Naifmvlog

Naifm vlog Gossip and News

වළගම්බා කාලයේදී ඉදිකරනු ලැබූ

දැනට නටබුන් වී ඇති අභයගිරි ස්තූපය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මහ පැරකුම්බා රාජ්‍ය සමයේ දීය. ශේෂ වී ඇති පරිදි දැනට මෙහි උස මීටර් 72.6කි. ගර්භයේ විෂ්කම්භය මීටර් 97.2කි. වළගම්බා කාලයේදී ඉදිකරනු ලැබූ මේ ස්තූපය ගජබාහු කනිට්ඨතිස්ස ඇතුළු තවත් පාලකයන් කීප දෙනකු විසින් වැඩිදියුණු කොට ඇත. ක්‍රි.ව. 411-413 කාලයේදී පාහියන් හිමියන් මෙම ස්තූපය බුදුන් වහන්සේ සිරිලකට වැඩම කොට සිරිපතුල තැබූ ස්ථානයක් මැදිකොට ඉදිකර ඇති බව ස්වකීය වාර්තාවේ සඳහන් කරයි. පාලි මහාබෝධි වංශයේ සිවු බුදුවරුන් සිරිලකට වැඩම කොට පෙරළා වැඩීමට අහසට නැඟි ස්ථාන සිහිකිරීම පිණිස පාද ලාංඡන ස්තූප ඉදිකළ බව සඳහන් වේ. බෝධිවංශ ගැටපද විවරණයේ ගෞතම බුදුන් වහන්සේ තෙවන ගමනේදී පෙරළා වැඩීම සඳහා අහසට නැංගේ මතු ඇතිවන ශිලාචේතිය නම් ස්ථානයෙන් බව දැක්වේ. එය හතරවන පාද ලාංඡන චේතිය බව තත් කෘතිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ශිලාචේතිය කුමක්දැයි දීපවංසයේ මෙසේ විස්තර කරයි “අභයගිරිං පතිට්ඨපෙසී සිලාථුපං චේතියං අÁතරෙ” මෙය පරණවිතාන මහතා “අභයගිරි විහාරය හා එම චෛත්‍ය අන්තරයෙහි (අභ්‍යන්තරයෙහි) පිහිටි සිලාථූපය හෙතෙම කරවීය” යනුවෙන් තේරුම් කරයි.

මේ අනුව ගෞතම බුදුන් වහන්සේ අහසට නැඟි ස්ථානයේ පදලස මත අභයගිරි ස්තූපය ගොඩනඟා ඇති බව පැරැණි විශ්වාසය වී ඇත. මේ විශ්වාසය තහවුරු කෙරෙන දුර්ලභ පුරාවස්තුවක්ද අභයගිරි ස්තූප මළුවේ තිබී හමුවී දැනට අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. එය බුදුන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනයකි. සිරිපතුලේ ගලට බොහෝ සෙයින් වෙනස් වන මෙහි සිරිපතුල් ගලෙහි මෙන් කැටයම් ඉහළට නෙරා නැත. බුරුල් පසෙහි පාදයක් එබූ අවස්ථාවේ සටහන පිහිටන අයුරින් ගැඹුරුට නෙළා ඇති මෙය ස්වාභාවික පාද සටහනකට සමානව දක්වා ඇත. මේ පාද ලාංඡනය ඉහත කී විශ්වාසය අනුව වැඳුම් පිදුම් කිරීමට යොදා ගත්තක් බව පෙනේ. 1992 වර්ෂයේදී මෙම ස්තූපයේ බටහිර වාහල්කඩ අසල පේසාව කැණීම් කළ අවස්ථාවේ ස්තූප ගර්භය එහි පහළ පේසාවට වඩා තරමක් ඉහළින් ඉදිකොට තිබෙන බව අනාවරණය විය. පහළ පේසාවේ සළපතල මළුවේ මට්ටමේදීම තද තුඩුගල හමුවූ අතර එය ස්තූප අභ්‍යන්තරය දෙසට විහිදීමේ ලකුණු පිරික්සීමේදී මධ්‍යයේ පිහිටි පොළොව (ගල) තවත් උස්වීමට ඉඩ ඇති බව පෙනේ. මෙරට ඉංගී්‍රසි පාලන අවධියේ වල් වැදී තිබූ මේ ස්තූපය පිළිබඳව 19 වැනි සියවසේදී සර් ඇවර්සන් ටෙනන්ට් මෙසේ පවසයි.

දාගැබේ විෂ්කම්භය අඩි තුන්සිය සැටකි. මෙකල උස අඩි දෙසිය හතළිස් නවයකි. අර්ධ ගෝලාකාර වූ මෙහි ගර්භයෙහි ගඩොල් බැම්මේ හා ඉන් පහත පිහිටි පැත්ත අඩි සත්සිය විස්සක් දිග ද, අඩි පසළොසක් උස ද ඇති සතරැස් ගල්පද නමැති බැම්මෙහිත් ඝන ප්‍රමාණය ඝන අඩි දෙකෝටියකටත් වැඩිවේ. කර්මාන්ත පරිශ්‍රමය අඩු කරවන්නාවූ නවීන යන්තේ‍රා්පකරණ ද ඇතිව මෙවැනි මහා කර්මාන්තයක් කිරීමට මෙකල මේසන්වරුන් පන්සියයකට අවුරුදු හයක හෝ හතක පමණ කාලයක් වුවමනා වේ. ඒ සඳහා යටත් පිරිසෙයින් රන් පවුම් දසලක්ෂයක් වැය කළ යුතු වන්නේය. මෙහි යොදන ලද ද්‍රව්‍ය සම්භාරයෙන් අඩි විස්සක මූණත ඇති ගෙවල් අට දාහක් තැනිය හැකිය. එබඳු ගෙවල් රැසෙන් සැතපුම් භාගයක් දිගැති වීදි තිහක් සෑදීමට සෑහේ. එම ද්‍රව්‍ය රාශියෙන් එංගලන්තයේ ඉප්සිව් හෙවත් කොවැන්ට් නගරය තරම් විශාල නගරයක් නිර්මාණය කළ හැකි වන්නේය. එසේම සැතපුම් විස්සක් දුරට සාමාන්‍ය දුම්රිය උමඟක බිත්ති බැඳීමට හෝ ලන්ඩන් සිට එඩින්බරෝ නුවර දක්වා අඩියක් ඝන අඩි දහයක් උස ප්‍රාකාරයක් බැඳීමට සෑහෙන්නේ ය. අතිමහත් වූ මේ කර්මාන්තයේ විශාලත්වය, වැයකර ඇති ධනය හා කර්මාන්ත ආයාසය සලකන විට මිසර දේශයේ පිරමීඩවලට පවා ඒ ඉක්මවිය නොහැකි බව පෙනේ.අභයගිරියේ ශ්‍රී මහ බෝධියක් පිළිබඳව එක් සෙල්ලිපියක සඳහන් වන “මහ බෝ ගෙය” පිළිබඳව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ ද සඳහන් වේ.

ඒ අනුව එය මීට පෙර මෙරට පාලකයකු විසින් දූතයන් යවා දඹදිව වූ ශ්‍රී මහා බෝධියෙන් බීජයක් ගෙන්වා රෝපණය කිරීමෙන් හට ගත්තකි. බෝධිය වටා බුදු පිළිමයක් සහිත බෝධි ගෘහයක් විය. සැදැහැති ජනයා නිතර මෙහි වැඳුම් පිදුම් කරති. පාහියන් හිමියන් එය පිහිටි ස්ථානය පිළිබඳව කරන විස්තරය අනුව මෙය 1962-63 කාලයේදී ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් කැණීම් කරවනු ලැබ අභයගිරි ආසනඝරය වශයෙන් හඳුනාගත් ස්මාරකය බව පෙනේ. ලංකාවේ ආසනඝර පිළිබඳ අධ්‍යයනයක යෙදුණු ඒ මහතා මෙම ස්ථානයේ අවසානය දක්වා කැණීම් නොකොට එය ආසනඝරය ලෙස හඳුනාගෙන ඇත. එතුමාගේ කැණීමේදී ශාලාවක (බෝධි ගෘහයක්) කණු පාදම ද, ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති ඉපැරැණිතම ශිලාමය බුදු පිළිමය ඇතුළු බුදු පිළිම හා බුදු පිළිම කැබලි ද ක්‍රිස්තු පූර්ව අවධියට වැටෙන ශිලා ලිපි ද එම අවස්ථාවේ හමු වී ඇත. මෙම ස්ථානය බෝධිඝරයක් විය යුතු බවට සලකා 1992 එහි කරනු ලැබූ කැණීම්වලදී ගල් ආසනයට ඇතුළු පැත්තෙන් බෝධියක් පරික්‍ෂිප්තව තිබෙන්නට ඇති වෘත්තාකාර ගඩොල් ප්‍රාකාරයක් අනාවරණය විය.

ඒ ඇතුළත මාල, ඇට, කාසි ආදී පුරාවස්තු විය. ගොඩකුඹුර මහතාගේ කැණීමේදී අනාවරණය වූ සංස්කෘතික අවධි තුන හා මේ සමඟ ඒ ස්ථානයේ සංස්කෘතික අවධීන් හතරක් මතු වී ඇත. මෙය අභයගිරි විහාරයෙන් ප්‍රධාන දාන ශාලාවෙන් හමුවූ ප්‍රධාන සංස්කෘතික අවධි ගණනට සමාන වේ. බෝධිය වටා බුදුපිළිම මෙන්ම ශිලාමය ආසනයක්ද පැරැණි කාලයේ වූ බව මේඝවර්ර්ණීාභය රජතුමා මහා විහාරය ශ්‍රී මහා බෝධියේ තුන් පැත්තක බුදු පිළිම තබවා දකුණු පැත්තේ ශිලාමය ආසනයක් තැබූ බව සඳහන් කිරීමෙන් පෙනේ. අභයගිරි විහාරයේ ඉපැරැණි බෝධිඝරය සුප්‍රසිද්ධ සමාධි පිළිමය පිහිටි ස්ථානයේ තිබෙන්නට ඇතැයි ඇතැමුන් අදහස් කරතත් එක් අතකින් හමුවී ඇති සංස්කෘතික අවධීන් හා පුරාවස්තු අනුව ආසනඝර ස්ථානය ඊට වඩා පැරැණි බව පෙනේ. අනෙක් අතින් ස්තූපයේ එක් පැත්තක ආරාමික ගොඩනැඟිලි සියල්ල වූ බව පවසන පාහියන් හිමියන්ගේ විස්තරයේ පිළිම ගෙය, බෝගෙය ආදී සියල්ල එකිනෙකට ආසන්නයේ පිහිටි බව ද කියැවේ. අභයගිරියේ විශේෂ වූ ඉපැරැණි ආරාමික ගොඩනැඟිලි වන දානශාලාව පොහොයගෙය (රත්නප්‍රාසාදය) ආදී වූ මන්දිරයන් ද උක්ත ආසනඝරය (බෝධිඝරය) පිහිටි ප්‍රදේශයේම පිහිටා තිබීම ද මෙහිදී විශේෂ කොට සැලකිය යුතුය.