Naifmvlog

Naifm vlog Gossip and News

වලව් ගමක්ම හැදූ රත්වත්තේ

කුරක්කන් ගලේ කෙටූ ‘දුනු’ යන අකුරු දෙක අදටත් මැකී ගොස් නැත. නමුත් ඒ අයිතිය කියාපෑව ‘දුනුමඬලාව වලව්ව’ නම් අද නැත. කලා වැව පාමුල ‘වලව්වේ ගම’ බිහිවූයේ මේ වලව්වෙන්ය. ‘නුවර කලාවියේ’ රත්වත්තේ පරපුරේ තිඹිරිගෙය මේ දුනුමඬලාව වලව්වය.ලොකු බණ්ඩා රත්වත්තේ රටේ මහත්මයා මේ වලව්ව ඉදිකරන්නේ ඉංගී‍්‍රසි ආණ්ඩු සමයේදීය. ඒ 1877 වර්ෂයේ පමණය. නමුත් පසුකාලීනව රටේ මහත්මයා කලා වැව පාමුල අලුතින් ‘මහ වලව්වක්’ ඉදිකරයි. එතැන් සිට දුනුමඬලාව වලව්වේ පරිහානිය උදාවෙයි. වලව්වේ පරිහානිය උදාවන්නට හේතුවුණ තවත් කරුණු දෙකක් ඇත. ඉන් පළමු කරුණ රටේ මහත්තයාගේ මුනුබුරන් අතර පසුකාලීනව ඇතිවුණ බූදල් නඩුව. දෙවැනි කරුණ නම් 1976 ඇරැඹි මහවැලි ව්‍යාපාරයට ඉඩම් අත්කර ගැනීමය.

1945 කාලය වනවිට මේ වලව්වේ වැඩිම දේපළ ප‍්‍රමාණයකට හිමිකම් පෑවේ පුංචි බණ්ඩා රත්වත්තේ මහතාගේ දරුවන්ය. මොහු ලොකු බණ්ඩා රටේ මහත්මයාගේ බාල පුතාය. පුංචි බණ්ඩා රත්වත්තේ මහතාට දරුවන් තිදෙනෙකි. ඒ අබේරත්න රත්වත්තේ, මල්ලිකා රත්වත්තේ හා සීලවතී රත්වත්තේ යන දරුවන්ය. පිය උරුමය වෙනුවෙන් දුනුමඬලාව වලව්වේ වැඩිම දේපළ ප‍්‍රමාණයකට හිමිකම් පෑමට මුල්වූයේ පුංචි බණ්ඩා රත්වත්තේ මහත්මයාගේ දියණිය වන මල්ලිකා රත්වත්තේ කුමාරිහාමිය. (1909-1998). ඇය ලොකු බණ්ඩා රත්වත්තේ රටේ මහත්මයාගේ මිනිපිරියකි. ඇය විවාහ වී සිටියේ බෝයගොඩ වලව්වේ ‘ශ්‍රිනාම බණ්ඩාර බෝයගොඩ’ ගම්පති සමඟය.

මෙතුමා උතුරු කලාගම් කෝරලේ හිටපු ගම්පතිය. මේ කරුණු ‘පාරදිගේ’ අප ඉදිරිපත් කළේ දුනුමඬලාව වලව්ව වටා ගොඩනැඟී තිබූ දේපළ උරුමය හා පසුව උරුමය බෙදීගිය අයුරු වටහා ගැනීමටය. ලොකු බණ්ඩා රත්වත්තේ රටේ මහත්මයාගෙන් (1878) පසුව ඔහුගේ වැඩිමහල් පුතකු වන ‘ඩිංගිරි බණ්ඩා රත්වත්තේ’ (1892) මහතාටද රටේ මහත්මයා තනතුර හිමිවෙයි. නමුත් දුනුමඬලාව වලව්වේ දේපළ වෙනුවෙන් වැඩිම උරුම අයිතිවාසිකම් කීමට ඉදිරිපත්වී ඇත්තේ රටේ මහත්මයා තනතුරක් දරා නොමැති පුංචි බණ්ඩා රත්වත්තේ මහත්මයාගේ දරුවන්ය. කලා වැව පාමුල පිහිටි වලව්වේ ගමේ රත්වත්තේ පරපුරේ වලව් පහක් ඇත.

ඒ ‘ගොඩ්ලික්වත්ත, කුරුවී කොටුව, මහවලව්ව, පලියපාන හා අලුත්’ යන වලව්ය. මේ වලව් අතරින් දුනුමඬලාව වලව්වේ වැඩිම උරුම අයිතිවාසිකම් කියාපෑවේ මල්ලිකා රත්වත්තේ ජීවත් වුණ ‘කුරුවී කොටුව’ වලව්වය. මේ වලව්ව කලා වැව පාමුල ඉදිවන්නේ 1930 කාලයේදීය. දුනුමඬලාව වලව්වේ දේපළ රැකබලාගෙන ඇත්තේ අබේරත්න රත්වත්තේය. ඔහු අවිවාහකයෙකි. කුරුවී කොටුව වලව්වේ ඉඳිමින් දුනුමඬලාව වලව්වේ දේපළ රැකබලාගෙන ඇත. අවසාන කාලයේ ඔහු හුදකලාව වලව්වේ සිට ඇත. ඔහු මියගොස් ඇත්තේද මේ සුවිසල් වලව්වේදීමය. ජයතිලකගේ මරණින් පසු දුනුමඬලාව වලව්ව සම්පූර්ණයෙන්ම කඩා ඇත. වලව්ව කැඩීමට මුල් වී ඇත්තේ මල්ලිකා කුමාරිහාමි රත්වත්තේගේ පුතකු වන ‘ජයතිලක බණ්ඩාර බෝයගොඩ’ යන අයයි.

මේ සුවිසල් වලව්ව සතියක් පමණ කඩා ඇත. එහි තිබූ වටිනා දේපළ වලව්වේ ගමට රැගෙන ගොස් ඇත. ඇතැම් දේපළ කොටස් ‘දෙහිප්පාව රජමහා විහාරය’ට ලබා දී ඇත. දේපළවලින් ඇතැම් කොටස් අද වන විට කුරුවී කොටුව වලව්වේ දක්නට ඇත. ඒ අතරින් කුරක්කන් ගල සුවිශේෂීය. එම ගලේ වලව්වේ අයිතිය පෙන්නුම් වන අයුරින් ‘දුනු’ යන අකුරු කොටා ඇත. වලව්ව කැඩීමට මුල් වුණ ජයතිලක බණ්ඩා පසුකාලීනව අවාසනාවන්ත අයුරින් වෙඩි වැදී මියයයි. එම මරණය අදටත් අබිරහසකි. ඔහු උතුරු කලාගම් කෝරලේ හිටපු ගම්පතිය. මේ සුවිසල් වලව්ව පිහිටා තිබුණේ ‘ඒ නවය’ මාර්ගයේ ‘මඩාටුගම’ කඩ වීදියේ ආසන්නයෙනි. එක් පැත්තකින් නටබුන් වී ගිය දුනුමඬලාව වැවයි. වලව්වට වඩාත් අලංකාරයක් ගෙන දුන්නේ හැවැන්තැන්නේගම වැවයි. එම වැවේ තාවුල්ලේ වලව්ව පිහිටා තිබිණි.

වලව්වට අයිතිව අක්කර 83ක නින්දගමක් තිබී ඇත. එම නින්දගමට අමතරව ලොකු බණ්ඩා රත්වත්තේ රටේ මහත්මයා එක්රැස් කරගත් අක්කර පන්සීයක පමණ ඉඩම් ප‍්‍රමාණයක් නුවර කලාවිය පුරා විසිරී තිබී ඇත. රත්වත්තේ පරපුර නුවර කලාවියට ආගන්තුකය. පරපුරේ මුල් ගම මාතලේ උඩසිය පත්තුවේය. ඔවුන් මාතලේ ප‍්‍රදේශයේ පැරැණි වංශාධිපතින්ය. පරපුරේ ඉතිහාසය දෙවනපෑතිස් රජ සමය දක්වා දිවෙන්නකි. පරපුරේ ආදිතමයා ‘ශ්‍රී විෂ්ණු බ‍්‍රහ්මණ රාල’ය. මහනුවර රජ සමයේ දිසාවේ තනතුර දරා ඇත. (කන්ද උඩරට සමාජ සංවිධානය – පිටුව 99) එම පරපුරේ අයෙකි ‘රත්වත්තේ අභයකොත් වාසල මුදියන්සේලාගේ පල්ලේ වලව්වේ ලොකු බණ්ඩා’ රටේ මහත්මයාය. (1876.09.16 ආතර්:ත.බර්ම් අත්‍ර පත‍්‍රය) නුවර කලාවියට ඔහුගේ ආගමනය සිදුවෙන්නේ 1840 වර්ෂයේදීය.

මේ ආගමනය හඳුනාගන්නේ ‘පල්ලම් බැසීම’ ලෙසිනි.පල්ලම් බැස්ස ලොකු බණ්ඩා අවුරුදු තිහක කාල කින් පසු ‘කලාගම් පළාතේ’ රටේ මහත්මයා තනතුරට පත්වෙයි. මේ පත්වීම එක්තරා විධියකින් මෙතෙක් ‘වන්නියා පරපුර’ විසින් රටේ මහත්මයා තනතුර දැරීමේ ප‍්‍රවේණි උරුමය දෙදරීමකි. එසේ කීමට හේතුවක් ඇත. එනම් ලොකු බණ්ඩා රත්වත්තේ මුල් කාලයේ සිට ඇත්තේ ‘උඩයාරේ අප්පුහාමි’ රටේ මහත්මයාගේ ආරක්ෂකයා ලෙසය. මේ ආරක්ෂකයා පසුව නුවර කලාවියේ ඉහළම තනතුර වන රටේ මහත්මයා තනතුරට පත්වෙයි. කොහොමත් රත්වත්තේ පරපුර අතීතයේ සිටම උපායේ දක්ෂය. (කන්ද උඩරට සමාජ සංවිධානය – මිරැන්ඩෝ ඔබේසේකර, පිටුව 90)දුනුමඬලාව වලව්ව ඉදිවන විට ප‍්‍රදේශයේ කිට්ටුව තිබූ පැරණිම වලව්ව අයිතිව තිබුණේ උඳුරුව උඩයාරේ වන්නියා පරපුරටය.

රත්වත්තේ මහත්මයා එම වලව්වට නොදෙවැනි ලෙසින් දුනුමඬලාව වලව්ව ඉදිකරයි. දුනුමඬලාව වලව්වේ එක් මැද මිදුලකි. කුඩා කාමර ගණන විසි හතකි. මේ වලව්වේ නඩු ඇසූ (වලබුම්) ශාලාවක් විය. එම ශාලාව වලව්වෙන් වෙන්ව දිග් අතට තිබී ඇත. අදටත් එම ශාලාව තිබූ පාදමය නටබුන් දැකිය හැකිය. වලව්ව ඉදිකර ඇත්තේ ‘උලපනේ වලව්ව’ ඉදිකරනු ලැබූ ශිල්පීන්ගේ සහාය ඇතිවය. නුවර කලාවියේ ප‍්‍රභූ ගෙවල් ඉදිවුණේ වැව් තාවුල්ලේය. එම සම්ප‍්‍රදාය අනුගමනය කරමින් ලොකු බණ්ඩා රත්වත්තේ තම මන්දිරය වැව් තාවුල්ලක ඉදිකරයි. වැව ජලයෙන් පිරී නිල් මානෙල් මල් පිපී තිබෙන විට වලව්වට එක්වූයේ චමත්කාර දසුනකි.

වලව්ව සතුව තිබූ දේපළ හා ඊට සම්බන්ධ ඥාති පරපුරේ වගතුග හෙළිවන්නේ මහවැලි ව්‍යාපාරයට ඉඩම් අත්කර ගැනීමට යෑමේදීය. පියාගේ උරුම අයිතිවාසිකම් අනුව පුංචි බණ්ඩා රත්වත්තේ අංක 188 බූදල් නඩුවක් පවරා ඇත. එම නඩුවේ දේපළ උරුමකරුවන් බවට පත්ව ඇත්තේ ඔහුගේ දරුවන්ය. ඒ අනුව වලව්ව වටා තිබූ ‘ඉහළ බක්මී ගහ උල්පත’ (අක්.10 රූඩ්. 02 පර්.00) ‘ඉහළ කිතුල්හියාව’ (අක්.09 රූඩ්. 00 පර්.00) ‘හැවන්තැන්නේගම’ (අක්.02 පර්.02 රූඩ්. 00) ‘හිඟගුරුවැල්පිටිය’ (අක්.09 රූඩ්.00 පර්.00) හා ‘දුනුමඩලාව’ ගමේ (අක්.04 රූඩ්.00 පර්.00) ඉඩම් තිබී ඇත. අධිකරණයේ අණ පරිදි 1990.08.16 වැනි දින නිකුත් කරන ලද ‘ඉඩම් විස්තර ලැස්තුවක’ එම ඉඩම් ප‍්‍රමාණය දැක්වෙයි. අනුරාධපුර කොට්ඨාස භාර මැනුම් අධිකාරි ටී.ඒ.සී.ඒ. සේනානායක මහතා සහතික කරන ලද 1978.12.07 ලේඛනය අනුව අවසාන ගම් සිතියම් අංක 1156 දරන 106,100,25,26,46 බිම් කැබලිවලින් වලව්ව සතු ඉඩම් ප‍්‍රමාණය දක්වා ඇත.

එනම් (අක්කර 35 රූඩ්. 01 පර්.02 හා අක්කර 37 රූඩ්. 03 පර්.08ක ප‍්‍රමාණකි. දුනුමඬලාව වලව්ව වටා ඥාති පරපුරක් ගොඩනැඟී තිබී ඇත. මෙම ඥාති පරපුරේ කරුණු අනාවරණ වන්නේ අධිකරණයේ පවරා තිබූ අංක 122/7/එල් යන නඩුකරය මඟිනි. එම නඩුකරයට අදාළව දුනුමඬලාව වලව්වේ දේපළ උරුමකරුවන් ගණන 43කි. ඔවුන් සියලුම දෙනා නුවර කලාවිය පුරා විසිර සිට ඇත. කැකිරාව හිඟුරුවැල්පිටිය ගමේ එම්.බී. සිරිනාම, ජේ.බී. කමලා කුමාරිහාමි, ආර්.ඩබ්ලිව්.එම්.උපතිස්ස, බීටා කුමාරිහාමි, සේවින් බණ්ඩාර, අයි.කේ. මඩහපොල යන පිරිසත් ඥාතීින්ය. මානන්කට්ට මෙගොඩවැව පදිංචි සුමනා කුමාරිහාමි, සීලවතී කුමාරිහාමි, මල්ලිකා කුමාරිහාමි, සුමනාවතීි කුමාරිහාමි, විමලාවතී කුමාරිහාමි, රූපාවතී කුමාරිහාමි යන අය හා වෑගොඩපොල පිරිස් ඥාති සබඳතා පවත්වා ඇත.

දඹුලු හල්මිල්ලෑව, කැකිරාව ප‍්‍රදේශයේ ඩබ්ලිව්.ආර්.එම්. අබේරත්න, විමලා බෝයගොඩ, සුමනා බෝයගොඩ, ගුණරත්න තිලකරත්න, අමිතා කුමාරිහාමි, වොල්ටර් වෑගොඩපොල, ආනන්ද වෑගොඩපොල, ආර්.ඩබ්ලිව්.එම්. විජේරත්න, ලීලා කුමාරිහාමි, ආර්.ඩබ්ලිව්.එම්. ලයනල්, පද්මා කුමාරිහාමි, කරුණාරත්න බණ්ඩා, එච්.බී. හිඟුරුවැල්පිටිය, ජී.බී. ගන්දරවත්ත, බුලෝනා කුමාරි යන පිරිස් හා ශාස්ත‍්‍රවෙල්ලිය කෝරලේ වලව්වේ එම්.බී. සෝමා කුමාරිහාමි, ඕවිල්ල තැන්න චන්ද්‍රා කුමාරිහාමි, ලේනව පරපුරේ පේමසිරි, ලේනව ජයම්පති, ලේනව උපාලි, ලේනව ආනන්ද, ලේනව තිලකා, ලේනව යන පිරිස්ද දුනුමඬලාව වලව්වේ ඥාති පිරිස්ය.නුවර කලාවිය ඉංගී‍්‍රසි පාලන යටතට පත්වන විටත් එම කලාවියේ පාලනය ගෙනගියේ ‘වන්නි උන්නැහෙලා’ යන පරපුරය.

ඉංගී‍්‍රසි පාලන සමයේදී පවා ඔවුන්ගේ ප‍්‍රවේණි තනතුරු එලෙසින්ම පවත්වාගෙන ගොස් ඇත. මේ පාලනය දෙදරා යන්නේ කන්ද උඩරටින් නුවර කලාවියට ගිය ‘බණ්ඩාර’ හා ‘ගොවිගම’ පරම්පරා නැඟී සිටීමය. මහනුවර යුගයේ හඳුනා ගන්නා බණ්ඩාරවරු රජුගේ යකඩ‍ෙදා්ලි බිසෝවරුන්ගෙන් කුසින් උපන් රාජවංශයට නෑකම් කියූ රදල පිරිසකි. (උඩරට රාජධානිය -පිටුව 140) වන්නිවරුන් කුල ගර්වය ඉහළින්ම සැලකීිය. නුවර කලාවියේ මහත් ප‍්‍රසිද්ධියක් දැරූ නුවරවැව, තාමරවැව, නිකවැව, උඳුරවහා පලුගස්වැව යන වන්නි පවුල්ය. ඔවුන් ඥාති සබඳතා පවත්වාගෙන ගියේ එම පවුල් අතර පමණි. මෙතෙක් පැවති එම ක්‍රමයේ යම් වෙනසක් ඇති කිරීමට දුනුමඬලාව වලව්ව වටා ගොඩනැඟී තිබූ පරපුරට හැකිවිය.

මෙය කොතරම් ප‍්‍රබලව නැඟී සිටියේද කිවහොත් වන්නියා කුලයට අයත් නොවූ රත්වත්තේ ලොකු බණ්ඩාර හා ඩිංගිරි බණ්ඩාර රටේ මහත්මයා යටතේ ‘කෝරාල තනතුරු’ හා ‘වීදි ආරච්චිල’ තනතුරු දැරීමට පවා වන්නිවරුන්ට සිදුවිය. (අංක 296 දරන මේ බර්ලිබර්ගේ රාජකාරි පැවැරීම් ලිපිය හා 1879.03.22 ජොර්ජ් ඇම්. ඕබ‍්‍රයින්ගේ රාජකාරි පැවැරීම් ලිපිය)ඉතිහාසයේ එක් කලෙක තේජාන්විතව නැඟීසිටි දුනුමඬලාව වලව්ව තිබූ තැනක්වත් අද සොයා ගැනීමට අපහසුය. රත්වත්තේ පරපුරේ කිසිවකු දුනුමඬලාව ගමේ නැත. අද දුනුමඬලාව ගමේ සියලුම ඉඩම් මහවැලි ව්‍යාපාරයට අයිතිය. නුවර කලාවියේ රත්වත්තේ පරපුරේ තිඹිරිගෙය විනාශ වී ගියද එයින් බිහිවුණ පරපුර නුවර කලාවියේ සේම ඉන් පිට ප‍්‍රදේශ පුරා විසිරී ඇත.