Naifmvlog

Naifm vlog Gossip and News

කලුන්දෑවේ අප්පුවා රජවී

ඉතිහාසය පිළිබඳ අර්ථ නිරූපණයක් සඳහා අදහස් කෙතරම් මුල්බැස ඇත්ද යන්න; අතීතය කෙරෙහි නිර්මාණාත්මක බැලීමක්, අපට නැත්නම් අප ගූඪවාදයට හෝ නර්මවාදයට ඇදී යෑම වැළැක්විය නොහැකිය. අතීතය කෙරේ එවැනි නිර්මාණාත්මක බැලුම් හෙළීම වූ කලී ජාතිකත්වය අධිනිශ්චය වූ සමාජයකදී දැළි පිහියෙන් කිරි කනවා වැනි ක්‍රියාවක් නොවන්නේද. ඉතිහාසගත කරුණු අරබයා ඇතිවන සංවාද එවැණිමය. සාමාන්‍ය දැනුමේ රීතියට අනුව ගියහොත් හැම ඉතිහාසයකටම, ඉතිහාසගත කරුණකටම පොදුවූ ඉතිහාසගත පිටකොන්දක් තිබේ. ඒ පිටකොන්ද මුල්කරගෙන අවශේෂ කරුණු කාරණාවන් ආයු ලබනු ලබයි. පරම ඉතිහාසය අපගේ පරම්පරාවට ලද නොහැකිය. නමුත් නියමිත තතු චාරිකා සහ ජනප්‍රවාද ඇසුරින් ගැටලුසහගත තත්ත්වය අවම කරගතද හැකිය. ගතානුගතික ඉතිහාසය බැහැරලා ඒ මතින් එකම වූ මඟෙහි යම් මතයක් සභාගත කිරීමද කළ නොහැක්කක් නොවේ.

නාරම්මල – දඹදෙණිය සමඟ සබැඳි දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඉතිහාසය එක් කලකදී ගොවි ගෙදරක අම්බරුවන් රැකගන්නා ලද කොලුවකුගේ භූමිකාව මත තැන්පත්ව ඉතිහාසය තුළ වැළලී ගොස් තිබිණි. ජනප්‍රිය ජනප්‍රවාදය වූයේ කලුන්දෑවේ අප්පුවා රජවී යැයි යන්නයි. අප්පුවා යනු සිංහල රාජාවලිය තුළ සිටි අති දක්ෂ සාහිත්‍යකරුවා යැයි කිසිවෙක් හඳුනා නොගත් යුගයකදී එය සොයාගිය ඉතිහාස පිටකොන්ද අපට කලුන්දෑවේදී මුණගැසිණ. ඔහු නමින් ගුණසේකර බාලසූරිය ය. හේ ඉතිහාසඥයෙක් නොවේ. ඉතිහාසය මටසිලුටු කරවීම සඳහා ප්‍රේමය ඒ මතට කඩාපාත් කළ තැනැත්තෙකි. ඔහු විසින් රචනා කරන ලද අප්පුවාගේ පෙම් හදබස වන සිරිමල් එතනා කෘතිය එයට සාක්ෂි දරනු ලබයි. බොහෝ දුර ඉතිහාස ගමනක් යෑමට පෙරාතුව අප්පුවා පිළිබඳ නිරවුල් දැනුමක් ලබාගත යුතු හෙයින් අපි ඔහුට සවන්දෙමු.“අපි ඉතිහාසය සැකවින් දක්වමු. අප්පුවා රජවීම යන ග්‍රාම්‍ය ජනකතාව ජනකතා සාහිත්‍යයේදී මුණගැසෙනවා.ජනප්‍රවාදයන්ට අනුව දඹදෙණි රාජධානියේ රජගෙදර කුමාරයා, අගලවත්තේ රෙදිනැන්දා කලුන්දෑවේ ගම ගෙදරකට රැගෙන එනවා. කුමාරයා පමණයි දන්නේ ඔහු රාජ කුමාරයෙක් වන වග. ගමරාලගේ දියණියන් දෙදෙනාගෙන් පළමුවැනි දියණිය කළුඑතනා. දෙවැන්නා සිරිමල් එතනා. ගමරාලට වී තිස් අමුණක කුඹුරු සින්නක්කරයක් හිමියි. ඒ කුඹුරු යාය හඳුන්වන්නේ නැම්බඹර වෙල් යාය කියා. නැම්බඹර වෙල්යායට තදාසන්නව එගොඩගම කියන ගම පිහිටා තිබෙනවා. එගොඩගම දඹදෙණි රාජධානිය තුළ කම්හල්කරුවන්ගේ ගම්මානයකි. එයට සාපේක්ෂව කලුන්දෑව හඳුන්වන්නේ නම්බුකාර ගම්මානයක් ලෙස. එගොඩගම කම්මල්කාරයා ගාවට කලුන්දෑවේ ගමගෙදර හරක් බලන අප්පුවා යනවා උදැල්ලක් සකසා ගන්න. දවස් ගණනාවක් කම්මල්කරු විසින් අප්පුවාව රස්තියාදු කරනු ලබනවා. අවසානයේදී යබර තනිවම භාවිත කරලා අප්පුවා කම්හලෙන් උදැල්ලක් සාදා ගන්නවා.

ජනප්‍රවාදවල අතිශයෝක්තිය ගැබ්වෙලා තිබෙන්නේ අදාළ චරිත ශක්තිමත්ව ගොඩනඟන්න. ගමරාල කළු මැණිකාට අප්පුවාව යෝජනා කරනවා. ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. සිරිමල් එතනා පියාගේ කීම අනුව අප්පුවාට බහ දෙනවා. තවත් ජනප්‍රවාදයකට අනුව කලුන්දෑව ගම්මානයට ආසන්නයෙන් රණාවත්ත කියලා ගමක් තියෙනවා. ඒ ගමේ ඉන්නෙ දුර කුලයට අයත් මිනිස්සු. ගමේ ඉන්නෙ මහදුරා ගාවට අප්පුවා යනවා හරක් බානක් ඉල්ලන්න. මහදුරයා අප්පුවා රස්තියාදු කරනවා. ඒ රස්තියාදුව ගැන මහදුරයාගේ බිරිය ඔහුගෙන් විමසද්දී කියනවාලු අප්පුවා රජ වෙලා ඇවිදින් මාව උල තියයි කියලා. හරක් බාන නැතිව අප්පුවාට කුඹුර හාන්න බැහැ. ඒ පාර අප්පුවා නැම්බඹර වෙල්යායට ගිහින් අධිෂ්ඨානයක් කරලා මම රාජ කුමාරයෙක් විත්තිය ඇත්ත ! ඒත් මට රජ වෙන්න හැකියාවක් තියෙනවා නම් මේ විය ගහට කොයි දීපංකරේක ඉඳලා හරි කුළු හරක් දෙන්නෙක් ඇවිත් කර තියනවා කියලා. නැම්බඹර වෙල්යාය දෙපැත්තේ තියෙන්නේ වීරගල කන්දයි කිඹුර කන්දයි කියලා කඳු දෙකක්.ඒ කඳු දෙකේ ඉඳලා කුළු හරක් දෙන්නෙක් ඇවිත් විය ගහට කර තිබ්බලු. ඊට පසුවලු නැම්බඹර කියන වී බුසල් 32 කුඹුරු යාය අප්පුවා විසින් සීසෑවාලු. ඔය අතරතුර සිරිමල් එතනා නැම්බඹර වෙල් යායට ඇඹුල රැගෙන එනවා. අප්පුවා කුඹුර වැඩ කරලා මහන්සිය සන්සිඳවා ගන්න සිරිමල් එතනාගේ ඔඩොක්කුවේ හිස තියාගන්නවා. කෙටි නින්දකට වැටෙන අප්පුවා දකිනවා එයාගේ පය මහපට ඇඟිල්ල පණුවො ගහල තියෙනවා. සිරිමල් එතනා කියනවා එය සුබ සිහිනයක් කියා. දෙවැනිවර හීනය තමයි විය ගහේ බඹරයක් බැඳ තියෙනවා දැකීම. එතකොට සිරිමල් එතනා කියනවා අපේ අයියණ්ඩිට රටේ රජ වෙන්න පුළුවන් කියන එක තමයි ඔය හීනෙන් පෙන්නුම් කරන්නේ කියලා. ඔය අවස්ථාවේ තමයි දඹදෙණියේ රාජ්‍ය කරපු රජු මියගිහින් මංගල හස්තිරාජයා පෙරටුකොට ගත් චතුරංගනී සේනාව සහ රාජකීය ඇමතිවරු අලුත් රජු සොයමින් පෙරහරකින් ගමන් කරන්නේ. මංගල හස්තිරාජයා අප්පුවා ළඟ දණ ගහනවා.

ඒ ස්ථානයට අදත් කියන්නේ ඇතුදණගෑ ගල එසේත් නැත්නම් ඇතුදලගෑ ගල කියලා. ජනප්‍රවාදය අවසන් වන්නේ අප්පුවා මංගල හස්තිරාජයා පිට නැඟලා දඹදෙණි රාජධානියට ගොස් රජ වීමෙන්. අපි දැන් වර්තමාන කතාවට එමු. මේ අප්පුවා ලෙස හඳුන්වා කලුන්දෑවේ ජීවත් වෙලා රජ වුණු රජ කවුද කියන්න ඉතිහාසය දැනසිටියේ නැහැ. රාජ කුමාරයෙක් දේශපාලනික හා සාමාජීය ගැටලු නිසා රජ ගෙදරින් පිටමං වෙලා කලුන්දෑවට පැමිණියා. ඔවුන් පසුව රජ බවට පත්වුණා කියන කාරණය විතරයි ඉතිහාසය කියන්නේ. ජන කතාව කියන්නේ. මීට අමතරව කලුන්දෑ පටුන කියන ජන කවි පොතෙත් මෙම සිදුවීම සඳහන් වෙනවා. එම කලුන්දෑ පටුන කියන ජනකතා පොතේ රචකයා අප්‍රකටයි. අප්‍රකට රචකයා කියන්නේ කලිඟු පටුන කියන පොත සියැසින් දැකලා ඒ අනුසාරයෙන් තමයි කලුන්දෑ පටුන කියන පොත රචනා කළා කියලයි. දඹදෙණි රාජධානිය ආරම්භ වන්නේ දැනට අවුරුදු 810කට පෙරාතුව. කලුන්දෑ සටනින් කියැවෙන්නේ දඹදෙණියේ හිටපු කාලි මාග රජුගේ අග බිසව චුල්ල බද්දාය කියන එක. චුල්ල බද්දා නමද තම බිසවට…. කියල කවියා එලෙස කලුන්දෑ පටුන ආරම්භ කරනවා. මේ චුල්ල බද්දා කුමරිය පුත් රුවනක් ලද විගම මියපරලොව යනවා. රජු ඉන්පසු අගමෙහෙසිය බවට මුසල්මානු කුමරියක් පත්කර ගන්නවා. ඇයට පුතෙක් උපදිනවා. ඒ පුතා උපදින අවස්ථාවේ රජු ඇයට පවසනවා කැමැති වරයක් ඉල්ලන්න කියලා. බිසව ඉල්ලන වරය වන්නේ ඇයට උපන් පුතාට රජකම ලබාදෙන්න යන්න. නමුත් ජන සම්මතය අනුව වැඩිමහල් කුමාරයාට තමයි රජුගෙන් පසු කිරුළ හිමිවන්නේ. කොහොම වුණත් මෙම තත්ත්වය මත අනාරක්ෂිත වන කුමාරයා ඉන් ගලවාගන්න කලුන්දෑ පටුනට අනුව රජු කුමාරයාව ඇතුලග්පුරයට රැගෙන යනවා. ඊට පසුවයි කුමාරයා කලුන්දෑව ගම්මානයට පැමිණෙන්නේ.

හස්තිපුරේ නොසිට කුමරු තැන තැන ඇවිදින  හස්ති ගමන කිසිවක් නැතුවම අත මිට හිඟ වුණු යුක්තිගරුක කලුන්දෑවෙ ගෙදරක නැවතුණු….එතැන් සිට කුමරු කලුන්දෑවේ ගොවි ගෙදරක නතර වෙලා අධ්‍යාපන කටයුතු හදාරනව කියලයි කලුන්දෑව පටුනේ සඳහන් වෙන්නේ. කුමරු කලුන්දෑ පටුන කෘතිය තුළ හඳුන්වන්නේ වත්හිමි කුමරු ලෙස. ජනප්‍රවාද කතා සමඟ එක පලවලේ තමයි එතැන් සිට කලුන්දෑ පටුනත් ගමන් කරන්නේ….. උපන්දා පින් නොකළේ මන්ද වදාලට කලුන්දෑව පින් නොකළේ පැවැති එදා සිට පලන්දන්දන්න පළ අඹරන සිරිමල් එතනට කලුන්දෑව සිරිවර්ධන බිසව් එදා සිට…මෙතැනදී සිරිවර්ධන බිසව් කියන එක ඓතිහාසික සාධකයක්. මහාවංශය, චූලවංශය, පූජාවලිය වගේ වංශ කතාවල සඳහන් වන්නේ දඹදෙණියේ රජ වුණු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ජාත භූමිය සිරිවර්ධන පුරය කියලා. මේ සිරිවර්ධනපුරය කවම කවදාවත් ඉතිහාසඥයන් විසින් සොයාගත්තේ නැහැ. මම සිරිවර්ධන පුරය කොයි ඉසව්වේද තිබෙන්නේ යන්න සොයා ගියා. පොත පත පරීක්ෂා කරද්දී දඹදෙණියේ සිට ගව් දෙකක් බැහැරින් තමයි සිරිවර්ධනපුරය පිහිටලා තිබෙන්නේ කියා සොයා ගත්තා. කලුන්දෑව සමඟ මේ කතා ප්‍රවෘත්තීන් සම්බන්ධ කළාම නැම්බඹර කියන වෙල්යාය සීමා කරගෙන ඊට එහායින් තවත් ගමක් තියනවා මාලිගාතැන්න නමින් අද හඳුන්වන. මේ මාලිගාතැන්න ගමට මැටගොඩවත්ත කියලත් කියනවා. ඒ තමයි සිරිවර්ධනපුරය කියලා ඉතිහාසය හඳුන්වන ස්ථානය. ඒ ස්ථානයේ තිබූ පුරාවස්තු රැසක් රුක්මලේ පන්සල සතුව අදටත් පවතිනවා. දඹදෙණියේ සිට දන්ත ධාතුන් වහන්සේ වඩම්මලා සිරිවර්ධනපුරයේ හත් දවසක් පින්කම් සිදුකළා කියලත් වංශකතාවල සඳහන් වෙනවා.

එහෙම ගත්තොත් කලුන්දෑවට තදාසන්න බිමක තමයි දෙවැනි පරාක්‍රමබාහු රජු ඉපදිලා තියෙන්නේ. ජනප්‍රවාදය කලුන්දෑව පටුන කියන පොත සමඟ ගළපා ගත් විට තත්ත්වය එලෙසයි. මම මගේ සිරිමල් එතනා කියන නවකතාව ලියද්දී තේරුම් ගත්තා දෙවැනි පරාක්‍රමබාහු රජු තමයි මේ අප්පුවා ලෙස ඉතිහාසයේ පෙනී සිටින්නේ කියලා. ජනප්‍රවාද අති සියුම් ලෙස අධ්‍යයනය කරද්දී තේරුම් යනවා අප්පුවා ගමගෙදරදී ඉහළ අධ්‍යාපනයක් ලැබූ බව. ගමරාලගේ හරක් පට්ටිය දුරයාට අඳේට දෙන්නේ ඒ නිසා. අප්පුවා අධ්‍යාපනය ලබන්නේ කලුන්දෑව පන්සලෙන්. කලුන්දෑව පන්සල හඳුන්වන්නේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කියලා. එහි ඉතිහාසය මීට අවුරුදු 1000කට පෙර කාලයට දිවයනවා. එකලදී පන්සල තමයි ගමක අධ්‍යාපන මධ්‍යස්ථානය වුණේ. සූසැට කලාවම ඉගෙනගන්න තිබුණ තැන තමයි පන්සල. දෙවැනි පරාක්‍රමබාහු රජු පණ්ඩිත රජ කෙනෙක්. ඔහු කවිසිළුමිණ රචනා කළා. ක්‍රි.ව 5 වැනි ශත වර්ෂයේදී බුද්ධඝෝෂ හිමියන් ලියූ විශුද්ධි මාර්ගය කියන බොහොම ගැඹුරු පුස්තකයට අටුවාවක් රචනා කළා. එහි නම විශුද්ධි මාර්ග සන්නය. ඊට අමතරව වැනවිනිස සන්නය කියලා කෘතියක්ද රචනා කළා. ඒ නිසා තමයි මේ රජු පණ්ඩිත පරාක්‍රමබාහු රජු ලෙස හැඳින්වූයේ. ජනප්‍රවාදයට අනුව ගමරාලගේ ගෙදර හරක් බලාපු කොලුවා එහෙම තත්ත්වයකට පත්වුණේ කොහොමද කියන ගැටලුව ඇතිවෙනවා.

මේ සාධාරණ පැනයට පිළිතුරු සොයන්න මම දඹදෙණි යුගයේ තියෙන පොත්පත් සියල්ලම පරිශීලනය කළා. මහා වංශය, දීපවංශය, චූලවංශය වගේ. පූජාවලියේ 37 වැනි පරිච්ඡේදය දඹදෙණි ඉතිහාසය පිළිබඳවයි ලියැවී තිබෙන්නේ. දඹදෙණිය යුගයේ පමණක් කෘතීන් 57ක් රචනා වෙලා තියෙනවා. ඒ සියලු කෘතීන් මම පරීක්ෂා කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව තිබෙනවා ලංකාවේ ඉතිහාසය කාණ්ඩ දෙකක්. අමරදාන වීරසිංහ, සෙනරත් පරණවිතාන ඉතිහාසයන්ගේ ලිපි එහි අන්තර්ගතයි. 1958 අවුරුද්දේ දඹදෙණියේ තිබුණා රාජ්‍ය සාහිත්‍ය උත්සවයක්. ඒ සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුව මැදිහත් වී සඟරාවක් නිකුත් කළා. එහි දඹදෙණිය ඉතිහාසය පිළිබඳ වටිනා ලිපි ලේඛන ඇතුළත් වුණා. ඒ සියලු ඉතිහාස කරුණු පිරික්සලා පෙළගසද්දී මට තේරුම්ගන්න හැකිවුණා කලුන්දෑවේ අප්පුවා කියන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජුට කියලා. ඒ සඳහා මට මූලික සාධකය වුණේ දඹදෙණි අස්න. ඒ පොත 4 වැනි පරාක්‍රමබාහු රජු සමයේ ලියැවුණු එකක්. එහිදී තමයි මට ඉතාම වටිනාම සාක්ෂිය ලැබුණේ. දෙවැනි පරාක්‍රමබාහු රජු ගැන ප්‍රශස්තියක් අන්තර්ගතයි.“සූසැට කලා ශිල්පයෙහි කෙල පැමිණියා වූ ශ්‍රී බුද්ධ වර්ෂ එක්දහස් අටසිය සූ විස්සක් අවුරුදු වප් මඟුල කරවන දිනයෙහි දඹදෙණි නුවරට සම්ප්‍රාප්තව නැම්බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජු යැයි නම් ලබා රාජ්‍ය කරන්නාහුය” කියා එහි සඳහන්.එහිදී ඉතා පැහැදිලි කරුණ තමයි එහි සඳහන් වර්ෂය. එය බුද්ධ වර්ෂයෙන් ගත්තොත් 1924. බු.ව. ඉතිහාසය ඉතා පැහැදිලිව සඳහන් කරනවා දෙවැනි පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත්වුණේ ක්‍රි.ව. 1236දී කියා. බු.ව 1824 ක්‍රි.ව. 1236ට හරියට ගැළපෙනවා. ඒ එකම අවුරුද්ද. ඉන් තවදුරටත් මගේ අදහස සනාථ වුණා. එහි සඳහන් පරිදි වප්මඟුල් කරවන දින දඹදෙණි නුවරට සම්ප්‍රාප්තව…. ඒ කියන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජු රජවීමට පෙර දඹදෙණියේ නොසිටි බවයි. රජුගේ ගෞරව නාමය තමයි නැම්බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන්න. නැම්බඹර කෙතේ සී සාද්දී තමයි මංගල හස්තිරාජයා පැමිණ රජුට රාජ්‍යත්වයට ආරාධනා කළේ. නැම්බඹර කියන්නේ රජුගේ ගෞරව නාමය. මේ ආශ්චර්යවත් අවස්ථාව සිහිකරන්න තමයි රජු (අප්පුවා) ඇතා ලවා ගල මත දළ තබා තිබෙන්නේ.