Naifmvlog

Naifm vlog Gossip and News

මුරුංගා අත්තේ ඉහළට යන්න මිනිස්සුන්ට

මිනිස්සු කියන්නේ හැමදාම එකම මට්ටමේ ජීවත් වෙන කොටසකට නෙමෙයි. අපි හැමදාම අඩියෙන් අඩිය ඉස්සරහට ගමන් කරනවා. එහෙමත් නැත්නං අඩි දෙකෙන් දෙකට පිටිපස්සට හරි ඇදන් වැටෙනවා. මූලිකම දේ වෙන්නේ අපි බලාගත්ත අත බලාගෙන එකම තැන පල් වෙවී නොසිටීම. එකම තැන මුල් ඇදපු විදිහට ජීවත් වෙන ප්‍රාණ හරි නීරසයි. ඒ නිසා අඩියක් ඉස්සරහට හෝ පිටිපස්සට යන ජීවිතවල අමුතු රස එකතුවක් තියෙනවා. ඒ රස එකතුවට මිනිස් භාෂාවෙන් අත්දැකීම් කියන නාමය එකතු කරනවා. රස හෝ නීරස අත්දැකීම් ආයෙමත් අවශ්‍ය මොහොතක හරිම ඉත්තා ළඟදී පාවිච්චි කරන්න මඟ පෙන්වනවා.මිනිස්සු ආසයි ඉහළම තැනක වැඩ පෙන්නන්න. හරියටම කිව්වොත් මුරුංගා අත්තේ කෙළවරම ඉන්න. තමන්ගේ හීන වෙන කෙනකුට නොකියන තාක් මුරුංගා අත්තේ ඉහළට යන්න මිනිස්සුන්ට හරි ලේසියි. කවදම හරි කොතැනම හරි තැනක ඒ බලාපොරොත්තු කටින් එළියට පැන්නොත් අර මුරුංගා අත්තේ නැඟීමේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා.

අපි ඉහළට නඟින්න ආසයි වගේම මිනිස්සු හරි දක්ෂයි නඟින්නත් කලින් මුරුංගා අත්තේ තියන්න. ඒ තමන්ගේ තියෙන කුහ-කක-මට. මිනිස්සු දන්නවා දෙයක් වෙන්න කලින් මිනිහෙක්ව උලුප්පලා තිබ්බම මහන්තත්වේ ඔළුවට ගහලා තමන් විසින්ම තමන්ගේ වළ කපාගන්න උත්සාහ කරගනු ලබනවා කියලා. ඉතින් හීන එළි වෙන්නත් කලින් මුරුංගා අත්තේ මුදුනෙම රජ කරවලා රැයවල් දෙකකින් ආයෙම බස්සනවා.එහෙම නොබැස්සුණු මිනිස්සු හරි විරලයි. ඒත් කොහොමින් කොහොම හරි යම් දෙයක් ගොඩනඟා ගත්තම ආයෙමත් වරද්ද ගන්න සියුම් පොටවල් පෑදෙනවා. එහෙම පොටකට පාදක වෙන්නේ මිනිස්සු නම් නෙමෙයි. තමන්ගේම අතීතය. මිනිස්සු ලොකුවට වරද්දගන්නවා කියන්නේ අතීතය දිහා බලාගෙන හූල්ලන එකට තමයි. ඒත් ඇත්තටම මිනිස්සු වරද්දගන්නේ අතීතය දිහා බැලූ පමණට වඩා අවශ්‍ය මොහොතේදී අතීතය දිහා නොබලා හිඳීමෙන්. හූල්ලනවට වඩා දේවල් අතීතයෙන් ගොඩනඟාගන්න පුළුවන්.ඕනෑම දේක හොඳම තියරිය තියෙන්නේ පොත්වලට වඩා තමන්ගේ අතීත කතාවේ. ඒක අමතක කරලා දාලා පොත් පෙරළන් දඟලන්න එපා.

පොතකින් දේවල් ගන්න පුළුවන් තමයි. ඒ වුණාට තමන්ගේ අතීතෙන් ගන්න පුළුවන් අත්දැකීම් ගොඩ කවදාවත් කිසිම තැනකින් ගන්න බෑ. මොකද අතීතය කියන්නේ තමන්ටම වුණු දේවල් මිසක් තව කෙනකුට වෙච්ච දේවල් නොවන නිසා. ඉතින් අතීතයට හැරෙන එක වැරැද්දක් නෙමෙයි. අතීතය අමතක කරලා උද්දච්ච වෙන එකයි ලොකුම වැරැද්ද.මනුස්සයෙක් නිකම්ම හුළඟින් යම් කිසි තැනකට ආවයි කියනවා නම් ඒක විශ්වාස කරන්න අපහසු කාරණාවක්. හැම මනුස්සයකුටම මුලක් තියෙනවා. මුදුන් මුලක් හැමවෙලාවෙම ගහක් රඳවන්න ඉන්නවා. මිනිස්සු ගස් නොවුණට කාලයක් තිස්සේ තමන්ව රඳවන් හිටපු එහෙම නැත්තං තවමත් රඳවන් ඉන්න හයිය මුදුන් මුලක් හැමෝටම තියෙනවා. එහෙමත් නැත්තං පස එක්ක එකට එකතු කරන්න මුල් ගොඩක දායකත්වය වගේ මුල් ගොඩක එකතුවක් ඇති. තනි තනිව හරි පුංචිම හරි කාර්යයක් ඉටු කරපු පුංචි මිනිස්සු කොටසක් සීරුවෙන් මතක් කළොත් මතකයට ගලාගෙන එයි. එහෙම මිනිස්සුන්ව ටික කාලයකදී අපි ජීවිතයෙන් අෑත් කරනවා.

කාර්යබහුල වීම කියන සාධාරණීකරණය කරගන්න යොදාගන්න වචනය ඉස්සරහට පන්නලා ඒ මිනිස්සුන්ව අමතක කරවනවා.මිනිස්සුන්ට වරදිනවා. ආයේ ආයෙමත් වරදිනවා. මුල අමතක වෙනවා. නිකමටවත් හැරිලා බලන්නේ නැතුව ඉන්නවා. මේ මිනිස්සු නන්නත්තාර වෙන්න තියෙන ලොකුම සාධකය තමන්ගේ ජීවිත කතාවේ “එදා මං හිටියේ මෙතැන අද ඉන්නේ මෙතැන” කියන ආඩම්බරකාර කතාව ඇතුළේ මුල මතකයි කියන මිනිහෙක් ඉන්නවයි කියන්න බෑ. මුල මතක් කිරීමයි හිටපු තත්ත්වය මතක් කිරීමයි කියන්නේ දෙකක්. හිටපු තත්ත්වය හිතට අරන් ඒ අනුව වැඩ කරන එක ඒ දෙකටම වඩා වෙනස් දෙයක්. තමන්ව ගොඩනඟපු මිනිස්සුන්ට දෙයක් කිරීම තමන්ගේ යුතුකම. ඒ යුතුකම් ඉෂ්ට කරපං කියලා හිත අස්සට බල කරන්න මේ ලෝකේ කිසිම ජගතකුට බැහැ. මොකෙක් හරි බල කරන්න උත්සාහ කළත් මතක තියාගන්න හදවත්වලට යුතුකමේ හැඟීම් පොවන්න බෑ.සමහර විට මුල්ම අඩිය තියන්න මඟ පෙන්වපු කෙනාට ඔයාගෙන් කිසිම දෙයක් අවශ්‍ය නැතුව ඇති. තවදුරටත් ඉහළට යනවා බලන්න ආසාවකුත් ඇති. ඒත් මතක තියාගන්න, තමන් ආපු අඩි පාර දිහා නොබැලුවොත් ගමන සාර්ථක නොවේවි. බොහෝවිට ආදායම් අතින් සුන්දර වුණත් මානුෂීය අතින් බින්දුවට වැටේවි.