Naifmvlog

Naifm vlog Gossip and News

අති විශාල කෞතුක වස්තූන් රාශියක්ද

ජේතවනාරාම සංකීර්ණයේදී කරන ලද කැණීම්වලදී නෂ්ටාවශේෂ සහ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒවා පොදුවේ “ජේතවන සම්පත” වශයෙන් හැඳින්වේ. මෙරටට ආනයනය කරන ලද මැටි බඳුන් මෙන්ම මෙරට නිෂ්පාදනය කළ මැටි බඳුන්ද අති විශාල කෞතුක වස්තූන් රාශියක්ද දැනට හමුවී තිබේ. මෙයින් සමහර මැටි භාණ්ඩවල හැඩය, ස්වරූපය හා ඒවායින් ගත් ප්‍රයෝජනය ශ්‍රී ලංකාවට බටහිරින් උතුරින් සහ පෙරදිගින් පිහිටි රටවල්වල ආභාසය ලබා තනන ලදැයි සිතිය හැකිය. ජේතවනාරාම කැණීම් භූමියෙන් මතුවූ කෞතුක වස්තූන් පිළිබඳ පහත සඳහන් දේ විශේෂ වශයෙන් සඳහන් කළ හැකිය. මැණික් සහ වීදුරුවලින් තැනූ අවනත කැටයම් සහිත මුද්‍රා, රෝමානු, භාරතීය සහ වෙනත් විදේශීය කාසි, මැටි, වීදුරු, පාෂාණ වර්ග, මැණික්, පළිඟු, අගස්ති, කානීලියන්, ඇත් දළ, සතුන්ගේ ඇට, හක් බෙලිකටු, රන්, රිදී සහ තඹ යනාදියෙන් තනන ලද පබළු තුන් ලක්ෂයක් පමණ සංඛ්‍යාව, සතුන්ගේ දත්වලින් සහ ඇටකටුවලින් තනන ලද සුර වැනි පැලඳුම්, සක් බෙල්ලන්ගෙන්, ඇත් දළවලින්, පස් ලෝහයෙන් සහ වීදුරුවලින් තනන ලද විවිධ මාදිලියේ විවිධ පාට ඇති වළලු, සක්බෙල්ලන්ගෙන්, ඇත් දළවලින්, සත්ත්ව ඇටකටුවලින්, කානීලියන්වලින් සහ පස් ලෝහයෙන් තනන ලද මුදු, ඇත් දළවලින් කැටයම් කරන ලද නොයෙක් මාදිලියේ හස්, පස් ලෝහයෙන් තනන ලද කනකර ආයිත්තම්, පස් ලෝහයෙන් තනන ලද සරනේරු සහ ඇණ, නොයෙක් ද්‍රව්‍යවලින් තනන ලද විවිධාකාර කනකර ආයිත්තම්, කුඩා පළිඟු කරඬු සහ පළිඟු කොත් කැරලි, අති උත්තම මහායාන ග්‍රන්ථයක් වන ප්‍රඥා පාරමිතා සූත්‍රයෙහි ගාථා සඳහන් රන් තහඩු 7ක්, පැරැණි චිත්‍ර සහිත ගල් පුවරු, දේශීය හා විදේශීය පාෂාණවලින් කරන ලද කැටයම් සහිත පුවරු, බෞද්ධ සහ හින්දු පිළිම සහ බුද්ධ පූජා කිරීම සඳහා ගන්නා විවිධ භාණ්ඩ, කානීලියන් සහ ලැපීස් යන පාෂාණ වර්ග වැනි ආනයනික අමුද්‍රව්‍ය.

යථෝක්ත කෞතුක වස්තුවලින් කිහිපයක් හැර ඉන් වැඩි කොටසක්ම වැළලී තිබුණේ ජේතවන ස්තූපයේ උතුරු හා නැඟෙනහිර ආයක (වාහල්කඩ) ඉදිරියේ සලපතළ මළුව යටය. මින් වැඩිහරියක්ම මතුවූයේ අනුරාධපුර දැවැන්ත ස්තූප ඉදිකිරීමේදී උපයෝගී කරගන්නා ලද තාක්ෂණය අධ්‍යයනය කිරීමට කරන ලද පරීක්ෂණවලදීය. මහසෙන් රජු විසින් ස්තූපය මුල්වරට ඉදිකරන ලද අවස්ථාවේදී ඉදිකරන ලද මූල වැටි පාදකය හා ඊට උඩින් ගඩොලින් තනන ලද පාදකයත් අතර යථෝක්ත වස්තුව තිබිණි. මෙම වස්තුව පැවැති ස්ථානය අනුව ඒවා නිම කරන ලද ශෛලීන් අනුව සලකා බලන කල ඒවා ක්‍රි.පූ. 2 වැනි සියවස හා ක්‍රි.ව. 3 වැනි සියවස අතර කාලයට අයත් යැයි සැලකිය හැකිය. භාණ්ඩ වර්ග 30කට පමණ අයත් 400ක් පමණ වන ඇත් දළ භාණ්ඩ විවිධ මට්ටමින් ආරක්ෂා වී තිබේ. මේ කැටයම් අතර ඉතාම වැදගත් කොට සැලකීමට පුළුවන් මල් මාලයක් කටින් ගත් මකර රූපය, කුඩා ඇත් දළ කරඬුවල කොත් කැරල්ල ස්තූපයක ඒ අංග දියුණු වූ ආකාරය මොනවට පැහැදිලි කරයි. මුදුනත ආසන්නයේ හරහට සිදුරක් ඇති ඇටකටුවලින් තනන ලද හස් කීපයක කැටයම් කර ඇත්තේ අෂ්ටමංගල ලක්ෂණයයි. මේවායේ සමහරක ඇති පූර්ණඝටවලට සමාන පූර්ණ ඝට දක්නට ඇත්තේ ඇෆ්ගනිස්තානයේ බේ්‍රග්‍රාම් නම් ස්ථානයෙන් සොයා ගන්නා ලද ක්‍රි.ව. මුල් ශත වර්ෂ 3කට අයත් යැයි සලකනු ලබන ඇත් දළ කැටයම්වල බැවින් ජේතවනයෙන් ලැබුණු මේ හස් ඒ කාලයටම අයත් සේ සැලකීමට පුළුවන.

මේ ලැබී ඇති ඇත් දළ සහ ඇටකටුවලින් නිර්මිත භාණ්ඩ අතර තවත් වැදගත් දෙයක් සේ සැලකීමට පුළුවන් වන්නේ සෘජුකෝණාස්‍රාකාර දාදු කැටය. මේවායේ දක්නට ලැබෙනුයේ පැති හතරේ ක්‍රමයෙන් 1 සිට 4 දක්වා කුඩා වන අයුරිනි. මේ දාදු කැට ප්‍රමාණයෙන් විවිධ වන අතර මේවා පූජා භාණ්ඩ ලෙස තැන්පත් කර තිබීම සැලකිල්ලට භාජන කළ යුතු කරුණකි. ජේතවනාරාමයේ නිර්මාතෘ මහසෙන් රජු ක්‍රි.ව. 4 වැනි සියවසේදී සිය පියාණන් වූ 2 වැනි ජෙට්ඨතිස්ස රජුගේ ඉල්ලීම පිට දිව්‍යමය නිර්මාණයක් තරම් මනහර වූ තේජවන්ත බෝධිසත්ත්ව රූපයක් ඇත් දළින් නිම වූ සිහසුනේ කැටයම් කරවන ලද බව චූලවංශයේ සඳහන් වේ. 150ක් වූ මැටි භාජන සමූහය තුළ සම්පූර්ණ හා තරමක් දුරට සම්පූර්ණ මැටි බඳුන්ද උතුරු ඉන්දියාවෙන් හෝ බටහිර ආසියාවෙන් ආනයනය කළ මැටි බඳුන් සමහරක්ද ඇත. ජීවන වෘක්ෂයේ හෝ කල්ප වෘක්ෂයේ මූලය නිරූපණය කරන හා ශ්‍රී ලංකාවේ මුරගල්වල ලක්ෂණයක් වන මිනිස් රූප රුවැති නාගයන්ගේ අත්වලින් දරා සිටින භාජනවල බලපෑම පෙන්වන එක් ගෝලාකාර මැටි බඳුනක්ද ඇත. ජේතවන ස්තූපය ඉදිකිරීමට පෙර යුගයට අයත් යැයි සැලකිය හැකි, ශ්‍රී ලංකාවේදී පාතෝ-සැසේනියන් භාජන වශයෙන් හැඳින්වෙන, වර්ණාලේපිත මැටි බඳුන් කැබලි ගණනාවක් ස්මාරක ප්‍රදේශවලට පිටතින් ගෙනැවිත් පිරවූ පස්වලින් හමුවී ඇත. ඉතාමත් දීප්තිමත් රක්ත වර්ණ මැටි භාජනද මතුපිට දීප්තිමත් රක්ත වර්ණ මැටි භාජනද රෝස පැහැයට හුරු රන් පාට මතුපිට ආලේප කළ පඬු පැහැ මැටි භාජනද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවාය.

ඉහත වර්ගවලට අයත් ජල පාලන මූල ධර්මය උපයෝගී කරගත් එක් විශේෂ ගුරුලේත්තුවක් ඇත. එහි බඳෙහි මැද කොටසෙහි පිටතට විනිවිදව යන තිරස් සිදුරකද බඳෙහි ඉහළ කොටසේ ලතාවක් නිරූපණය කරන උන්නත කැටයමක්ද ඇත. භාජනයේ ඇතුළත සිට අඬුව හරහා ඉහළට විහිදී විවෘත වන නළයක ස්වරූපයේ සිදුරක් මෙහි ඇත. අලංකාර ලෙස සැකසූ මෙම ගුරුලේත්තුව සෑදීමට යොදාගත් මැටිවල සංයුතිය දේශීය මැටි බඳුන්වලට යොදාගත් ආකාරයටම ඇත. අලංකාර කිරීම හා සකස් කිරීම විදේශීය තාක්ෂණයේ හා කලාවේ බලපෑම ලැබුණු බව පෙනුණද නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම දේශීය වෙයි. මෙම ගුරුලේත්තුව ක්‍රි.ව. 3 වැනි සියවසේ අග භාගයට පෙර යුගයට අයත් බවට නිගමනය කළ හැකිය. බඳේ ඉහළ කොටසේ මිදි වැලක් උන්නතව කැටයම් කළ මීට සමාන භාජනයක් ඇෆ්ගනිස්තානයේ බේ්‍රග්‍රාම් පුරාවස්තු අතර නිරූපණය කර ඇත. ජේතවන සංකීර්ණයේ කැණීම්වලදී චීන හා ඉස්ලාමීය මැටි බඳුන්වල කැබලි රාශියක්ද මැටි භාජනවල අඬුද, ඇතුළත කළු රේඛා සටහන් සහිත රූලටඩ් වර්ගයේ භාජනවල (ද්‍රව්‍ය රැස්කර තබන) කැබලි ගණනාවක්ද තවමත් හඳුනා නොගත් වෙනත් ගණයේ භාජනවල කැබලිද සොයාගෙන ඇත. ස්තරායනය අනුව ක්‍රි.ව. තෙවැනි සියවසේ අවසාන කාර්තුවට පෙර කාලයට අයත් වර්ණාලේපිත උළු කැබලි ඉතා වැදගත් වන්නේ එතරම් අෑත යුගයක සිට ශ්‍රී ලංකාවේ එම උළු භාවිත කළ බව පෙනෙන නිසාය.

දැනට සොයාගෙන ඇති මුද්‍රා 16ක් අතර වීදුරුවලින් නිම කළ එකක්ද කානේලියන්වලින් නිම කළ වැඩි ප්‍රමාණයක්ද රබර් වලින් නිම කළ ස්වල්පයක්ද වේ. ස්තූප පදනමේ තැන්පත් කර තිබූ පුරාවස්තු අතර මේ මුද්‍රාවලින් 13කද මිනිස් හිසක් කැටයම් කළ පැතලි කෙළවර උත්තල වූ කාචයන් වැනි වීදුරු නිර්මාණයක්ද හමුවිය. ඒ සමඟම අනිත් කාචය සමහර විට එහි පිටුපස කොටස විය හැකිය. මීට සමාන වූ පැතැලි බිඳී ගිය වීදුරු කාචයේ එක් පාදයක් සහිතව ගැහැනු රුවක් දැක්වෙන අතර ආභරණයක එල්ලන කොටසක් විය හැකිය. කැටයම් කළ කානේලියන් මුද්‍රා දෙකෙන් එකක රෝම ජාතිකයකුගේ හිසක්ද අනෙකෙහි රෝම මිනිස් රුවක්ද නිරූපණය වේ. ඉතිරි ඒවා හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමානය. දේශීය සතුන් හා කුරුල්ලන් නිරූපණය කරන අතර දේශීය සම්භවයක් පෙන්වයි. ජේතවන සංකීර්ණයෙන් හා වෙනත් ස්ථානවලින් හමුවී ඇති කැටයම් නොකළ කානේලියන්වලින් නිගමනය කළ හැක්කේ කානේලියන් විදේශවලින් ආනයනය කොට පැරැණි ශ්‍රී ලංකාවේ මුද්‍රා කැටයම් කළ බවය. විවිධ හැඩයේ පබලු 300,000කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා අබ ඇටයක ප්‍රමාණයේ සිට දිග සෙ.මී. 4 1/2ක් පමණ දක්වා විශාලය. මැටි වීදුරු, ගල් වර්ග, පළිඟු, අගස්ති, කානේලියන්, ඇත් දළ, බෙල්ලන්ගේ සැකිලි, සත්ත්ව ඇට, රත්රන්, රිදී හා ලෝකඩවලින් මේවා සාදා ඇත. සමහර ලෝකඩ පබලු රේඛා සැරසුම් යොදා හෝ රන් ආලේප කර හෝ ඇත. ක්‍රි.ව. 3 වැනි සියවසේ අවසාන කාර්තුව දක්වා පබළු නිෂ්පාදනයේ තාක්ෂණික ක්‍රම ඒවායේ හැඩයන් පිළිබඳ හැදෑරීමේදී මේ පබළු එකතුව මිල කළ නොහැකි තරම් අගනේය.

මුදු සඳහා යොදාගත් අමුද්‍රව්‍ය අතර කානේලියන්, රතරන්, බෙල්ලන්ගේ සැකිලි, ඇත් දළ, ලෝකඩ ඇතුළත් වේ. හැඩය අනුව, පෙනෙන්නේ නිලතල අනුව මුදු පාවිච්චි කළ බවය. ස්තූපය හා මූල කැණීම්වලින් වීදුරු කැබලි විශාල සංඛ්‍යාවක් සොයා ගන්නා ලදී. ඒවායින් වැඩි ප්‍රමාණයක් තද නිල් පැහැය ගනී. ඉන් දෙකක සුදුවන් තීරු මිශ්‍ර දම් පැහැයෙන් යුතුය. ඉතිරි ඒවා සමහර විට බෝතල් භාජන, කුසලානවලට අයත් පතුල, බඳ, ගෙල හෝ ගැටිවල කොටස් වෙයි. දැනට සොයාගෙන ඇති එකම සම්පූර්ණ කුඩා බෝතලය උසින් සෙ.මී. 5ක් පමණ වේ. ඝන බඳක් සහිතය. වර්ණයෙන් තද නිල් පැහැතිය. කැබලි සංරක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සමහර භාජන අර්ධගෝලාකාර හැඩයක් ගන්නා බවයි. ඉන් දෙකක් අයත් වන්නේ විවිධ වර්ණ වීදුරු මිශ්‍රිත භාජන වර්ගයකටයි. පතුල් කැබැලි ස්වල්පයක් හමුවී ඇති අතර එකක පැතිකඩ උත්තල බවක් පෙන්වයි. මේවා තෙවැනි සියවසේ අවසාන කාර්තුවට පෙර යුගයට අයත් වයඹ ඉන්දියාව හරහා කෙළින්ම හෝ බටහිර ආසියාවෙන් ආනයනය කළ ඒවාය. වීදුරු භාජනවල කුඩා කැබලි යම්කිසි වටිනාකමක් ඇතැයි සලකන අතර මැණික් වශයෙන් පූජා කළ දෑ විය හැකිය. රැලි සහිත අලංකරණයක් යෙදූ කැබලි දෙකක්, බේ්‍රග්‍රාම්වලින් හමුවූ වීදුරු භාජන වර්ගයට අයත් වේ. ලෝකඩ භාණ්ඩ වශයෙන් කුඩා සරනේරු 2ක් ඉතා කුඩා ඇණ, බිලීි කොකු වැනි උපකරණ හා විසිතුරු භාණ්ඩවල කොටස් හමුවී ඇත. සරනේරු, ඇත් දළින් නිමවූ පෙට්ටියකට සවිකර තිබූ බව පෙනේ. දැනට එම පෙට්ටියේ පියන පමණක් ඉතිරි වී ඇත. ඇත් දළ පෙට්ටියේ පියනෙහි ඔබ්බවන ලද ස්වස්තික රූප දේශීය සම්භවයක් පෙන්වයි. මීට පෙර සඳහන් කළ අඬුව සහිත ගුරුලේත්තුවේද ස්වස්තික උන්නත කැටයම් ඇත. මිලිමීටර් 5ක් පමණ පළල ලෝකඩ ඇණවලින් කැටයම් දරා සිටින්නට ඇත.

ලෝකඩවලින් නිමවූ සෙ.මී. 4ක් පමණ උස සිංහ පාදය ආධාරකයක කොටසක් වන අතර එහි බටහිර ආසියාතික හෝ රෝමාන් සම්භවයන් පෙන්වයි. ජේතවන කැණීම්වලදී බොහෝ පසුකාලීන යුගවලට අයත් ලෝකඩ නිර්මාණයක්ද හමුවී ඇත. කොටස් 2කින් යුත් ලෝකඩ ආධාරකය, ටිබැට් භික්ෂුන් භාවනා කිරීමට යොදාගත් උපකරණයක කොටසක් විය හැකිය. එහි බඳෙහි මතුපිට තන්ත්‍රයාන දෙවිවරුන් නිරූපණය වේ. හමුවූ හින්දු ලෝකඩ ප්‍රතිමා 8න් ශිව ප්‍රතිමාව විශාලම එකය. ලෝකඩ ආධාරකයට වඩා පැරැණි හිටි බෝසත් ප්‍රතිමාව ක්‍රි.ව. 6-7 ශත වර්ෂවලට වඩා පැරැණි යුගයට අයත්ය. එයට හින්දු ප්‍රතිමාවල මෙන් පාදස්තලයක් සවිකර ඇත. තවත් ප්‍රතිමා පාදස්තලයේ “නානා දේශීන්” යන සටහන් අනුව පෙනී යන්නේ ක්‍රි.ව. 10-12 කාලයේ පල්ලව ලක්ෂණ ඇති බව හා දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන්නට ඇති බවය. හමුවූ පත්තිනි ප්‍රතිමා දෙකකින් එකක හොඳ ශිල්පීය දක්ෂතාවක් පෙනේ. හින්දු ලෝකඩ ප්‍රතිමා ක්‍රි.ව. 11-13 ශත වර්ෂවලට අයත් වේ. හුනු ගලෙන් නෙලූ ඉතා සිත් ඇදගන්නා සුලු ජීවමාන ප්‍රමාණයට වඩා විශාල, වටකුරු ස්ත්‍රී රූප දෙකකි. ඉන් එකක පියුමෙන් කරන ලද හිස් සැරසුමක් නිරූපණය වේ. විශේෂයෙන් ස්ත්‍රීන් තිදෙනකුගේ රූප අර්ධ උන්නතව දැක්වෙන සිත් ඇදගන්නා සුලු කැටයමක හා වෙනත් මූර්තිවල කොටස් අමරාවතී ස්ඵටික හුනුගල් කැටයම් සිහි කරවයි. ගෞතම නමින් බුදු වූ සිදුහත් කුමරුගේ මව වන මහාමායා දේවිය සේවිකාවන් දෙදෙනකු හා සාල වනයට යෑම මෙහි කැටයම් කර ඇතැයි සැලකේ. කුඩා වුවද උසස් කැටයම් කලා ලක්ෂණ පෙන්වන මේ රූපවලින් ශ්‍රී ලංකා කලාවේ වැදගත් ලක්ෂණයක් වන සරල බව පෙන්වයි. කුලුනු හා බිත්ති හැම පැත්තක්ම කැටයම් කළ එක සමාන හැඩයන් හා ප්‍රමාණයන්ගෙන් යුතු අන්ත පනේල අතුරින් එකක බිත්තර කටුවක් තරම් තුනී බදාම විශේෂයක් ආලේප කර තිබූ බව පෙනේ. මෙම රූප ශෛලියෙන් සාංචි කැටයම් හා සමීප වන අතර ක්‍රි.පූ. 1 වැනි සියවස හා ක්‍රි.ව. 2 වැනි සියවස අතර කාලයට අයත් බවට නිගමනය කළ හැකිය.