Naifmvlog

Naifm vlog Gossip and News

ඇලී මහත්තයා ලංකාව දාලා ගියේ නෑ

පිලගොඩ සුද්දා උස මහත රැවුල කරකවන ලද තේජවන්ත හාදයෙකි. ඔහු වාසය කළ බද්දේගමට නුදුරු පිලගොඩ වත්තේ මන්දිරය සුද්දාගේ ජීවන චරිතය පිළිබඳ කදිම නිදසුනකි. පිලගොඩ සුද්දා එහෙමත් නැත්නම් ඇලී වින්ටර් මෙතරම් ඉක්මනින් සිංහලකරණය වූයේ සුද්දාගේ හදවතද සැබෑ ලෙසින්ම සුදු නිසා යැයි කියැවේ. එංගලන්තයේ සිට මෙරටට ගොඩබට වින්ටර් පෙළපත මතින් වඩාත් සිංහලකරණය වූයේ පිලගොඩ සුද්දා එහෙමත් නැත්නම් ඇලී වින්ටර්ය. ඇලී වින්ටර් පිළිබඳ තාමත් ඇත්තේ ගෞරවය මුසු හැඟීමකි.“පිලගොඩ සුද්දා මිනිසුන්ට ගහන බදුවලට විරුද්ධව ඉංග්‍රීසි ආණ්ඩුව එක්ක සටන් කළා. එයා ප්‍රසිද්ධියේ පිළිගත්තා බදු නිසා අහිංසක මිනිසුන්ට අසාධාරණයක් වෙනවා කියලා. සුද්දා කොච්චර සිංහල මිනිස්සුන්ට ළංවුණාද කියනවා නම් බද්දේගම පැත්තේ ජනවහරටත් සුද්දව එකතු වුණා. ජනශ්‍රැති හැදුණා. සුද්දා එහෙමත් නැත්නම් වින්ටර් මහත්තයා ලංකාවේ රූමත් කාන්තාවන්ට ගොඩක් ආදරය කරපු කෙනෙක්. හැබැයි ඒක රූපය මුල් කරගත් ආදරයක් නෙවේ. ගඟබඩ පත්තුවේ කරුණු කාරණා දන්න පැරැණි අය අදටත් කියන්නේ සුද්දගේ ප්‍රේමය බොහොම සුන්දරයි කියලා. සුද්දාගේ සැබෑ නම ඇල්ෆඩ් විලියම් රෝස්මලී කුක් වින්ටර්. සුද්දා ඉපදිලා තියෙන්නේ 1864 අවුරුද්දේ. කරුණු කාරණා දන්න කියන විදියට සුද්දා ඉපදිලා තියෙන්නේ බද්දේගම නෙවෙයි. එයා ඉපදිලා තියෙන්නේ උනන්විට. හැබැයි මනුස්සයා ජීවත් වෙන්න තෝරාගත්තේ බද්දේගම.

ඇලී වින්ටර් එහෙමත් නැත්නම් පිලගොඩ සුද්දා අන්තිම කාලේ හැඳින්වූයේ ඇලී මහත්තයා කියලා. සුද්දාගේ පෙළපතේ හැටියට සුද්දා ජෝර්ජ් වින්ටර් කියන ලංකාවට මිෂනාරි ආගම අරන් ආපු අය අතරින් ප්‍රධාන කෙනෙක්. එයාගේ මුනුපුරා තමයි පිලගොඩ සුද්දා. ජෝර්ජ් වින්ටර්ට දරුවන් 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතරින් 8 වැනියා ඇල්ෆඩ් ඔක්ටේවියස් වින්ටර් විවාහ වෙලා තියෙන්නේ මාරියා එවුලින් වයිට් එක්ක. ඔය මාරියා ඉපදිලා තියෙන්නේ අරලියගහ මන්දිරයේ. ඒ කාලේ අරලියගහ මන්දිරයේ අයිතිය තිබිලා තියෙන්නේ ජෝන් වෝල් බොක් කියන ඉංග්‍රීසි ජාතිකයාට. ඇල්ෆඩ් වින්ටර්ටයි මාරියා එවුලින්ටයි දරුවෝ 7ක් ඉඳලා තියෙනවා. ඇලී මහත්තයා පිලගොඩ සුද්දා කියන්නේ ඒ දරුවෝ 7 දෙනා අතරින් වැඩිමල් කෙනාට. වින්ටර්ලා අතරින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණේ පිලගොඩ වතු බංගලාවේ හිටිය ඇලී වින්ටර්. ඔය වින්ටර්ලාගේ පරම්පරාවේ අය ලංකාවේ පත්තර ගහලා තියෙනවා. වාණිජ මට්ටමෙන් සීනි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒත් ඒ හැමෝටම වඩා පිලගොඩ සුද්දා එහෙමත් නැත්නම් ඇලී වින්ටර් තමයි ලංකාවේ ජනප්‍රිය වුණේ. බද්දේගම ඇලී මහත්තයා කියපන් මට. එහෙම තමයි සුද්දා අන්තිම කාලේ එයා යටතේ සේවය කරපු හැමෝටම කියලා තියෙන්නේ. වින්ටර්ලාගේ පෙළපත් නාමය ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙන එකක්.

පෙළක් වින්ටර්ලා ලංකාව ඇතුළේ පදිංචි වෙලා අවසන් කාලේ ලංකාව දාලා ගිහින් තියෙනවා. හැබැයි ඇලී මහත්තයා ලංකාව දාලා ගියේ නෑ. ඇලී මහත්තයාගේ පෙළපත හොඳ ඉංග්‍රීසි වංශකාර පෙළපතක්. මේගොල්ලන්ගේ නෑයෝ ඔක්කොම ඉඳලා තියෙන්නේ බද්දේගම, ගාල්ල එහෙම නැත්නම් මහනුවර. වින්ටර්ලාගේ පෙළපතේ සාරා කේ්‍රසි වින්ටර්ගේ සොහොන අදටත් බද්දේගම තියෙනවා. පෙළක් අය කියනවා වින්ටර්ලාගේ පෙළපත විනාශ වෙන්න ගත්තේ බෝමන්වරුගේ කුලවද්දාගැනීමෙන් කියලා. හැබැයි ඒ පිළිබඳ හරිහමන් සාක්ෂි නෑ. ජෝජ් වින්ටර් තමයි පිලගොඩ බංගලාව ඉදිකළේ. ඒක හරියට එංගලන්තයේ බකිංහැම් මාලිගාවේ අනුරුවක් වගේ. පිලගොඩ වත්ත වටේ ඒ කාලේ පැපොල්, ගම්මිරිස්, උක්, රබර් හා තේ වගේ දේවල් වවලා තියෙනවා. ඒ වවලා තියෙන්නේ එංගලන්තේ හැඩේ ගන්න ඕන හින්දලු. ගඟබොඩපත්තුවේ ජන කවියක් තියෙනවා “ගිං තොට නැන්දාගේ දූවරු හින්දයි – ගඟ බඩ පත්තුව වැනසෙන්නේ” කියලා ඒ කවිය එහෙමපිටින්ම පිලගොඩ සුද්දා එහෙමත් නැත්නම් ඇලී වින්ටර් වෙනුවෙන් හැදිච්ච එකක්. මොකද පිලගොඩ සුද්දා කලින් කිව්වා වගේ හොඳ ප්‍රේමවන්තයා. සුද්දා මුලින්ම යාළුවෙලා තියෙන්නේ වක්වැල්ල ගමේ ගෑනු කෙනෙක් එක්ක. වින්ටර්ලාටම අයිති ලී මෝලක තමයි ඒ ගෑනු කෙනා වැඩකරලා තියෙන්නේ. දාරක විතානගේ ජොහානා අල්ලියස් හින්නිහාමි. ඒ තමයි ඒ ගෑනු කෙනාගේ නම. ඒ කාලේ පිලගොඩ වත්තම බලාකියාගෙන තියෙන්නේ ඇලී වින්ටර්.

එහෙමත් නැත්නම් පිලගොඩ සුද්දා. සුද්දා ඔය කාලේ එක දිගට පිලගොඩ වත්තේ ඉඳලා නෑ. වින්ටර්ලාට අයිති සන්සයිට් කියලා බංගලාවක තමයි සුද්දා වැඩිපුර ඉඳලා තියෙන්නේ. ඔය හින්නිහාමි බොහොම රූමත් කාන්තාවක්ලු. ඒ හින්දා ගමේ ගොඩේ මිනිස්සු එයාට කියලා තියෙන්නේ ගිරවි කියලා. පිලගොඩ සුද්දා හින්නිහාමිට එයාගේ පණටත් වැඩිය ආදරේ කළාලු. 1904 අවුරුද්දේදී ඇලී වින්ටර් හින්නි හාමි එක්ක ඇවිත් පිලගොඩ වත්තේ බකිංහැම් මාලිගාවට සමාන මන්දිරයේ පදිංචි වෙලා තියෙනවා. ඔය මන්දිරය හරි අමුතු එකක්. උඩුමහලේ ජනෙල් පේළි 18ම ඇරියම මුළු වත්තම පේන විදියට තමයි බංගලාව හදලා තියෙන්නේ. මේ වෙද්දී බංගලාව ආණ්ඩුවට පවරාගෙන ආණ්ඩුව මැදිහත් වෙලා පෞද්ගලික අංශයේ වැවිලි සමාගමකට බදු දීලා. ඒ හින්දා මන්දිරයේ පැරැණි බව පිළිබඳ සාක්ෂි ගොඩක් මැකිලා ගිහිල්ලා. හැබැයි ඔය මන්දිරය තමයි ඇලී වින්ටර්ගේ ප්‍රේමයට තියෙන හොඳම සාක්ෂිය. ඇලී වින්ටර් හින්නිහාමිට කොයිතරම් ආදරය කළත් ඒගොල්ලෝ කසාද බැඳලා අවුරුදු 18ක් යන්න කලින් හින්නි හාමි ගාල්ලේ මහමෝදර රෝහලේදී අකාලේ මිය යනවා. එතකොට හින්නිහාමිට වයස අවුරුදු 40ක් කියලයි කියන්නේ. හින්නිහාමිගේ ම-ර-ණයත් එක්කයි පිලගොඩ සුද්දා හින්නිහාමිට කොච්චර දුරට ආදරය කළාද කියලා මිනිස්සු දැනගන්නේ. ගාල්ලේදී මැ-රි-ච්ච හින්නිහාමිගේ මිනිය සුද්දා පිලගොඩ මන්දිරයට ගේනවා. ඒ ගේන්නේ පෙරහරකින්.

එදා තමයි බද්දේගම මිනිස්සු දැනගන්නේ මේ සුද්දා සෙල්ලක්කාරයෙක් නෙවෙයි කියලා. එහෙම ගෙනැල්ලා සුද්දා කියනවා මුළු බද්දේගම මිනිස්සුන්ටම හින්නිහාමිට අවසන් ගෞරව දක්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි වින්ටර් පවුලේ සොහොන් භූමියේ බොහොම ලස්සන සොහොන් ගැබක් හදලා හින්නිහාමිගේ සිරුර එහි තැන්පත් කළා කියලත් මිනිස්සු කියනවා. ඔය හින්නිහාමි කියන්නේ රන් පවුම්වලට ගොඩක් ආස කළ කෙනෙක්ලු. හින්නිහාමි ජීවත් වෙලා ඉන්නකන් පිලගොඩ සුද්දාගෙන් සල්ලි අරන් කරලා තියෙන්නේ රත්රන් පවුම් එකතු කරපු එක. හින්නි හාමි මැරෙද්දි ලොකු රත්රන් පවුම් දාපු බෝතල් 3ක් තිබිලා තියෙනවා. හින්නිහාමි වළදාද්දි පිලගොඩ සුද්දා ඒ රන් පවුම් දාපු බෝතල් සොහොන් ගැබේ තැන්පත් කළා කියලයි කියන්නේ. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද සුද්දාගේ කාලේ ඉඳලා ඔය සොහොන මුර කරන්න මුරකාරයෙක් ඉඳලා තියෙනවා. වත්ත ආණ්ඩුවට ගත්තට පස්සේ ආණ්ඩුව මැදිහත් වෙලා සොහොන මුරකරන්න වෙනම මුරකාරයෙක් දැම්මා. ඊට පස්සේ ජේ.වී.පී. කැරැල්ල කාලේ ඒ කියන්නේ 1971 හින්නි හාමිගේ සොහෙන හාරලා මිනිස්සු රන් පවුම් හොයන්න ගත්තා. සොහොනට හානි වෙලා නෑ. ඒ සොහොන තමත් ඒ විදිහටම තියෙනවා. කොහොම වුණත් පිලගොඩ සුද්දා එහෙමත් නැත්නම් ඇලී වින්ටර් තවත් විවාහයක් කරගත්තා කියලා කියනවා. හැබැයි ඒවා ප්‍රසිද්ධ නෑ. ඒ හැම ගැහැනු කෙනෙක් ඇතුළෙම පිලගොඩ සුද්දා හොයලා තියෙන්නේ හින්නිහාමිව.

මේ පැතිවල මිනිස්සු කියන විදියට හින්නිහාමි කියන නම තියෙන අයව සුද්දා වැඩිපුර ගෙව්වලු. ඒ කියන්නේ සුද්දාගේ වත්තෙ හරි සීනි මෝලේ වැඩකරපු ගෑනු කෙනකුට හින්නිහාමි කියලා නමක් තිබුණොත් ඒ නමට සුද්දා වැඩිපුර රුපියල් 2ක් විතර ගෙවලා තියෙනවා. හින්නිහාමිට කොච්චර ආදරය කළත් පිලගොඩ සුද්දා කවම කවදාවත් හින්නිහාමිව විවාහ කරගෙන නෑ. ඒ හින්දා සුද්දට දරුවෝ හත් අට දෙනෙක් හිටියා කියලත් මිනිස්සු කියනවා. කොහොම හරි හින්නිහාමිගෙන් පසු ඇසිලින් කියන සිංහල කාන්තාව පිලගොඩ වත්තට ගෙන්නගෙන තියෙනවා. ඇසිලින්ට දරුවෝ 7ක් හිටියා කියලයි කියන්නේ. ඇසිලිනුත් අකාලයේ මැ-රි-ලා තියෙනවා. එතකොටත් සුද්දා කරලා තියෙන්නේ හින්නිහාමිගේ අවසන් කටයුතු කරපු විදියටම ඇසිලින්ගෙ අවසන් කටයුතුත් කරපු එක. හින්නිහාමිගේ සොහොන ළඟින්ම තවත් අලංකාර සොහොනක් හදලා ඇසිලින්ව එහි මිහිදන් කරලා. ඇසිලින්ගේ ම-ර-ණින් පස්සේ පිලගොඩ සුද්දට ලංකාව එපා වුණාලු. ඊට පස්සේ සුද්දා එංගලන්තයට ගිහින් තියෙනවා. එංගලන්තයට ගිහිල්ලා අවුරුදු ගාණක් එංගලන්තයේ පදිංචි වෙලා ඉඳලා තියෙනවා. එංගලන්තෙදි මුණගැහුණු ශීලා බැසිල් හෝනා කියන කාන්තාව සුද්දා නීත්‍යනුකූල විදියට විවාහ කරගෙන ලංකාවට ඇවිත් පිලගොඩ වත්තේ මන්දිරයේ පදිංචි වුණාලු.

එහෙම තමයි 1931 අවුරුද්දේ සුද්දා මැ-රි-ලා යනකන්ම සුද්දාගේ ජීවිතය ගතවෙලා තියෙන්නේ. ඔය කාලය අතරතුර ලංකාව ඇතුළේ රම් නිෂ්පාදනය කරන්නත් සුද්දා වැඩපිළිවෙළක් හදලා තියෙනවා. හැබැයි ඒ වැඩකටයුතු අතරමඟ ඇනහිටලා.වින්ටර් පවුලේ එඩ්මන් වින්ටර් වතු වගාවට අත ගහපු කෙනෙක්. එයා පිලගොඩ සුද්දාගේ බාල මල්ලී. එඩ්මන් වින්ටර් විවාහ වෙලා තියෙන්නේ මහනුවර පදිංචිකාරියක් වෙච්ච දිසානායක මුදියන්සේලාගේ පහළ ගෙදර කිරිමැණිකා කියලා කාන්තාවක් එක්ක. ඒ දෙන්නාගේ පුතෙක් වෙච්ච ජෝර්ජ් වින්ටර් විවාහ වෙලා තියෙන්නෙත් දිසානායක මුදියන්සේලාගේ බන්දු මැණිකෙ කියලා සිංහල කාන්තාවක් එක්ක. ඒ විවාහයෙන් ඒ අයට දරුවන් 6ක් ඉඳලා තියෙනවා. ඒ අය අතරින් බොලසම් වින්ටර් කියන්නේ වෘත්තියෙන් හෙදියක්. බොලසම් වින්ටර් තමයි ලංකාවේ ජනප්‍රිය ගායකයකුගේ මුල් විවාහයේ බිරිය. ඒ කියන්නේ මේ වින්ටර්ලා කොච්චර සිංහලකරණය වුණාද කියන එකට හොඳම උදාහරණය තමයි මේ බොලසම් වින්ටර්.