Naifmvlog

Naifm vlog Gossip and News

දූවිලිත් එකතු කරගෙන කානු අස්සේ

“මෙහෙමයි ඔය මිනිස්සු උදේට තමයි අල්ල ගන්න පුළුවන්. උඩහා පල්ලිය ළඟ තමයි ඉන්නේ. රාත්‍රියට තමයි කුණු කානුවලට බැහැල රත්රන් මිශ්‍ර වුණු පස් ගන්නේ. ඒ ගේන පස්වලින් තමයි රත්රන් පෙරලා ගන්නේ.” කුණු කානුවල සහ මන්දිර ඉදිරිපිට දූවිලි එකතු කරල රත්රන් හොයන මිනිස්සු කොහේද ඉන්නේ අහපු පැනයට සෙල්වම් එහෙම කියනවා. අපි වරක් දෙවරක් හෙට්ටිවීදියේ රස්තියාදු වෙලා තමයි “සෙල්වම්” මුණගැහෙන්නේ. ඇඟ පුරා රත්රන් පලඳින මේ සමාජ ක්‍රමය තුළ තමයි මේ කුණු කානු පල්ලෙන් යන රත්රන් කු-ඩු හොයන ජීවිත ඉන්නේ. ප්‍රසිද්ධ වෙළෙඳ නාම හිමි ජුවලර්ස් සාප්පුවල මුදු, මාල, වළලු හදනකොට එහෙ මෙහෙ වන රත්රන් කු-ඩු තමයි මේ හොයන්නේ. මේ හෙට්ටිවීදියේ තියෙන සියලුම රත්රන් බඩු කඩ සියල්ලම එකට එකතු කරන පොදු සාධකය තමයි කුණු කානුව. සියලුම අපද්‍රව්‍ය පද්ධති යාවෙලා තියෙන්නේ. මේ පල්ලිය ළඟින් බැහැල යන කුණු කානු කටට. නමුත් සෙල්වම් ඉස්සරහ පහන් සහ මම ඉන්නවා. මේ කුණු කානු අවුස්සල රත්රන් යොයන ජීවිත සොයා ගැනීමේ මං සලකුණු දැක ගන්න.“අන්නා මොකද මේ කරන්නේ” මම අහනවා. රත්රන් පාට කරනවා. හොඳම රත්රන් නෙවෙයි ඉමිටේෂන් මාල, වළලු තමයි පාට කරන්නේ. මොකද කාලයක් යනකොට දාඩියට සහ දූවිල්ලට ඒ මාල වළලු කළු වෙනවා. එතකොට අප ළඟට අරන් එනවා. අපි පොඩි මුදලක් අයකරල වැඩේ කරනවා. ඔහු වැඩ කරන ගමන් කතා කරනවා.

කොහොම වුණත් මේ අපේ කතානායකයා නොවන බව මං දන්නවා. නමුත් කතාවට අඩුම කු-ඩුම ටික මෙතැනින් අපි හොයා ගන්නවා.ස-යි-නයිට් වතුරට දාලා මාල වළලු පාට කරන්න කලින් හොඳට හෝදල සබන් පෙන වගේ ජාතියකින් හෝදනවා. පහන් අහනවා සබන්ද මේ කියලා. සෙල්වම් නෑ නෑ මේ පෙනෙල ගෙඩි කියනවා. අපි අහනවා වැල් පෙනෙලද කියලා. ඔහු හිනැහෙනවා. කළු මුහුණේ සුදු ඉරක් මතු වෙනවා. වම් පැත්තට අත දාලා පොඩි කවරයකින් ගෙඩි වර්ගයක් පෙන්නනවා. ඒ පෙනෙල බැව් සෙල්වම් අයියා කියනවා. එයත් දවසකට මිලිග්‍රෑම් 500ක රත්රන් කෑල්ලක් මිලදී ගන්නා බවත් ඒ අස්සේ කියනවා. ඒ විද්‍යුත් විච්ඡේදනයට. නමුත් සෙල්වම් අයියා කිව්වේ රත්රන් අලේප කරන්න කියලා. ලෝහාලේපනය කියන්නේ ඔය සිද්ධියට.“නන්රි සෙල්වම් අයියා.” එක පාරටම පහන් කියනවා. මම වේලාව බලනවා. හවස් වෙලා. ඉර බහින්න අපගෙන් අවසර ඉල්ලනවා. අපි අපේ අය හොයාගෙන යනවා. දැන් ඔවුන් ඉන්න තැන වැඩේ වෙන විදිය දන්නවා. ඉතිං අපි හෙට්ටිවීදිය දිගේ පල්ලිය පැත්තට යනවා. හෙට්ටිවීදියේ තියෙන හැම මන්දිරයකින්ම අපි දෙන්නට අනේක වර කතා කරනවා රත්රන් බඩු ගන්න. හරියට පිටකොටුවේ බස් නැවතුම්පොළෙන් “බත් කන්න, තේ බොන්න, පලතුරු ගන්න” කතා කරනව වගේ. සමහර මන්දිර වගේ ජුවලර්ස් ළඟින් යද්දී නවසීලන්තය වගේ සීතලක් එනවා. එහෙම වටපිටාවක දූවිලිත් එකතු කරගෙන කුණු කානු අස්සේ බැහැගෙන රත්රන් කු-ඩු හොයන මිනිස්සු ඉන්නවා.

මම ඒ අතරමැද දෙපස – බලාගෙන යනවා. හරියටම හෙට්ටිවීදියේ කෙළවර තියන පල්ලිය පහුකරනකොට කඩ පිලක දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිදි. අනෙකා ඉඳගෙන බිම බලාගෙන.‘රත්රන් ‘කු-ඩු එකතු කරන කෙනෙක් හොයා ගන්න දඟලනවා. ‘අපි පත්තරේකින්’ පහන් නැවත ඉස්සර වෙනවා. කොළඹ හැසිරිය යුතු විදිය මට වඩා හොඳට ඔහු දන්නවා. මම ඊට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.“දැන් නම් කවුරුත් නැහැ. උදේට තමයි අපි ගරන්නේ. දැන් ගරල විකුණලත් ඉවරයි. අනිත් ඔක්කොම වෙන වැඩවලට ගිහින්. මම හිටියේ අද මට වැඩක් ලැබුණේ නැහැ.” හකු බැහැල ඇස් ඉදිමුණු කෙට්ටු සිරුරක් හිමි “රාජා” මෙහෙම කිව්වා. ටක්කෙටම පහන් කතා කරල තිබ්බේ රත්රන් කු-ඩු හොයන ජීවිතයකට. ඒ දිගේ දැන් ඉදිරියට යා හැකිව තිබූ නිසා ඔහුට කතා කරන්න ඉඩ දෙනවා. “මකට් කාරයා” කියන්නේත් මේ අයටම බව කලින් මුණගැසුණ සෙල්වම් කියල තිබ්බා.“උදේට ගරනවා. දවල් වෙනකොට අපි රත්රන් හොයා ගන්නවා. ඉස්සර නම් අපි කානු ගාණේ ගියේ නැහැ. මේ කඩවලින් අතුගාලා අයින් කරන දූවිලි ගන්නේ. දැන් ඒවා අපට දෙන්නේ නැහැ. එයාල ඒවාවලින් රත්රන් හොයා ගන්නවා. අනික ඒ කඩවල තියෙන දූවිලිවල රත්රන් කු-ඩු ගොඩක් තියෙනවා. නමුත් දැන් එයාලට මඟඇරිලා කානු දිගේ එන රත්රන් කු-ඩු තමයි පහළ ප්‍රධාන කානුවෙන් අපි ගන්නේ. රාජා එහෙම කියාගෙන පාර පනිනවා. කාලයක් තිස්සේ වැසී තිබුණු කඩ පිලක තිබ්බ තාච්චියක් අරගෙන පෙරදා ගෙනත් තියෙන ඉල්ලම් ගොඩක් ඒකට දානවා. රත්නපුරේ මැණික් තියෙන පසට ඉල්ලම් කියනව වගේ “හෙට්ටිවීදියේ” රත්රන් තියෙන පසට ඉල්ලම් පස් කියනවා.

එකම රටේ තැන් දෙකක දෙවිදියකට වෙන දෙයකට එකම නම භාවිත කරනවා. පාර කොනක එතැනම තිබ්බ වතුර වළකට තාච්චිය ඔබලා හාල් ගරනවා වගේ ගරනවා. රත්රන් කු-ඩු වැලිවලට වඩා බරයි ඒ නිසා කිසිම වෙලාවක වතුරේ පාවෙලා බිමට නොයන වග ඇස් ලොකු කරගෙන රත්රන් කු-ඩු වතුරත් එක්ක නැවත ගහගෙන යයිද කියල ප්‍රශ්න කළ අපට රාජා කියනවා.“අපිට මේ තරම් මහන්සි වෙන්න වුණේ රත්රන් සාප්පුවල තියෙන දූවිලි මහා පරිමාණයෙන් අරගෙන යන්න පුරුදු වුණ නිසා.දැන් ඒකත් ජයට කෙරෙනවා. අපි තමයි මේවා පටන් ගත්තේ. නමුත් අද ඒවා වෙනස් විදියට ඒ කඩවල අයම කරනවා.” රාජාගේ වේදනා බරිත හදවත දිගඇරෙනවා. ගම්පොළ ඉඳලා කොළඹ ආපු රාජා අද හෙට්ටිවීදියේ කඩ පිලක රැය ගත කලා. උදේට රත්රන් ගරලා මන්චාඩි ඇටයක් තරම් රත්රන් කෑල්ලක් විකුණලා බඩ පුරව ගන්නවා. හවසට මේ සියලු දුක්ක දෝමනස්ස දුරු වෙන්න පදමට වෙරිවෙලා ඒ මොහොත ගැන හිතනවා. ඒ හිත හිතා ඉන්න අතරතුර මුණගැසුණු මේ රත්රන් ගරල වෙන් කරන හැටි අපිට කියල දෙනවා.අන්තිමටම තාච්චියේ කළුපාට මිනිරන් පසත් සමඟ රත්රන් කු-ඩු දිලිසෙනවා. හෝදලා හෝදලා තමයි එහෙම ඉතුරු කරගන්නේ. පස්සේ ඒ කළු පාට මිනිරන් ටික භාජනයකට දාලා ඇසිඩ් වතුර දානවා. රාජා ඒවාට කියන්නේ ස-යි-නයිට් කියලා. එතැන් සිට තමයි මේ රත්රන් හොයන මෙහෙයුම ඇරඹෙන්නේ. මේ ස-යි-නයිට් දැම්ම ගමන් මේකේ තියෙන සියලු කුණු රොඩු ඊයම් වගේ දේවල් පිච්චෙනවා. රත්රන් විතරක් ඉතුරු වෙනවා. රාජා එහෙම කියනවා. අපි බලාගෙන ඉන්නවා. මල්ලකින් සුදු බෝලයක් අරන් ඒක උඩ අතාරිනවා.

ඒ කියන්නේ අර ස-යි-නට් දාලා තියෙන රත්රන් කු-ඩු තියෙන භාජනයට. “මේ මං දැම්මේ රසදිය බෝලයක්. මේ රසදිය බෝලේ වටේට මේ භාජනයේ තියෙන රත්රන් කු-ඩු ඔක්කොම ඇලෙනවා.” නැවත රාජා කියනවා. ඒ අතර තවත් සගයෙක් එතැනට එනවා.“ආ කුමාර මේ පත්තරෙන්’ මම පොඩ්ඩක් කිව්වා මේ වැඩ වෙන විදිය.” කුමාරට එහෙම කියන රාජා වැඩේ කරගෙන යනවා. අහල පහළ කීප දෙනෙක් එතැනට රොක් වෙනවා. ඒ කාර්වලින් ආපු අය මිසක් රාජල වගේ අය නෙවෙයි. රාජා නැවත ගිනි කබලක් ගන්නවා. “මේ තියෙන්නේ අඟුරු. ගිනි අඟුරු. ඒ උඩින් රසදිය බෝලේ තිබ්බම රත්රන් ටික වෙනම බෝලයක් වගේ හැදෙනවා. ඒ රත්රන් තමයි අපි විකුණන්නේ මන්චාඩි ගාණට. “රාජා එහෙම කියල නැවත සියලුම කළමනා අඩුක් කරනවා.කුණු කානු පල්ලෙන් ගේන පස් නැතිනම් වැලිවලටත් එහෙම මිලක් හදන රාජා ඇතුළු හයක් මේ හෙට්ටිවීදියේ ඉන්නවා කියල රාජා අපිට කියනවා. ඒ වගේම අපි ඉද්දී එතැනට පැමිණි කුමාරත් එකම ගමේ ගම්පොළ වුණාට කොළඹ ඇවිත් මුණගැසුණු බවයි රාජා කියන්නේ. සුන්දර්, නවාස්, ලසාන් හා උකුනා කියන රැකියාවේ සහෝදරයෝ එක තැන වැටිලා නිදා ගන්නවා කියලයි රාජාගේ ගමේ කුමාර කිව්වේ. ජීවිතේ මුණගැසීම් එහෙම සිදු වෙනවා. අවුරුදු ගණනාවක් එකටම සිගරැට් කොටය ඇදල හවසට මී විතක් තොල ගාලා ජීවිතේ ගෙවන මේ මිනිස්නුට අර අහස උසට තිබ්බ මන්දිරවල සේවය කළ මිනිස්සුන්ට වගේ ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් තමන් ඉගෙනගෙන තිබ්බ අමුතු විද්‍යාවත් භාවිත කරල රත්රන් හෙව්වා. ඒක වෙනම දැනුමක්. වෙනම විශේෂඥ දැනුමක්. අපි ඊට ගරු කළා.“ඔවුන් මේක ඉගෙන ගන්නේ නැතිව කරන්න බැහැ කියලා රාජාම කිව්වා.” ඒ එක්කම රාජාගේ හිතට ආඩම්බරයක් ආවා. මටත් සියුම් ආඩම්බරකමක් ආවා. කරන රැකියාව පිළිබඳ සතුටක් රාජාට තිබ්බ එක ගැන.