Naifmvlog

Naifm vlog Gossip and News

ඇන්ඩීස් කඳුවැටියට නැඟෙනහිරින් පිහිටි

පයිටිටී යනු මීට වසර දහස් ගණනකට පෙර අතුරුදන්ව ගිය එදා සිට මේ දක්වා සොයා ගැනීමට වෙහෙස වූ නමුත් එම උත්සාහය තාමත් සාර්ථක නොවූ ගුප්ත නගරයකි. පීරු දේශයේ පිහිටා ඇතැයි සැලකෙන මෙම නගරය ඇමසන් වනාන්තරයේ මිනිසාට ප්‍රවේශ වීමට ඉතා අසීරු ප්‍රදේශයක පිහිටා ඇතැයි විශ්වාස කෙරේ. මෙය ගවේෂණය කිරීමට බොහෝ දෙනා උත්සාහ දරන්නේ එය රන්, රිදී ආභරණ ඇතුළු වටිනා දේවලින් පිරුණු නගරයක් බවට ජනප්‍රවාද සඳහන් වන බැවිනි. කෙසේ හෝ මෙය ගවේෂණය සඳහා ගිය බොහෝ දෙනාට නැවත පැමිණීමට හැකියාවක් ලැබී නැත. ඒ ඔවුන්ද අද්භූත ලෙස වනයේ අතුරුදන්ව හෝ ඝා-ත-නයට ලක්ව ඇති බැවිනි. ශ්‍රී මත් ආතර් කොනන් ඩොයිල්ගේ ‘The Lost World’ කෘතියට පාදක වූයේද මේ අතුරුදන් වූ පයිටිටී නගරයයි. නිදන් දඩයක්කරුවන්ගේ සිට පුරාවිද්‍යාඥයන් දක්වා මේ අතුරුදන් නගරය සොයන පිරිස බොහෝය. නමුත් තවමත් එය ගෝත්‍රික පුරාවෘත්තයක් පමණක් බවට පත්ව ඇත්තේ කිසිවකු ඒ පිළිබඳව අංශු මාත්‍රයක හෝ තොරතුරක්, සලකුණක් සොයා ගැනීමට අපොහොසත්ව ඇති බැවිනි.

කෙසේ වුවද පසුගියදා පීරු දේශයේ ඇමසන් වනාන්තරයේ ඝන වනාන්තරය තුළ මේ අ-තු-රුදන් නගරය ලෙස සැලකෙන ප්‍රදේශය පිළිබඳව ඉඟියක් සොයා ගැනීමට සමත්ව ඇති අතර එළැඹෙන ගිම්හානයේදී ඒ පිළිබඳ වෘත්තීය ගවේෂණයක් ආරම්භ කිරීමේ සැලසුමක් පවතී. ඉන්කා පුරාවෘත්තයන්හී සඳහන් වන අන්දමට ඇන්ඩීස් කඳුවැටියට නැඟෙනහිරින් පිහිටි කුස්කෝ ප්‍රදේශය ඝන වනාන්තරයේ ඇති ඉසව්වක මෙම පයිටිටී නගරය පිහිටා තිබේ. රනින් හා රිදියෙන් පිරුණු බව සඳහන් මෙම ප්‍රදේශය වසර සිය ගණනකට පෙර ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ආක්‍රමණය කොට ඇති නමුත් ඔවුන්ට සොයාගත හැකිව ඇත්තේ රන් හා රිදී ස්වල්ප ප්‍රමාණයක් පමණි. වසර 2001දී ස්පාඤ්ඤ ජාතික පුරාවිද්‍යාඥයකු වූ මාරියෝ පෝලියා විසින් වතිකානු ලේඛනාගාරයේදී ඇන්ඩ්‍රියන් ලෝපස් නම් මිෂනාරිවරයකු විසින් වසර 1600දී පමණ සකස් කරන ලද වාර්තාවක් නිරීක්ෂණය කිරීමේදී රන්, රිදී ඇතුළු වටිනා ආභරණවලින් පිරුණු, ස්වදේශිකයන් විසින් පයිටිටී යනුවෙන් හඳුන්වන නගරයක් ඇමසන් ඝන වනය තුළ තිබෙන බව සඳහන් තිබී ඇත.

ලෝපස් විසින් මේ බව එවකට සිටි පාප් වහන්සේට දන්වා ඇති අතර වතිකානුව විසින් එය මේ දක්වා රහසක් වශයෙන් තබාගෙන ඇත. ඝන වනාන්තරයෙන් සහ තරණය කිරීමට අසීරු කඳුවලින් ගහන ප්‍රදේශයක් නිසා පයිටිටී සොයා යෑම ඉතා අසීරු වී තිබේ. එසේම වර්තමානයේ පීරු රාජ්‍යයේ මෙම ප්‍රදේශයේ තම අණසක පතුරුවාගෙන සිටින ම-ත්-ද්‍ර-ව්‍ය ජාවාරම්කරුවන්, නීති විරෝධී දැව ජාවාරම්කරුවන් හා තෙල් ආකර කණින්නන් වනයට ඇතුළු වන ඕනෑම පුද්ගලයකු මරා දැමීමට පෙලැඹෙන නිසාද පයිටිටී නගරය තවදුරටත් රහසක්ව පැවැතීමට හේතුවී තිබේ. වසර 1981දී සුප්‍රකට මාචු පිචු නටබුන් නගරයට වයඹ දෙසින් පිහිටි මොනැකො ඉන්කාවරුන්ගේ විල්කබම්බා බලකොටුව ගවේෂණයක යෙදුණු ගේ‍රග් ඩෙයර්මෙන්ජියන් නම් ගවේෂකයා පවසන පරිදි මේ අතුරුදන් වූ පයිටිටී නගරය ඇත්තේ විල්කබම්බා බලකොටුවට ඔබ්බෙන් ඝන කැලෑව තුළ නැඟෙනහිර දෙසට වන්නටය. මෙය ඇන්ඩීස් කඳුවැටිය සහ ඇමසන් වනාන්තරය එකිනෙක මුණගැසෙන, ප්‍රපාතාකාර බෑවුම් සහ අඩියක් තබන්නට වත් තරම් ඉඩක් නොමැති තරමට වන ගහනයෙන් වැසුණු දුෂ්කර ඉසව්වකි. එසේම ගංගා හා ප්‍රචණ්ඩ ජල පහරද මේ හරහා ගමන් කිරීමේ හැකියාව තවදුරටත් සීමා කොට තිබේ.

කෙසේ හෝ මේ දුෂ්කර මාර්ග අතර පිහිටි පැන්ටියාකොල්ලා නම් සානු ප්‍රදේශය ගුවනේ සිට නිරීක්ෂණය කිරීමට කාර්ලෝස් නම් තවත් ගවේෂකයෙකුට හැකියාව ලැබී තිබේ. ඔහු පවසන්නේ ඒ පයිටිටී නගරය තිබූ ප්‍රදේශය විය හැකි බවය. පයිටිටී පිහිටි ඉසව්ව ගවේෂණ සඳහා ගවේෂකයන් යන්නේ තම දිවි පරදුවට තබාය. වතාවක් පයිටිටී සොයා ගිය වික්‍රමාන්විත සංචාරයන්හි යෙදුණු ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පී ෆර්නෑන්ඩු එස්. ගැලගස් දිවි මකුළු රංචුවකගේ ප්‍ර-හා-රයකට ලක්ව දිවි ගලවාගෙන ඇත්තේ අනූනවයෙනි. එසේම වතාවක් ඔහුට ඇදවැටුණු මහ වැස්සට සක්‍රිය වූ ජල පහරවල් කිහිපයකට මැදිව දින ගණනාවක් ගැඹුරු වනය තුළ ගත කිරීමට සිදුව තිබේ. එසේම මෙම වනය තුළදී විසකුරු උරග සතුන්ගේ ප්‍ර-හා-රයකට ඕනෑම වෙලාවක ලක් විය හැකි බවද ෆර්නෑන්ඩු සඳහන් කරයි. වරක් පයිටිටී ගවේෂණයේ යෙදීම සඳහා මෙගන්ටොනි වනෝද්‍යානය හරහා යන ෆර්නෑන්ඩුට ඒ දුෂ්කර වනයේ ජීවත් වන මට්සිගුවෙන්ගස් ගෝත්‍රිකයන් මුණගැසී තිබේ. ඔවුන්ගේ මුතුන්මිත්තන් පවසා ඇති පරිදි ඝන කැලය තුළ කඳුකර ප්‍රදේශයක මේ පයිටිටී නගරය වැළලී තිබේ. කෙසේ හෝ 2012 චන්ද්‍රිකා මඟින් ගන්නා ලද ඡායරූප කීපයකින් පයිටිටී පිහිටා ඇතැයි සැක කෙරෙන ප්‍රදේශයේ හතරැස් හැඩයේ අමුතු ආකාරයේ කඳුගැටයක් දැක ගන්නට ලැබී ඇත. එම කඳු ගැටයට මීටර් දෙතුන් සීයක් පමණ අෑතින් ගුප්ත විල් දෙකක්ද දැක ගන්නට ලැබේ.

පුරාවෘත්තයන්ට අනුව පයිටිටී නගරය ගොඩනඟා ඇත්තේ එවැනි ජලාශ දෙකක් ආශි්‍රතව යැයි පැවසෙන බැවින් බොහෝ දුරට මෙය අතුරුදන් වූ නගරය පිහිටි ඉසව්ව බවට විශ්වාස කෙරේ. කෙසේ වුවද මෙගන්ටොනි යනුවෙන් හැඳින්වෙන මේ කැලෑබද පෙදෙසට ළඟා වීම බෙහෙවින් අනතුරුදායක මෙන්ම ඉතා අසීරුය. විශේෂයෙන් දින ගණනාවකට අවශ්‍ය භාණ්ඩ රැගෙන කණ්ඩායම්වලට මේ ගමන යෑම කිසිසේත්ම පහසු නැත. මේ තොරතුරු ඔස්සේ ලබන ජූලි මස වන විට හෙලිකොප්ටරයක් යොදාගෙන මේ හතරැස් කඳුවැටිය ගවේෂණය කිරීමටත් කිමිදුම්කරුවන් හා රොබෝ සබ්මැරීනයක් යොදා ගනිමින් විල් පතුල ගවේෂණය කිරීමටත් ගවේෂක කණ්ඩායමක් සැලසුම් කොට තිබේ. මේ මෙහෙයුම සඳහා ලෝ ප්‍රකට පුරා විද්‍යාඥයන් කීහිප දෙනකුද සහභාගි වීමට නියමිතයි. කලක් අතුරුදන් නගරයක් ලෙස පැවති සුප්‍රකට මාචු පිචු පැරණි නගරය සොයාගත් ආකාරයටම මේ පයිටිටී නගරයද සොයා ගත හැකි යැයි ගවේෂක කණ්ඩායම විශ්වාසය පළ කරති. කෙසේ වුවද මෙම ගවේෂණවලට විරෝධය පළ කරන කණ්ඩායම්ද සිටිති. මේ වනගත පෙදෙස්වල ජීවත් වන බාහිර ලෝකය සමඟ සබඳතා පැවැත්වීමට කැමැත්තක් නොදක්වන කුගා පකුරිස් වැනි ගෝත්‍රිකයන් මෙම ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස බාහිර ලෝකයෙන් පැමිණෙන රෝගාබාධයන්ට ගොදුරු වී වැනසී යෑමේ අවදානමක් මෙන්ම සාපයන්ට ලක්වීමේ අවදානමක්ද පවතින බව ඔවුන්ගේ අදහසයි. නමුත් ගවේෂකයන් පවසන්නේ මේ හතරැස් කඳුවැටිය ආශි්‍රත ප්‍රදේශයට ළඟා වීමට ඇති දුෂ්කර බව නිසා කිසිදා ගෝත්‍රිකයන් ඒ ආසන්නයේ ජීවත් නොවන බවයි. එබැවින් නිදන් දඩයක්කරුවන්ට පෙර මේ ගුප්ත නගරය සොයාගෙන එය ලෝක උරුමයක් ලෙස රැකගැනීම සඳහා දායාද කිරීම තම අපේක්ෂාව බව ගවේෂක කණ්ඩායම පවසති.