Naifmvlog

Naifm vlog Gossip and News

දැනට අවුරුදු එකසිය හතළිස් හතකට

මීට වසර සියයකට පමණ පෙර මහ වන මැද සිදුවූ රසකතා බොහෝය. ඒවා කාලයත් සමඟ මිනිසුන් සමගම වැළලී ගිහින්ය. එහෙත් තවමත් ඉතිරිව ඇති කතා කිහිපයකි. මේ එවැන්නකි.මෙරට ජනතාවගේ ජාතික සිරිත් වනාහි තේරුමක් නැති වල්බූත ලෙසින් ගණන් ගන්නා අය හා එකඟ වීමට අපට නොසිතෙයි. රටේ සාමය හා නිරෝගී බව රැකීමට මහත් සේ ඉවහල් වෙන ජාතික සිරිත් රාශියක් දැන් යටපත්වෙමින් පවතී. ඉන් කිහිපයක් සිංහල අවුරුදු හා සබඳ ඒවාය.දුගී දුප්පතුන් මෙන්ම රජුන් විසිනුත් ඉටු කැරුණු අවුරුදු සිරිත් නිසා සතුරන් මිතුරු වූ, පවුල් ගම් රටවල් අතර භේද පවා නැතිව සාමය මතු වූ අවස්ථා මෙ රට ඉතිහාසයෙහි යටපත් ව ඇත්තේය. මා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට අදහස් කරන්නේ දැනට අවුරුදු එකසිය හතළිස් හතකට (147) ඉහත දී මහනුවර මඟුල් මඬුවේදී කෙරුණු සිංහල අවුරුදු උත්සවයකට ඉංගී්‍රසි රජය ද අනුබල දී ඊට සහභාගි වූ අන්දමය. සිංහලය අරාජික වූවාට පසු පත් වුණු උඩරට පළමු වන ඉංගී්‍රසි ඒජන්ත තැන වූ ඩොයිලි මහතාගේ දින පොතෙහි සඳහන් මේ විස්තරය ගැන විමසා බලනු මැනවි.සවස පහට මඟුල් මඩුවේදී අදිකාරම්වරුන් දෙදෙනා හමුවීමි. හෙට රජගෙදර දී පැවැත්වෙන සිංහල අවුරුදු චාරිත්‍රයක් ඉටු කිරීමේ උත්සවයට කටයුතු සංවිධානය කෙළෙමි.“රාත්‍රි නවයට නාථ දේවාලයට ගොස් පැය භාගයක් (එහි) ගත කෙළෙමි. අදිකාරම්වරුන් දෙදෙනා සහ අනෙක් ප්‍රධානීහු එහි රැස්ව බෙහෙත් දියර පිළියෙල කර වූවෝය. එම බෙහෙත් දියර මැටි බඳුන්හි ලා හෙට (අප්‍රේල් 11 වැනිදා) උදෑසන මහනුවර හා පිට පළාත්වල පන්සල්වලටත් අදිකාරම්වරුන් දෙදෙනාගේ වලව්වලටත් යවනු ලැබේ.

”“බෙහෙත්ගේ මුහන්දිරම් සහ එහි සේවකයන් 25ක් 30ක් පමණ එහි සිටියෝය. සමහරු බෙහෙත් ද්‍රව්‍ය වංගෙඩියක ලා කෙටූ අතර ඇතැමෙක් ඒවා තැම්බූහ. පහළොස් දෙනෙක් අණ්ඩාකාර කවයක අයුරින් බිම හිඳගෙන කොළ වර්ග හා බෙහෙත් ද්‍රව්‍ය තෝරා වෙන් කර පමණට සංයෝග කළහ. එම වතුර මුට්ටියක ලා ඒවායේ කටවල් කෙසෙල් කොළවලින් වසා ඒ මත රෙදි කෑලි තබා පටියකින් බැඳ ඉටියෙන් ම්‍රද්‍රාව (සීල්) තැබූහ.”එක මුට්ටියක වූයේ ඉඹුල් කොළ තම්බා ගත් වතුරය. ශ්ලෝකයක් අනුව, බෙහෙත් ද්‍රව්‍ය තම්බා පිළියෙල කළ මිශ්‍රණය අනෙකෙහි විය. සන්නාලියන් දෙදෙනෙක් කොඳගම් (රෙදි පටිවලින් සදන වියනක් වැනි සැරසිල්ලකි) මසමින් සිටියෝය. කොහොඹ හා කොළොං කොළත් නෙලුම් මලුත් ඒවායෙහි එල්ලන ලදී. කොඳගම් හිසට උඩින් ද පයට පියුම්ද තබා නැකැත එළැඹි කල්හි හිසෙහි හා හේලෙහි (එම බෙහෙත් දියර) ගල්වනු ලැබේ. රාත්‍රි 9.30ට ආ පසු ආවෝය. උෂ්ණ වූ දීප්තිමත් දවසකි. අද.අවුරුදු එළඹිණ. කලින් පිළියෙල කළ බෙහෙත් දියර කුඩා මුට්ටි දෙක බැගින් හැම පන්සලකටම යවන ලද්දේ හේවිසි සහිත පෙරහරෙනි. උදේ 11ට මුට්ටි හයක් මට එවන ලදී. ඒ සමඟ කොඳගමක් සහ පියුම් ද විය.සවස 6.30ට ඇහැලේපොළ මඟුල් මඩුවට පැමිණියේය. ඊට පසු අදිකාරම්වරුන් දෙදෙනා සහ සෙසු ප්‍රධානීහු පැමිණියෝය. සංග්‍රහාදී වේලාව පෑතැටියෙන් සොයා ගැන බලා ප්‍රකාශ කරන ලද්දේ ගණිතයා විසිනි. නැකැත් වේලාව හැඟවීමට නාථ දේවාලයෙහි හෙවිසි නාද විය.

එක දිසාවනියට දෙක බැගින් කොඩිතුවක්කු වෙඩි මුර අටක් තබන ලදී. (මඟුල් මඩුවට ආ) සියලු දෙනා “කන්තස්නයන” පැය දක්වා පැය හතරයි තුන් කාලයක් එහි ම නතර වූහ. දවස හමාර වූ විට (යළිත් වරක්) නාථ දේවාලයෙහි හේවිසි නාද විය.”“රිදී පෝච්චියක් හා තවත් රිදී බඳුන් රාශියක් සුදු රෙදි ඇතුරුණු මේසයක් මත තැන්පත් කොට තිබිණි. උඩ සීලිමේ කොඳගමක් එල්ලා, බිම නෙලුම් මල් අතුරා, මේසයේ නැඟෙනහිර පැත්තෙහි ඉටිපන්දම් දෙකක් තබන ලදී. ඇහැලේපොළ උත්සව චාරිත්‍රය ආරම්භ කෙළේය. ආදිකාරම්වරුන් දෙදෙනා හා සෙසු ප්‍රභූහු තම තරාතිරම් අනුව, ඉඹුල්කොළ වතුර හා බෙහෙත් දියර මුට්ටි දෙකෙන් ගෙන කරන ලද මිශ්‍රණයෙකි. තම අත් ඔබා නළලෙහි තවරා ගත්හ. කොඳගම යටින් හා පියුම් උඩින් යෙමින් පිරිසුදු දියෙන් (අත්) සෝදා ගත්හ. ඊට පසු විසිර ගියහ.”ඩොයිලි පවසන මේ චාරිත්‍රය ඉටුවන්නට ඇත්තේ අද පරණ අවුරුද්ද වශයෙන් සැලකෙන දිනයෙහිය. 1815 අප්‍රේල් 12 වැනිදා පොතෙහි සඳහන් කර ඇති අන්දමට 13 සහ 14 දිනවල දී අවුරුදු කෑම බීම (භෝජන සංග්‍රහ) පැවැත්වීමෙහි එකල ජනතාව යෙදුණු බව පෙනේ. මේ දෙදිනෙහි ඔවුන් තම වැඩකටයුතු, රැකී රක්ෂා අතහැර විවේකයෙන් කල් යැවූ බවද එහි සඳහන්ය.රොබට් නොක්ස් සිංහල අවුරුදු උළෙල සිංහලයන්ගේ උසස් උත්සවයක් හැටියට පෙන්වා දී නැත්තේ කුමක් නිසා දැයි සොයා බැලිය යුතුය. සිංහල අවුරුදු සමයෙහි දී අං ඇදීම වැනි සෙල්ලම්හි යෙදෙන බව සඳහන් කර ඇතත් ඊට වැඩි විස්තරයක් කර නැත්තේ එකලදී (1670 පමණේ දී) මේ අවුරුදු උත්සවයට මුල් තැනක් නොලැබි නිසා විය හැකිය. වෙසක්, ඇසළ, පොසොන් හා දුරුතු උත්සවවලටය එකල දී මුල් තැන ලැබී ඇත්තේ.

සිංහල අවුරුදු නමැති මේ උත්සවය ගැන අන් හැමට ඉහළින් සලකන්නට පුරු වූයේ වඩුග රජුන් (ඉන්දියානුවන්)ගේ බලපෑම ඇති වූවාට පසුව යැයි පිළිගැනීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එය දැන් සංස්කෘතික අංගයක් වී ඇත්තේය.සිංහල අවුරුදු උළෙල හා සබඳ වූ තවත් බොහා් සිරිත් ඇත්තේය. ඒ සියල්ල පරණ අවුරුදු සිරිත් හා අලුත් අවුරුදු සිරිත් යැයි දෙකොටසකට බෙදිය හැකිය. ඉන් වැඩි හරියක් තවම ජනප්‍රියව පවතී. උඩරට අෑත පිටිසරබද පැවැති නමුත් දැන් නැති වී ගොස් ඇති පරණ අවුරුදු චාරිත්‍රයක් මෙසේය. මහ ගෙදරින් වෙන්වී ගොස් සිටින දූ දරු ආදීන් පරණ අවුරුදු දා රෑ මහ ගෙදරට පැමිණ පවුලේ ප්‍රධානියා වෙත ගොස් දෙපතුලෙහි තෙල් ගා වැන්ද යුතුය. ඉන් පසු, ඔවුනට සංග්‍රහ සඳහා පිසුණු වෑංජන බත් ආදිය ලොකු භාජනයකට දමා අනා ගුළිකොට තමා වටා හිඳුවා එකාට බත් ගුළිය බැගින් දෙන්නේ එම ප්‍රධානියා. එය කා ඉවර වී නැඟිට ගොස් බඩ පිරෙන තුරු කෑමෙන් බිමෙන් පසු වයස් ප්‍රමාණ අනුව වැඳීම් හා ආශීර්වාද ලැබීම් කෙරේ. මේ චාරිත්‍රය කුමන හේතු නිසා වුව දැන් අභාවයට ගොස් ඇත.මරණයක් වැනි කිල්ලකට අසු වුවහොත් මේ කිසිම චාරිත්‍රයක් ඉටු කිරීම නරකයැයි තද විශ්වාසයක් වමත් පවතින ප්‍රදේශ ඇත. දේවාල භූමිය වුව කිල්ලකට අසුවුවහොත් එම දෙවොලෙහි අවුරුදු සිරිත් ඉටු කැරුම තබා එහි ‍ෙදාර වුව නො අරිනු ලැබේ. එවැනි දෙයක් 1815 අප්‍රේල් 11 වැනිදා සිදු වූ බව ඩොයිලිගේ දින පොතෙහි සඳහන්ය. බල්ලන්ට වෙඩි තමා මැරීමක් නිසා නාථ, පත්තිනි හා විෂ්ණු දේවාලයෙහි ද ‍ෙදාරවල් තෙ දිනක් ම වසා දමා ඒ දෙවොල් ඇතුළෙහි අවුරුදු චාරිත්‍ර කිසිවක් ඉටු නො කළ බව ඩොයිලි පවසයි. පෙර සඳහන් පරිදි බෙර ගසන්නට ඇත්තේ දේවාලයෙන් පිටත දී බව පැහැදිලිය. අවුරුදු උත්සව කටයුතු කිල්ලට පවා අසු නොවී දෙවියනට හා ග්‍රහයනට පක්‍ෂපාතව, ළැදිව, ඉතාම පිරිසුදු ලෙස පැවැත්විය යුතුය යන ඇදහීම හා පින් වැඩවල යෙදීම නිසා සිංහල අවුරුදු උළෙල ජාතික පමණක් නොව ආගමික ලක්‍ෂණයන්ගෙන් ද යුක්ත වේ.