Naifmvlog

Naifm vlog Gossip and News

නෑයන් කැඳවා ඔවුන්ට බත බුලතින්

අදින් වසර සියයකට පෙර ඇට්හෝම් ගත් විදියනුදුරු අතීතයේ විසූ පිටිසරයන්ගේ බත්ලැවිලි ක්‍රමයේ සහ අද දක්නට ලැබෙන ඇට්හෝම් ක්‍රමයෙත් විශාල පරතරයක් ඇත්තේය. ආවාහ-විවාහ, ඉඳුල් කට ගෑම, ගෙවැදීම ආදී අවස්ථාවන්හිදී නෑයන් කැඳවා ඔවුන්ට බත බුලතින් ඔවුහු එදා සංග්‍රහ කළහ. ආරාධනා ලැබූ අය හාල්, පොල්, කෙසෙල් කැන්, පුහුල් ගෙඩි හා කැවුම්, කොකිස් පෙට්ටි කත් බැඳගෙන ඒමේ සිරිත නිසා එවැනි සංග්‍රහයක් පැවැත්වීම එතරම් බරක් නොවූයේය. එවැනි පැරැණි චාරිත්‍ර ඉටු කිරීමෙන් ඔවුහු ලොකු සතුටක් වින්දහ. එවැනි අවස්ථාවකදී ම-ත්-පැන් සංග්‍රහ කිරීම ඉතා පහත් කටයුත්තක් බවට සමාජ සම්මතයක්ද පැවැතිණි.

වෙනස් වීම – බත්ලැවිලි නමින් හැඳින්වුණු පුරාණ ක්‍රමය වෙනුවට “ඇට්හෝම්” නමින් හැඳින්වෙන අවරදිග මුහුණුවර ගත් සංග්‍රහ උත්සව විශේෂයක් අද බොහෝ අෑත පිටිසර පළාත්වල පවා දක්නට ලැබේ. එහි බත් මාළු සංග්‍රයක් නැත. කුස පිරෙන කෑමක් නැත. ම-ත්-පැන් නොමැතිව “ඇට්-හෝම්” සාර්ථක නොවනවා පමණක් නොව එය “හරිපල් ඇට්හෝම් එකක්” යන කතාව නිසා සමහරුන්ට අපකීර්තියක් ලැබෙන සේ සලකන බවද පෙනේ. අවරදිග කෑම බීම සඳහා විශාල වියදමක් දරන්නටත් සිදුවේ.

ලවුඩ්ස් ස්පීකර් – අද ඇට්හෝම් ක්‍රමයෙහි දක්නට ලැබෙන විශේෂ අංගයක් නම් මුළු පළාතම දෙදුරුම් කා යන තරම් හ¾ඩින් රාත්‍රි එක දෙක වන තුරු, ශබ්දවාහිනී යන්ත්‍ර මාර්ගයෙන් සින්දු ප්‍රචාරය කිරීමය. “මේසයට ඉක්මනට තේ එවන්න.” යන්න පවා ශබ්දවාහිනී යන්ත්‍ර මාර්ගයෙන්ම කියන ලද අවස්ථා කිහිපයක් ගැන මම දනිමි. දින දෙක තුනක් දිවා රෑ දෙකෙහි කෙරෙන ඒ සංගීත කලබලය නොමැතිව ඇට්හෝම් සම්පූර්ණ නොවේ යැයි බොහෝ අය විශ්වාස කරන බව පෙනේ. මේ සඳහාත් විශාල වියදමක් කරන්න සිදුවේ.

වෙල්කම් – ඇට්හෝම් ගෙය නොයෙකුත් සැරසිල්ලෙන් අලංකාර කොට ගේ අබියස තොරන් ද ඉදි කරති. එහි “ආයුබෝවන්” සිංහලෙන් යොදන සිංහලයෝද දැන් හිඟවෙත්. ගම්බද තොරන්වල පවා “වෙල්කම්” යන්න ඉංග්‍රීසියෙන් ලියති. සමහරුන්ට එම වචනය පවා නිවැරැදි ලෙස ලියා ගන්නට නොහැකිය හැඩ වැඩ දමා හදන වෙල්කම් තොරන්ද අද ඇට්හෝම් ක්‍රමයේ විශේෂ අංගයක් වී ඇත්තේය.

ආරාධනා – පුරාණ ක්‍රමය අනුව බත්ලැවිල්ලට ආරාධනා කළේ නම් නෑදෑයන්ට සහ හිතවතුන්ට පමණය. එදා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් බුලත් අතක් පිළිගැන්වීමෙනි. මුද්‍රණාලයකට ගොස් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ආරාධනා පත්‍ර දහස් ගණනක් මුද්‍රණය කරවා ගෙන නෑයන්, හිතවතුන් පමණක් නොව ලිපිනය සොයාගත හැකි කවරකු ගේ නමට හෝ යැවීම අද කෙරෙන බොහෝ ඇට්හෝම් ලක්ෂණයකි. පළාතේ මන්ත්‍රි වැනි දේශපාලනකාරයෙක් ඊට නොගියහොත් ඊළඟ මැතිවරණයේදී ඔහුට ඡන්ද කිහිපයක්ම නොලැබෙනු නොඅනුමානය. ගමේ මුලාදෑනියා හෝ පාසලේ ගුරුවරයා ඊට නොගියහොත් සමහර විට නොයෙකුත් චෝදනා සහිත නිර්නාමික පෙත්සම් කිහිපයක්ම ඔහුට විරුද්ධව යෑමත් ගම්බද දක්නට ලැබෙන අනිවාර්ය සිද්ධියකි.

අදහස – වෙළෙඳ ව්‍යාපාරයක් – නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කොට ප්‍රීති වීමේ පිරිසුදු අදහසින් ඇට්හෝම් පැවැත්වූ මා දන්නා අය දෙතුන්දෙනකුට වඩා නැති බව පෙනේ. බොහෝ දෙනකුන් මෙය කරන්නේ විශාල ලාභ මුදලක් ලබාගැනීමටය. එබැවින් මෙය එකට සීයක් පමණ ලාභ බලාපොරොත්තුවෙන් පටන් ගතහැකි වෙළෙඳ ව්‍යාපාරයක් වී ඇත්තේය. දරුවකුගේ (සමහර විට බඩ පිරෙනතුරු බත් මාළු කෑ ළමයින්ගේ) ඉඳුල් කට ගෑම, කන් විදීම, දුවක් වැඩිවිය පැමිණීම, අවාහ විවාහ, නම්බු නාම ලැබීම, ගෙවැදීම්, වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී සාමාන්‍ය කටයුතුවලදී පමණක් නොව විහාරයට මුල්ගල තැබීම, බෝධියට බැම්මක් බැඳීම, පිළිමයේ නෙත් පිහිටුවීම ආදී ආගමික යැයි සම්මත කටයුතුවලදී ද ඇට්හෝම් ක්‍රමය උපයෝගි කරගන්නා බව පෙනේ. කලකට පෙර උඩරට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් විසින්ද පෙර කී සේ ආරාධනා පත්‍ර මුද්‍රණය කොට ගෙන යමින් ගමින් ගමට ගෙන් ගෙට වැඩම කරවා පන්සලේ වූ ඇට්හෝම් එකට ආරාධනා කළ අයුරු මම සියැසින් දිටිමි.

ලොකු වැඩ – කුකුළු කූªඩුවක් තරම් වූ කුඩා දිළිඳු පැල්පතක වසන අයගේ මඟුල් සඳහාද කාර් බොහෝ යොදති. ඊට මුදල් හොයන්නට ඇට්හෝම්ද දෙති. ඉන් වන ඉරණම පෙර සඳහන්ය. මනමාලියගේ ඇඳුම් සඳහා රුපියල් 25කට වඩා වියදම් කරන්නේ නම් ඔහු අලි මෝඩයෙකි.

චාම්කම – අපේ ධනවත් ලොකු ලොක්කන්ගේ කටයුතු චාම් අන්දමින් කිරීමට ඉටා ගතහොත් එය සාමාන්‍ය මිනිසාගේ සැනසිල්ලටද තුඩු දෙනු නොඅනුමානය. මංගල ආදී උත්සව චාම් අන්දමින් පවත්වා ඇට්හෝම් දීමනාව තුරන් කළහොත් එය මුළු රටටම විශාල සහනයක් විය හැකිය.