Naifmvlog

Naifm vlog Gossip and News

පළමු බැල්මෙන් සිත්ඇදගන්නාසුලු

වික්ටෝරියා පළමු වරට මොනරාගල සුදු වතුර ආරට පැමිණියේ 1992 වර්ෂයේදීය. පළමු බැල්මෙන් සිත්ඇදගන්නාසුලු කෙනකු නොවූවද ඇය සතුව ක්‍ෂයව නොයන ප්‍රියමනාප බවකුත් හාස්‍ය සෙයියාවකුත්, දෙයක් සරලව – භාෂාවක් නොමැතිව තවත් අයකුට ඒත්තු ගැන්වීමේ හැකියාවකුත් සතු විණි. ප්‍රංශ භාෂාවෙන් උගත් ඇය, සිංහල බස සුදුවතුරආරගමට එන තෙක් නොදැන සිටියා පමණක් නොව සංස්කෘතික ගති ස්වභාවය අනුව ටක්කයටම සුද්දියක්ම වූවාය. සුදුවතුරආරට කොයින්ද සුදු සමක්.! මිනිසුන්ගේ දෛවය තීරණය කිරීමේ ගාමක බලය සුදු සම බව 1818 කැරැල්ලේදී කන්ද නුවරින් පසු බැස මොනරාගල තැනිතලාවට පැමිණි පරම්පරා ගණනාවක් හොඳ හැටි දැන සිටිනා විත්තිය දන්නා වික්ටෝරියා කෙනකුට දැනෙන්න හැසිරීම උගත්තේම තම සුදු හම පලප්‍රයෝජනයට ගනිමිනි.

වික්ටෝරියා සුදු වතුර ආරගමදී සකසා ගත් හැම මානුෂික සබඳතාවක්ම සැබැවින්ම හැඩය. ගම තුළ සිටි එකම සමාජ පන්තියකට අයත් නොවන ගැහැනුන් දෙදෙනකු විප්‍රවාසයේ අතුරු ආන්තරා පැමිණෙන තෙක් ඇසුරු කර ඉන් පසුව එම ගැහැනුන් දෙදෙනාගේ ඇසුර සත් මුහුදින් එතෙර සිට බලා සිටීමට හැකි මට්ටමකට සැබැවින්ම ඇය අවසන පත්ව සිටියාය. වික්ටෝරියා කිසිසේත් නාසිතික දෘෂ්ටිවාදියක් නොවූ අතර ගම්මුන් නම් කියන්නේ ඇය සුදුවතුරආරට පැමිණි පසු පලාකොළවලට පමණක් ප්‍රිය එකියක වූ බවය. ගම්මුන් සතු කිරි හරක් කිහිපදෙනා ඔවුන් සිය ජීවිතය පරදුවට තබා රැකගනු ලබන්නේ ඒ උතුම් සතුන්ගෙන් ලැබුණු කිරි නොවී නම් නිදහස් මිනිසුන් ලෙස උපන්නද ඉතා කෙටි ජීවිතයකට උරුමකම් කියන දරුවන් සුදුවතුරආර තුළ සිටි බව දැනය.

වික්ටෝරියා සුදුවතුරආරගමට පැමිණෙන්නේ යටත්විජිතකරණයේ හටගත් ආපදාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන යටත්විජිත අධ්‍යාපන ක්‍රමය පිළිබඳව හැදෑරීමටය. නිදහසම පතා දිවගිය මිනිසුන්ට සහ ගැහැනුන්ට තම ළමයින් පෑගී ඇති බව දුටු වික්ටෝරියා ඒ පිළිබඳ නිරවුල්ව ගවේෂණය කරන්නට පැලපදියම් වූයේ සුදුවතුරආර ප්‍රාථමික විදුහල් භූමියේ ඇය විසින්ම සාදාගත් කුඩා නිවෙසකය. අදදු එය විදුහල්වත්ත කෙළවර වේ. අපරාජිත බව ඉදිරියේ බෙලහීනයන් වී සිටින මිනිසුන් හට කොයියම් වුව කාරණාවක් ඒත්තු ගැන්වීමට ප්‍රථම ඔවුන් අරාජික බවින් මුදා ගත යුතු යැයි සිතූ වික්ටෝරියා සුදුවතුරආරගම මැද්දෑවේ වැවක් තනවන්නට ක්‍රියා කළාය. එපමණක් නොව තම ශ්‍රමයද කාලයද හිත මිතුරන්ගේ මිල මුදල්ද ඒ සඳහා නොමසුරුව වැය කළාය. ඒ පිළිබඳ කතාන්දරය අසා දැනගැනීමට සුදුසු දැනමුත්තා වන්නේ සුදුවතුරආර විදුහලේ වත්මන් විදුහල්පතිවරයාය.ඔහු නමින් එම්. වික්‍රමසිංහය. එම්. වික්‍රමසිංහ විදුහල්පති තැන වික්ටෝරියා සමඟ තෙවතාවක් පයුරු පාසානම් පවත්වන්නට ඉඩ ලද්දෙකි. අප ඔහුට සවන් දෙමු. “ගමට ඉහළින් පිහිටලා තියෙන්නේ හොරොම්බේ කන්ද. ඔය කන්ද වටා ජනප්‍රවාද රැසක් පවතිනවා. ඒවා පිළිබඳ පසුවට කතා කළ හැකියි. උෟව වෙල්ලස්ස මායිමේ පිහිටලා තියෙන හොරොම්බේ කන්දට නිතරෝම වැස්ස කඩාපාත්වෙනවා. කන්දට වැටෙන වතුර පාර ගල්වලින් පල්ලෙහාට වැටෙන කොට ස්වාභාවිකවම සුදු පෙණ ඇති වෙනවා. ඒ සුදු පෙණ සහිත ජලය ගලාගෙන එන ආර පස්සට පහු සුදුආර වුණා. සුදුආර තමයි වික්ටෝරියා නෝනා සුදුවතුරආරගම බවට නාමකරණය කළේ. වික්ටෝරියා නෝනා අනූව දශකයේ මෙහෙට එන්න කලින් මේ ගම් ගොඩැල්ල හැඳින්වූයේ කළුගොල්ල මූකලාන කියලා.

හැට, හැත්තෑව කාලයේ හේන් වැවිල්ලට එළි කරපු ඉඩම්වල පදිංචියට මුලින්ම මිනිස්සු ඇවිදින් තියෙන්නේ වැලිමඩ, උෟව පරණගම ප්‍රදේශයේ ඉඳලා. ඔය කාලයේ පවුල් තුනක උදවිය තමයි මුළු ගමේම ඉඳලා තියෙන්නේ. හැම දෙනාම ලේ නෑයෝ. ඒ පවුල් තුන දැන් වෙද්දී පවුල් 51ක් බවට පත්වෙලා. ඒ පවුල් තුන අතරින් රත්නායක මුදියන්සේලාගේ පරම්පරාවට අයිති අය තමයි වැඩි. වැලිමඩ, උෟවපරණගමට තදාසන්න තවත් ගම්මානවලින් සුදුවතුරආරේ පදිංචියට මිනිසුන් පස්සට පහු පැමිණියා. සුදුවතුරආරගමට සමීපතම ගම තමයි හොරොම්බුව. හොරොම්බුවේ ඉන්නේ මොනරාගල ගම්කාරයෝ. සුදුවතුරආර ගමේ අෑයෝ මුලින්ම පවුල් පන්සල් වුණේ හොරොම්බුව ගමෙන්. මේ වෙද්දී හොරොම්බුව සුදුවතුරආර එකට එකතුවෙලා. 1990 දශකයේ මුල් කාලසීමාවේදීත් මොනරාගල ඉඳලා, ඔක්කම්පිටිය පැත්තේ ඉඳලා හොරොම්බුවට සුදුවතුරආරගමට එන්න හරිහමන් පාරක් තිබුණේ නැහැ.

ගමේ ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය වුණත් තිබුණේ පහළ අඩියක. වික්ටෝරියා නෝනා ගමේ පාසල් භූමියේම පදිංචි වෙන්න තීරණය කරන්න ඇත්තේ ඒ නිසා. එයා මුලින්ම අවධානය යොමු කළේ කුඩා ළමයින්ගේ අධ්‍යාපනයට. කුඩා ළමයින්ට අධ්‍යාපනය සමීප කරවීමට නම් ඒ කාර්යයේ නිරතවන කෙනා අධ්‍යාපනයට කලින් දරුවන්ට සමීප විය යුතුයි සිතූ වික්ටෝරියා නෝනා එයා කන කෑම, අඳින ඇඳුම් පැලඳුම් පවා වෙනස් කර ගත්තා. සුදුවතුරආරට ගිහින් දිය රෙද්දක් ඇඳලා නාන්න පවා ගත්තා. ඒ විධියට ගම්මුන්ට සමීප වෙලා තමයි ඒ අයගේ සිතුම් පැතුම් ඇය හඳුනා ගත්තේ. සංස්කෘතික විධියට මිනිසුන් වෙනස් කිරීමේ ක්‍රියාවලියකයි ඇය නිරත වුණේ. මිනිස්සු අධ්‍යාපනයෙන් පොහොසත් වුණාම හොඳ සංස්කෘතික ජීවිතයක් උරුම කරගන්නවා කියන අදහස ඇයට තිබුණා.

නමුත් සංස්කෘතිය කියන්නේ කා පිටවත් බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවන බව ඇය හොඳින් තේරුම් ගෙනයි තිබුණේ. ඒ සමඟම ඇය ගමේ මිනිසුන්ගේ ආර්ථික මට්ටම නඟාසිටුවීමට බොහෝ ක්‍රියාමාර්ග අරගත්තා. සුදුවතුරආරගමේ කෘෂිකර්ම දිවි පෙවත නිකැළැල් විධියට ඉදිරියට රැගෙන යෑම තුළින් ගම වෙනස්කම්වලට මුහුණ දිය හැකි මට්ටමකට පත්වේ යැයි සිතූ ඇය හොරොම්බුව කන්දෙන් පටන් ගෙන නිරපරාදේ ගලාගෙන යන සුදුවතුරආර හරස් කරලා වැවක් නිර්මාණය කළා. ඒ වැව නිර්මාණය කරන්න ඇයට තිබුණේ ශ්‍රමය පමණයි. දුප්පත් අහිංසක ගොවියෝ තමන්ට පුළු පුළුවන් විධියට ඇයට සහාය ලබාදුන්නා. ඊට පස්සේ වික්ටෝරියා බ්ලොක්ගල් නිෂ්පාදන කිරීමේ කුඩා කර්මාන්තශාලාවක් ගම තුළ ඇති කළා. ඒ කර්මාන්තශාලාවේ බ්ලොක්ගල්වලින් වරිච්චි බිත්ති සහිත ගෙවල්වලට අලුත් බිත්ති ලබාදෙන්නයි ඇයට වුවමනා වුණේ. තෙවනුව ඇය ගමට වී මෝලක් ලබා දුන්නා.

ඒක නෙදර්ලන්ත සමුපකාර සමිතියක් මඟින් ලබාදුන් වී මෝලක්. මේ හැම වැඩකටයුත්තක්ම සිදුකරද්දී වික්ටෝරියා සමඟ ගමේ අයගේ සබඳකම වැඩි වුණා. ලීලක්කා කියලා ගමේම කෙනෙක් තමයි වික්ටෝරියා ළඟින්ම හිටියේ. ඇය ලංකාවෙන් පිටව ගියත් ගම්මුන් ගැන සොයා බැලුවා. නෙදර්ලන්තයේ සිට කිහිපවරක් ලංකාවට පැමිණි ඇයගේ හිතවතුන් බ්ලොක්ගල් ව්‍යාපෘතිය සහ වී මෝල නැවත ආරම්භ කිරීමට මූලික සැලැස්මවල් සකස් කළා. නමුත් ඒවා අසාර්ථක වුණා.”වික්ටෝරියා සුදුවතුරආරට පැමිණියුරු ඇය විසින් රචිත ඒ ඉඪදඩචතඥඵඥ මඪතතචඨඥ ඪද ඉපඪ තචදඬච කෘතියේ (එම කෘතිය සමරසිංහ ගුණසේකර සහ රන්මිණි විතානගම විසින් සුදුවතුරආරගම ලෙස සිංහලට පරිවර්තනය කර තිබේ) කෘතියේ සඳහන්ව ඇත්තේ මේ පරිදිය. මේ අධ්‍යයනය සඳහා මවිසින් තෝරාගන්නා ලද ගම වූයේ සුදුවතුරආරයි. එය ගිනිකොන දිග ශ්‍රී ලංකාවේ අෑත පිටිසර ග්‍රාමයක් වන අතර, සියලු මනුෂ්‍ය ක්‍රියාකාරකම් විනිවිධ ගෙන උත්තර මානුෂීය විශ්වාසයන් ගමන්කොට ඇති ආකාරය මැනවින් විදහා දක්වන ස්ථානයකි.සාපේක්ෂ වශයෙන් ගත් කල මෙකී ග්‍රාමය මෑතකදී ආරම්භ වූවකි. වර්ෂ 1960 සහ 1970 ගණන්වලදී රජයේ ලදුදින් අනවසරයෙන් හෙළි පෙහෙළි කොට ජනයා පදිංචි වීමෙන් මේ ග්‍රාමය බිහි විය. 1984/85 කාලය තුළ මාස 16ක කාල පරිච්ඡේදයක් තුළ මා, එහි පදිංචිව පර්යේෂණ වැඩකටයුතුවල නිර වූ අතර 1994/95 කාලය තුළ මගේ සත්ත්ව වාර්ෂික නිවාඩුවට ඒ කුඩා මැටි පැල්පතෙහි නතරවීම සඳහා ආපසු පැමිණියෙමි. ඒ පැල්පත මගේ පදිංචිය සඳහා මීට දස වසරකට පෙර ගැමියන් විසින් තනන ලද්දම විය. සුදුවතුරආර දකුණු ආසියාකරයේ මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ග්‍රාමයක් නියෝජනය කරන්නා මෙන්ම අෑත පිටිසර ගොවි ගමක පර්යේෂකයකු ලෙස මා ලත් අත්දැකීම්ද එකී රටවල පර්යේෂණවල නියැළුණු අනෙකුත් මානව විද්‍යාඥයන්ගේ අත්දැකීම්ද බොහෝ අංශවලින් සමානාත්වයක් දරයි. මේ අධ්‍යයනය පුරාම මගේ අත්දැකීම් අන් අය සමඟ බෙදාහදා ගැනීමට මම උත්සාහ කර ඇත්තෙමි.

මගේ පළමුවැනි පර්යේෂණ කාලපරිච්ඡේදයේදී මා අවධානය යොමු කරනු ලැබුවේ අවාසිදායක ප්‍රදේශවල විධිමත් අධ්‍යාපනය කෙරෙහිය. විශාල වශයෙන් සංවර්ධනය නොවූ මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වලට ගොස් මවිසින් එය සිදුකරනු ලැබීය. ආචාර්ය උපාධිය සඳහා මගේ නිබන්ධනයට පාදක වූයේ ඒ පර්යේෂණයයි. මූලික වශයෙන් අධ්‍යාපනය ගැන මා අවධානය යොමු කළේ වුවද යැපීම් ආර්ථිකයෙන් යුත් ගමක මා වටා ක්‍රමයෙන් දිගහැරුණු වෙනත් දෑ කෙරේද මම වරින් වර විමසිලිමත් වෙමි….. එලෙස සුදුවතුරආර තුළ ගෙවා දමනු ලැබූ ජීවිතයේදී වික්ටෝරියා ගම්මුන් සමඟ ඇතිකරගත්තේ කිසිදා නොබිඳිය හැකි සහසම්බන්ධයකි. ඇයගේ පර්යේෂණ ග්‍රන්ථයේ නම් සඳහන් ගම්මුන් අදදු මෙම සුදුවතුරආරගම සජීවී මිනිස් රූපකායන්ය. වික්ටෝරියා ඒසේත් නොමැතිනම් ඉස්කෝලවත්තේ සුදුනෝනා ගැන ඔවුන් කතාබහ කරන්නේ දැඩි රුචියකිනි. “මගේ සිද්ධි අධ්‍යයනයට මූලික වූ ගමේ ඇතැම් ප්‍රධාන චරිත මේ වන විට මිය ගොස් තිබීම කනගාටුවට කරුණකි. එයින් එක් තැනැත්තකු වූයේ එච්.එම්.පුංචි බණ්ඩා නම් පවුල් ප්‍රධානියායි. තවමත් ඔහුගේ නෑසියන්ගේ සෑදුණු විශාල පවුල් ජාලයකින් ගමේ පවුල් වෘක්ෂය තැනී ඇත. එසේම විෂකුරු සතුන් ආම්බාන් කිරීමටත් මගේ කටයුතුවලට උපකාරී වීමට සිය දරුවන් එවීමට ඕනෑම මොහොතකදී සැදී පැහැදී සිටී. මගේ අසල්වැසි ජේ.කේ. පියදාසද තවත් එවැන්නෙකි. එසේම වඩුවකු, විෂ වෙදකු, කට්ට¾ඩියකු, තොරතුරු සැපයූ ගම්ප්‍රධානියකු මෙන්ම පාරම්පරික දැනුම් සම්භාරයක හිමිකරුවෙක් වූ පී.ආර්. රත්නායක හෙවත් පුංචි රාලද එකී පිරිසට එක්ව මට සහාය වූවෙකි. සිය ගොරෝසු එමෙන්ම මා වශීකෘත කළ කටහ¾ඩින් මා සමඟ පිළිසඳරෙහි යෙදී ඔහුගේ එකී දැනුම් සම්භාරය මා සමඟ බෙදා හදා ගත්තේය. ඔහුගේ ඒ දැනුමෙන් එක්තරා කොටසක් මවිසින් වාර්තා ගතකොට ඇති බැවින් අනාගත පරපුර සඳහා එය සුරැකී පවතිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සුදු මැණිකේ මගේ හිතවත්ම මිතුරිය වූවාය.

ඇගේ එක් පුතකු හදිසියේම අකාලයේ මියයෑමෙන් පසුව අෑ නේවාසිකාගාරයක රැකියාව සඳහා ගමෙන් බැහැරවී සිටින්නීය. දිගු කලකට පෙර, ගමේ ජීවන රටාව ගැන මා අධ්‍යයනය කරද්දී පාසලේ ඉගෙනීම් ලැබූ ඇතැමුන් මේ වන විට ගමේම ගොවිපොළවල හා පවුල්වල ප්‍රධානත්වයට උසුලන බව කිව යුතුය. මෙසේ ගමෙහි පැරැණි ජීවන රටාව වෙනස්වී ගොස් නව රටාවකට ඉඩ සලසා ඇත. වෙනත් ගම් දහස් ගණනක් මෙන් සුදුවතුරආරද කුඩා එමෙන්ම ආටෝපයෙන් තොරවූ ගමකි. නමුදු එහි සංස්කෘතිය ඉතාමත් පැරැණි වූවකි. එය පාරම්පරික වටිනාකම්වලින් පිරී පවතී. එසේම සිය එදිනෙදා ජීවිතයේදී මුහුණපෑමට සිදුවන දහසකුත් එකක් ගැටලුවලට විසඳුම් සෙවීමට දිරි දරන පිරිසකගේ බලාපොරොත්තුවලින් පිරී ඇත. ඒ ග්‍රාමය පිළිබඳ කතාව ලොවට පැවැසිය වූවක් මෙන්ම එහි ජීවත්වූවන් මෙන්ම සිංහල බස කියවන අන් අය විසින්ද කියවිය යුතුවෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශකවරියක ලෙස කටයුතු කරන අතරවාරයේදී කාලය ගතවත්ම මෙරට සුන්දරත්වයට යටින් සිදුවන යථාර්ථය කෙමෙන් වික්ටෝරියාට ස්පර්ශවීමට ගනී.ඇය මොනරාගල අතිදුෂ්කර ගම් පෙදෙසක් කරා පල්ලම් බැසීමට සිත එකඟ කර ගන්නේ මෙම කරුණු කාරණා නිසාය. වැව තැනීමෙන් පසු ඕලන්ද සමුපකාර නිවාස විසින් තිළිණ කරන ලද හාල් මෝලේ වැඩකටයුතු සඳහා අවධානය යොමු කරන වික්ටෝරියා පෙරාතුව සඳහන් කළ ලෙස දහයියා යොදා කුඩා සිමෙන්ති කම්හලක් ගම තුළ ස්ථාපිත කිරීමට උපකාර පතන්නේ ඩෙන්මාර්කයේ ඩෙල්ෆ් කාර්මික සරසවියෙනි. ඔවුන්ගේ උපකාර මත හාල් මෝල සහ කුඩා සිමෙන්ති කම්හල සුදුවතුරආරගමට ලැබුණද ඇයගෙන් පසු ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට සුදුවතුරආර ගම්මුන්ට නොහැකිවේ. මේ වන විට වනය විසින් ගිල ගැනීමට මාන බලන සිමෙන්ති කම්හලද මල කා කළුව ගිය යකඩ ගොඩක් බවට පත්වීමට මාන බලන වී මෝලද සුදුවතුරආරගම් කෙළවරදී දැකගත හැකිවේ.

මීට වසර කිහිපයකට පෙර අවසන් වරට ලංකාවට පැමිණි වික්ටෝරියා තමාගේ ශ්‍රමය අපතේ ගිය ආකාරයක් දුටුවද එය ගම්මුන්ගෙන් වසන් කර ගෙන සිටින්නට ක්‍රියා කළා යැයි පවසන්නේ ඇයගේ චර්යාවන් පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති ගම්මුන්මය. කෙසේ වෙතත් ඇය වැනි න්‍යායාත්මක සහ ප්‍රායෝගික පරිචයකින් හෙබි කාන්තාවකගෙන් එයට වඩා දෙයක් දැකගත හැකි නොවේ. සුදුවතුරආරගම තුළ වික්ටෝරියා සිය ජීවිතයෙන් යම් කොටසක් ගෙවා දමන විට ඇය එයින් උකහා ගත් දෙයද බොහෝ යැයි දැනෙන්නේ ඇය තමා ලද අත්දැකීම් ඇසුරෙන් ලියූ කෘතිය ලියන විටදීය. එහි තැනක මෙලෙස සඳහන්ය. එය වික්ටෝරියාගේ බුහුටි බුද්ධාගම් දැනුම පිළිබඳ කදිම උදාහරණයකි.“දේහය රැගෙන යන මඟ දෙපස සුදු ඉටි කොළ තීරු හෝ ගොක්කොළවලින් සැකසී කොඩි වැල්වලින් සරසා තිබේ. ඒ මරණාධාර සමිතියෙනි. සමිතියේ සුදු බැනරයද අවමඟුල් පෙරහර යන මඟ එල්ලා තිබේ.

මරණය හා ශෝකය වෙනුවෙන් සාම්ප්‍රදායිකව යොදා ගැනෙනුයේ සුදු පැහැයයි. ඒ නිසා සුදු පැහැ වස්ත්‍ර හිමි අය ඒ වස්ත්‍රවලින් සැරසී අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙති. සාමාන්‍යයෙන් දෙණ ඔසවා ගෙන යන්නේ මළ තැනැත්තාගේ මිතුරන්ය. දෙණ සොහොන් බිම වෙත රැගෙන යන අතරතුර එහි බර ක්‍රමයෙන් වැඩිවන බව ඔවුහු පවසති. භූත ආත්මයක් දෙණ මත වාඩි වී හිඳ එහි බර වැඩිකරන්නේ යැයි ගැමියන් අතර විශ්වාසයක් පවතී. දේහය මිහිදන් කරනු ලබන සොහොන් බිම ගොක්කොළවලින් සැලසූ තොරණවලින් අලංකෘතය. භූමිදායන සිදුකරන තැන සෙවණ වන සේ ඊට ඉහළින් බැඳි සුදු පැහැති වියන ඒ ස්ථානයට කෙරෙන ගෞරවය විදහා දක්වයි. බෞද්ධයන් වශයෙන් ආදාහනා උත්සවයක් පැවැත්වීමට වඩා කැමැතිවනු ඇත. එහෙත් මිනී පෙට්ටියක් මිලදී ගැනීමට අමතරව ආදාහන සෑයක් බැඳීමට යන වියදම ගමේ පවුලකට දැරීමට සිතිය නොහැකි තරම් වූවකි. මේ කටයුතුවලින් පසු මළ තැනැත්තා වෙනුවෙන් සත්දින, තුන්මස් හා වාර්ෂික දාන උත්සවද පැවැත්විය යුතුය. මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් ඒ පින්කම් සංවිධානය කොට ඒ වෙනුවෙන් වියදම් කරනු ඇත. ගැමියන්ගේ ජීවිතය හා බැඳී වඩාත්ම වියදම් අධික චාරිත්‍ර වාරිත්‍රය වූයේ ඔවුන්ගේ ජීවිත ගමනේ කෙළවරදී සිදුකළ යුතු අවසන් චාරිත්‍රයයි.”