Naifmvlog

Naifm vlog Gossip and News

අපූරු චිත්‍ර අඳින පිකාසෝ කෙනෙක්

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්සෙ ආයෙත් ඔන්න අපූරු චිත්‍ර අඳින පිකාසෝ කෙනෙක් ගැන මෑතකදී ඉඳන් අහන්න ලැබෙනවා. හැබැයි මෙයාගේ නම පිකාසෝ වගේ ඇහුණට හරියටම කියනව නම් ‘පිග්කාසෝ’. එහෙම නමක් වැටිලා තියෙන්නේ මෙයා චිත්‍ර අඳින ඊරියක් හින්දා.මීට ටික කාලයකට පෙර පිග්කාසෝ ඇති දැඩි වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සත්ව ඝාතකාගාරයක. උෟරු ම-ස් පෙති එහෙමත් නැත්නම් බේකන් ලෙස ජීවිතය තීන්දු වීමට සිටි පිග්කාසෝ අද දකුණු අප්‍රිකාවේ විතරක් නෙමෙයි, මුළු ලොවේම ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා. නිකම්ම නිකම් ඊරි පැටියෙක් විදිහට ගෙනා උෟට පිග්කාසෝ කියන නම වැටුණේ සිතුවම් ඇඳීමට උෟ දක්වන දක්ෂතාව හින්දයි. දැනගන්නට ඇති අන්දමට මේ වන විට ලෝකයේ සිටින සිතුවම් අඳින එකම සූකර සිත්තරී මැයයි.පිග්කාසෝගේ මුවේ පින්සල නැති වෙලාවක් දකින්නට නැති තරම්. ඒ තරම්ම උෟ සිතුවම් ඇඳීමට ප්‍රිය කරනවා.

විශේෂයෙන් කේප් ටවුන් හි කේප් කෝස්ට් මුහුද අද්දර කඳු ගැටයක් මතට වී ආධාරයක් මත රැඳවූ කැන්වසයක චිත්‍ර අඳින්න පිග්කාසෝ දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. කාගේ හරි රසවත් ආහාර වේලක් බවට පත්වීමට නියමිතව සිටි පිග්කාසෝගේ ඉරණම තීන්දු වෙන්නේ අපූරු ආකාරයකටයි. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි ම-ස් පිණිස සතුන් ඇති කරන ඝාතකාගාරයක ඊරියකට දාව උපන් පිග්කාසෝ එහි වෙනම කොටසක තවත් එවැනි පැටවුන් රැසක් සමඟ රඳවා ඇති දැඩි කළේ මාස කීපයහකින් උෟරු ම-ස් නිෂ්පාදනයක් බවට පත් කිරීම සඳහායි. දිනක් මේ ස්ථානයට පැමිණෙන ජොඅෑන් ලෙෆ්සන්ට ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවති, හැරෙන්නටවත් ඉඩක් නැති කූඩුවල ඇති දැඩි කරන උෟරු පැටව් රංචු දැක ගන්නට ලැබුණා. එවිට පිග්කාසෝගේ වයස සති 4ක් විතර ඇති. මේ උෟරු පැටව් ගෙවන ජීවිතය පිළිබඳව මහත් කම්පාවට පත් ජොඅෑන්ට උන් වෙනුවෙන් හොඳ ජීවිතයක් ලබා දීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමේ අදහසක් පහළ වුණා.

ඒ අනුව මුලින් එක් සතෙකු මිලදී ගැනීමට ඇය තීරණය කළ අතර ඒ වාසනාව උදා වූයේ පිග්කාසෝට. නිකම්ම හැදී වැඩෙනවාට වඩා උගේ ජීවිතයට යම් වටිනාකමක් දිය යුතු යැයි සිතූ ජොඅෑන් සුනඛ පුහුණුකරුවකු ලවා උෟට විවිධ ක්‍රියාකාරකම් පුහුණු කළා. ඒ අතරින් පිග්කාසෝ වැඩියෙන්ම ඇලුම් කළේ පාපන්දු සෙල්ලම් කිරීම සහ චිත්‍ර ඇඳීම සඳහායි. ඒ අතරිනුත් උෟ වැඩියෙන්ම දස්කම් දැක්වූයේ චිත්‍ර ඇඳීමටයි. මේ වන විට රාත්තල් 450ක් පමණ බරින් යුතු පිග්කාසෝ දවසේ වැඩි හරියක් කේප් කෝස්ට්වල කඳු ගැටය මතට වී චිත්‍ර ඇඳීමේ නිරතව සිටින අයුරු එහි යන අයට දැක ගත හැකියි.“පිග්කාසෝ මුලින්ම හිටිය ඝාතකාගාරයට ගිය කෙනෙක්ට උෟරු ම-ස් කෑම එපා වෙනවා. ඊට එක් හේතුවක් තමයි උන් ඉන්න ජරාජීර්ණ වූ පරිසරය. අනෙක උන් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවල ගාල් කරලා ඉන්න විදිහ දැක්කාම දුක හිතෙනවා. ජීවිත කාලයටම උන්ට එළි පහලියට යන්න ඉඩ දෙන්නෙ නැහැ. මේ තත්ත්වය දැකලයි මං එක උෟරු පැටියෙක්ට හරි හොඳ ජීවිතයක් දෙන්න හිතා ගත්තේ.

මට පුළුවන්කමක් තිබුණ නම් ඒ වෙලාවේ එතන හිටිය ඔක්කොම උෟරු පැටව් ටික බේර ගන්නවා.”ජොඅෑන් පවසනවා. සුනඛ පුහුණුකරුවකු ලවා පුහුණු කළ පිග්කාසෝට පින්සල මුවින් දරාගෙන එය තීන්ත බඳුනේ බහා ඉවතට ගෙන කැන්වසය මත රේඛා චිත්‍ර ඇඳීමේ හැකියාව අපූරුවට පිහිටා තිබෙනවා. චිත්‍ර අඳින අතරේ ස්ට්‍රෝබෙරි, මිදි, පේර, චොකලට් තවරූ පෝප් කෝන්වලින් කුස පුරවා ගෙන මඳ වෙලාවක් උෟරු නින්දක පසුවෙන පිග්කාසෝ නැවත පින්සල කටට අරගෙන සිත්තර කාර්යයේ යෙදෙන්නේ හරිම උනන්දුවකින්. කුසගිනි දැනෙන වෙලාවට කටට අසුවන ඕනෑම දෙයක් කා දැමීමට පිග්කාසෝ පුරුදු වෙලා හිටියත් කිසි විටෙකත් පින්සල නම් කා දමන්නේ නැහැ.මේ වන විට ජොඅෑන් තම අරමුණ බොහෝ දුරට ඉටු කර ගැනීමට සමත්ව සිටිනවා. ඇය කේප්ටවුන් හි ෆ්‍රැන්ෂ්හෝක් ප්‍රදේශයේ ‘ෆාම් සැන්ක්චුවරි, සවුත් ඇෆ්‍රිකා’ නමින් සතුන් වෙනුවෙන් අභය භුමියක් පවත්වාගෙන යනවා.

තමන්ට හැකි අයුරින් සතුන් මුදා ගෙන විත් මෙහි උන්ට නිදහසේ වාසය කිරීමට ඇය ඉඩ සලසා ඇති අතර අවශ්‍ය නම් කෙනකුට ඒ අයුරින් මුදාගත් සතුන් මෙතැනට බාර දිය හැකියි. පිග්කාසෝද මෙහි ඉතා ප්‍රීතියෙන් වාසය කරන අතර මෙහි යන එන අයට උෟ සජීවීව අඳින චිත්‍ර උගේ හොම්බෙ මුද්‍රාවද සමගින් මිලදී ගත හැකියි. පිග්කාසෝ විසින් අඳින ලද සිතුවම් එකතු කොට මේ වන විට චිත්‍ර ප්‍රදර්ශන කීපයක් දකුණු අප්‍රිකාව වගේම එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලත් පවත්වා තිබෙනවා. මේ ඇතැම් සිතුවම් ඇමරිකානු ඩොලර් 4000ක් වැනි ඉහළ මුදලකට අලෙවි කළ හැකි බවයි, ජොඅෑන් පවසන්නේ. මේ වන විට ලොව ප්‍රකට ඔරලෝසු නිෂ්පාදකයකු වන ස්විට්සර්ලන්තයේ ස්වොච් සමාගම පිග්කාසෝගේ සිතුවම් යොදා ඔරලෝසු මූණත් හැඩ කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් ලැබෙන අදායමද ජොඅෑන්ගේ සත්ත්ව ආරක්ෂක අරමුදල සඳහා බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.