Naifmvlog

Naifm vlog Gossip and News

හුනුගල් නිධිවල කුහර ඇති වීම

මධ්‍ය කඳුකරයේ සිට වෙරළ දෙසට භූ පැළුම් දහදාහක් පමණ විහිදී යයි. ඒවා දිගු කාලයක් තිස්සේ ඇති වන භූ විද්‍යාත්මක සංසිද්ධිවල ප්‍රතිඵලයකි. මෙවැනි සමහර භූ පැළුම් පොළොව මතුපිටින් අඩි තුන හතර පලළට අඩි සිය ගණනක් ගැඹුරට පොළොව යටට විහිදී යයි. වර්ෂාවේදී එකතු වන වැහි දිය මේ භූ පැළුම් ඔස්සේ පෘථිවිය අභ්‍යන්තරයට කි¼දා බසියි. සමහර භූ පැළුම් ගංගා ඔයවල් හරහා විහිදෙයි. එවිට ඒ ගංගා ඔයවල්වල ගලා එන දිය ඒ භූ පැළුම් ඔස්සේ පොළොව තුළට කිදා බසියි. කොත්මලා ඔයේ ඉහළින් ගලා එන දිය වටද්දර තිස්පනේ ප්‍රදේශ හරහා ගලන විට අඩුවක් දැකිය හැකිය. හේතුව භූ පැ-ළුම් ඔස්සේ ඔයේ ජලය පෘථිවි අභ්‍යන්තරයට ගලා යෑමයි.භූ පැළුම්වලට අමතරව පෘථිවි අභ්‍යන්තරයේ ඇති හුනුගල් කල් ගත වන විට ජීර්ණ වී දුර්වල වී කුහර හැදෙයි. රට මැද කඳුකරයේ මෙවැනි දිරා ගිය හුනුගල් නිධිවල කුහර ඇති වීම සුලබ සිද්ධියකි. ඒ දිරාගිය හුනුගල් කුහර උමං කුහර හෝ භූ පැළුම් සමඟ එකට මිශ්‍ර විය හැකිය.

කොත්මලේ ජලාශය සඳහා බිම, යන්ත්‍ර මඟින් සකස් කිරීමේදී මෙවැනි දිරා ගිය හුනුගල් කුහර කීපයක්ම මතු විය. කොත්මලේ ජලාශ බැම්ම බැඳ ඇති ස්ථානය ආශ්‍රිතව මීටර් දහතුනක පමණ එවැනි හිස් කුහරයක් ඇති බව එහි බිම යන්ත්‍ර මඟින් කැණ ඉවත් කොට පස් තට්ටු ගැඹුර අනුව ලකුණු කර සුරක්ෂිතව තබා තිබෙන විට එය පරීක්ෂා කළ මට දැනගත හැකි විය. දිරා ගිය හුනුගල් කුහර හෝ ස්වාභාවික භූ පැළුම් ඔස්සේ පොළොවට ගලා බසින වර්ෂා ජලය උමං ගංගා ලෙස පෘථිවි අභ්‍යන්තරයේ පවතියි. දිරා ගිය හුනුගල් කුහර තුළ, එකතු වූ වර්ෂා ජල පද්ධති තැනින් තැන ඇති වී ඉන් පසු ක්‍රමයෙන් සෙමෙන් තල්ලු වීම, ගිලා බැසීම සිදුවෙයි. රට මැද කඳුකරයේ ඇති මාතලේ උමං ගඟ මීට කදිම නිදර්ශනයකි. වික්ටෝරියා ජලාශය දෙස සිට භූ පැළුමක් ඔස්සේ වත්තේගම – යටවර – උකුවෙල ඔස්සේ මාතලේ දෙසට මෙය විහිදී යයි. මේ භූ පැල්මට මේ ප්‍රදේශවල දී දිරා ගිය හුනුගල් කුහර තුළ එකතු වී ඇති ජල කඩිති එකතු වෙයි. සෙමෙන් තල්ලු වී ගොස් උමං ගංගා ලෙස උමං ජල බුබුළු ලෙස ඒවා මතු වෙයි.

උකුවෙල මහවැලි උමඟ කපද්දී මාතලේ උමං ගඟ හමු වී මාස ගණනක් එහි දිය කඳ ගලා ගියේය. මාතලේ මඩවල උල්පතදී උමං ගඟේ නොසිඳෙන විශාල ජල බුබුළු කීපයක් හමුවෙයි. පැහැදිලිවම හුනුගල්වලින් මේ ජල බුබුළු මතු වන බව පෙනී යයි.මඩවල උල්පතට පසු නාලන්ද නාවුල හරහා මේ උමං ගඟ අෑතට විහිද යයි. පල්ලේපොළදී උමං ගඟේ ජල බුබුළු දෙකක් මතු වෙයි. ඇහැලේපොළ ගමට යන පාලම අසල එක් බුබුළකි. පල්ලේපොළ මහා විද්‍යාලය අසල ඉවුරේ තවත් බුබුළකි. මේ බුබුළු දෙක අතර පරතරය අඩි දාහක් පමණ ඇත.කිරලැස්ස උල්පත හමුවන්නේ ඉන් පසුවයි. මාතලේ සිට දඹුල්ලට විහිදෙන පාරේ ලෙන‍ෙදාර පන්නම්පිටිය පසු කර ඉදිරියට ගමන් කළ යුතුය. පන්නම්පිටිය විදුහල පසුකර තවත් සැතපුම් දෙකක් පමණ ඉදිරියට යන විට කිරලැස්ස පැරැණි ගම හමුවෙයි. කලකට පෙර ගම වටා වනරොදක් විය.

අද වනරොද දක්නට නැත. ගස්වැල් අතරින් උමං ගඟේ යෝධ ජල බුබුළක් මතුවෙයි. පොළොව ඇතුළ සිට නිතර උඩට මතු වන ජල බුබුළෙන් එකතු වන ජලය අක්කරයක් පුරා පමණ පැතිර ඇත.බුබුළ සහිත ජලාශය ගැඹුර නැත. මැදට යන විට මඩ සහිත බැවින් එරෙනසුලුය. රොන් මඩ එකතු වී එරෙන ගතිය නිසා කිසිවකු බුබුළු අසලට යන්නේ නැත. උල්පතේ ජලය මතුවීමෙන් අක්කරයක් පමණ පොකුණක් වැනි ස්වාභාවික ජලාශය සෑදී ඇත. එහි වැඩි ජලය ගලා ගෙන ගොස් කුඩා ඔයකට වැටී ඒ ඔය දඹුලු ඔයට එකතු වෙයි. මෙම කිරලැස්ස උල්පතේ ජලයෙන් ගමේ කුඹුරුයාය වැඩ කෙරෙයි. කිරලැස්ස සිට නැවතී කෙළින් අෑත බැලූ විට හිඟුරක්ගොඩ දිශාව පෙනෙයි. හිඟුරක්ගොඩ ඇති ප්‍රකට බුබුළු මේ අනුව පොළොව යටින් ගලා ගෙන යන මාතලේ උමං ගඟෙන් අෑතින් මතුවන තවත් දියබුබුළක් ලෙස හැඳින්වීම වරදක් නැත. මේ තොරතුරු ලබා ගැනීමේදී ගලේවෙල කුඩාවැව සිල්වත්ගම ඩබ්ලිව්. එම්. පුංචිරාල මහතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.