Naifmvlog

Naifm vlog Gossip and News

ගැරේජ් අබලිවලින් ජීප් එකක් හදල

නව නිර්මාණකරුවෝ රටක ආර්ථිකයට මෙන්ම රටේ කීර්තියටද දායකත්වය ලබාදෙති. එහෙත් අප රටේ නව නිර්මාණකරුවන්ට ලැබෙන්නේ කුමන ස්ථානයක්ද කුමන වටිනාකමක්ද යන්න බොහෝ ජනතාව ප්‍රශ්න කරන දෙයක් බවට පත්ව තිබේ.පසුගිය කාලයේ විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ නව නිර්මාණකරුවන් පිළිබඳව ඕනෑ තරම් හෙළිදරව් කිරීම් ගැන ජනමාධ්‍යයේ වගකීමක් ලෙස ඉටු කරන ආකාරය බොහෝ දෙනෙක් දුටුවෙමු.

එහෙත් ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව කිසියම් වගකිවයුතු අයකු පසුවිපරම් කළේද එසේත් නොමැති නම් එම නිර්මාණ රටේ ආර්ථිකයට රටේ කීර්තියට දායක කර ගත්තේද යන්න නිලධාරීන්ගේ වගකීම ඉටු වුණේද යන්න පවතින්නේ ප්‍රශ්න සහගත තත්ත්වයකි.එවන් පසුබිමක රුපියල් 55,000ක වියදමකින් පස් දෙනකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්ක යාය දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.මෙම අපූරු කාර්මිකයා සොයාගෙන අපි ගල්බොක්ක යාය නම් වූ දුෂ්කර ගම්මානයට ගියෙමු.ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි. කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම්කම් දැක්වූ අයෙකි.

ඔහු මේ වනවිට යතුරුපැදියක ඇන්ජින් එකක් යොදාගෙන පස්දෙනකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කොට තිබේ. මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි බවත් විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයෙන් මෙය නිෂ්පාදනය කළ බවත් සිසිර කුමාර මහතා සඳහන් කළේය.මෙම වාහනයේ ගියර්, තිරිංග, විදුලි පහන්, පසුපසට ගමන් කිරීම, ආරක්‍ෂිත බඳ පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග මේ ජීප් රථයේ පවතී.

කුඩා කාලයේ හෙලිකොප්ටර් රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි ඇන්ජින් එකක් උපයෝගි කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔහු පස්දෙනකුට ගමන් කිරීමට හැකි ඉතාමත් ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ.මේ වනවිට ධාවන තත්ත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්‍ෂා කොට බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදවු උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බවද හෙතෙම සඳහන් කර සිටියේය.ත්‍රිරෝද රථවලට යොදන ටයර් සහ ගරාජ්වලින් ඉවතලන විවිධ කොටස් සොයාගන ඉදිරිපසට සහ පසුපසටද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්ත්වයේ පවතී.

මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවෙසට පැමිණ මෙය පරීක්‍ෂා කිරීමට හැකි බවත් ඔහු කියා සිටී.ලියාපදිංචි අංකයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයේ පසුවුවද තම ප්‍රදේශ තුළ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කොට විදේශ රටවලින් ගෙන්වන වාහන අතරට සංචාරක ක්‍ෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරටදීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සඳහා රජයේ සහයෝගය අවැසි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සිසිර කුමාරගේ බිරිය කියා සිටියේ, තම සැමියා දක්‍ෂ කාර්මිකයකු බවත් ඔහුගෙන් රටේ දියුණුවට වැඩ ගතයුතු බවත්ය. තම නිෂ්පාදනය පිළිබඳව හඬ අවදි කළ සිසිර කුමාර තරුණ මහතා,“මම පුංචි කාලේ ඉඳලම මේ වැඩවලට විශාල වශයෙන් උනන්දුවක් දැක්වුවා. මට ඕනෑම නිෂ්පාදනයක් කල්පනා කරලා කරන්න පුළුවන්. ඒ වගේම රැකියාව හැටියට මම කරන්නේ විදුලි කාර්මික ශිල්පය සහ පෙදරේරු වැඩ. මේ අතරෙදි තමයි නව නිර්මාණයක් හැටියට ජීප් රථය නිෂ්පාදනය කළේ. ගරාජ්වලින් ඉවත් කරන කැබලි අරගෙන ඇවිල්ලා ඒවට පණ දීම තමයි සිද්ධ කළේ. මේ තාක්‍ෂණය හරහා ඉතා අඩු මුදලකින් ජීප් රථ නිෂ්පාදනය කරන්න අපට පුළුවන්.

කවුරු හරි උදවු කරනවා නම් මේක තවදුරටත් නිර්මාණාත්මකව පැවැත්මක් ඇතිව අලංකාරව නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේම නිෂ්පාදනය කරගතහොත් සංචාරක ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුට මෙම ජීප් රථය ඉවහල් වෙනවා.වන සතුන් නැරැඹීම සඳහා ගමන් කිරීමට සංචාරකයන් සඳහා හෝටල්වල අභ්‍යන්තර ධාවන පද්ධතියට එක් කිරීමට කුඩා පවුලක සිය ගමන් අවශ්‍යතා ඉටු කිරීමට මෙම ජීප් රථයට පුළුවන්කමක් තියෙනවා. මම මේ ජීප් එක හැදුවට මොකද පාරේ දුවන්න බැහැ බලපත්‍ර නැති නිසා.

මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කවුරුන් හෝ ඉදිරිපත් වෙලා මේ නිෂ්පාදනය හඳුන්වා දෙන්න උදවු කරන්න කියලයි. මොකද කෑලි බෑලි එකතු කරලා මුදල් වියදම් කරලා නිෂ්පාදනය කළාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මගේ හැකියාව තමයි මම මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කළේ.තණකොළ කපන යන්ත්‍රයක එන්ජින් එක උපයෝගි කරගෙන මට පුළුවන් කුඩා ගුවන් යානයක් වුණත් හදන්න.

වෙනත් ධාවන තත්ත්වයේ පවතින වාහන අලුතින් නිෂ්පාදනය කරන්නත් මට පුළුවන්. ඒ නිසා මම කියන්නේ මට යමක් භාරදීලා ඉලක්කයක් ලබාදෙන්න. ඒ ඉලක්කය සපුරන්න මට පුළුවන්කම තියෙනවා.මේ ජීප් රථය හදන්නත් ටික කාලයක් මට ගත වුණා. මොකද දරුවෝ තුන්දෙනා ජීවත් කරවන අතරේ පෞද්ගලික වැඩ ටික කරන අතරේ ඉඩ ලද අවස්ථාවන්වලදී තමයි මේ නිර්මාණය කළේ. තවත් නිර්මාණ කිහිපයක්ම අපේ ගෙදර තියෙනවා. ඒවා කරගන්න වෙලාවක් නැහැ දරුවෝ තුන්දෙනාගේ, අධ්‍යාපනය ලබාදෙන්න ඕන නිසා.” යි සිසිර කුමාර පවසයි.