රයේ නව සංකල්පයක් ඉදිරිපත් කළ වාරි ඉන්ජිනේරුවරයකු වූ ජේ.එස්. කෙනඩි මැතිතුමා සිහිපත් විය. දිවයිනේ මධ්‍යම කඳුකරය පිහිටා ඇති අන්දම හා ගංගා ඔස්සේ ජලය මුහුද කරා ගලාගෙන යන අයුරු අධ්‍යයනය කළ එතුමා තැනිතලාවේ ඉදිකරන පැතිරුණු විශාල ජලාශවලට වඩා කඳුකරය අයිනේ ඉදිකරන ගැඹුරු ජලාශවලින් වැඩි ඉඩම් ප්‍රමාණයකට ජලය සැපයිය හැකි බව තේරුම් ගෙන ඉඟිනියාගලදී ගල්ඔය ගඟ හරස්කර ලංකාවේ පළමු ගැඹුරු ජලාශය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඉඟිනියාගල කන්දට නැඟ ගල්ඔය මිටියාවත අධ්‍යයනය කළ එතුමා ‘ඉඟිනියාගල ගල් පොත්ත මත නැඟී සිටින මට අනාගතයේදී වැව් බැම්ම ඉදිකළ යුතු ස්ථානය මනාව පැහැදිලි විය. ඉදිරි කාලයේදී රටේ ඇතිවන රජයකින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් මම ඉල්ලා සිටින්නේ එම කාරණාවට අදාළ ප්‍රශ්න මානුෂික දෘෂ්ටියකින් අවලෝකනය කරන ලෙසය. ඉදිරියෙන් පෙනෙන පට්ටිපොළ ආරු යෝජනා ක්‍රමයෙහි පහළ අඩවියට අයත් ගැමියන් දහඩිය වගුරවමින් ගොවිතැනෙහි යෙදෙන්නේ අර්ධ වහල් තත්ත්වයක ජීවත්වීමටය. ඔවුන් කරන දුෂ්කර සේවාවට වන්දි ලෙස ලැබෙන්නේ ජීවිතය ගැටගසා ගැනීමට තරම් ප්‍රමාණවත් වන සුළු ආදායමකි. මගේ ගමන් සගයා වන උපාලි විජයලත් මහතාට විශේෂ ස්තුතිය.