Naifmvlog

Naifm vlog Gossip and News

මෙම සිදුවීම මුලින්ම දැක ඇත්තේ ඇළ මාර්ගයට

වියලුව ආසනය තුළ පිහිටි ප්‍රධානතම ගොවි ජනපද තුනෙන් එකක් වන්නේ කෝමාරීක ගොවි ජනපදයයි.ලොග්ගල්ලා ඔය හරස්කර තැනූ අමුණක් මගින් එක්කාසු කරගන්නා ජලය තත්පරයට ඝන අඩි 50-55 ක ධාරිතාවයකින් ඇළ මාර්ගයක් ඔස්සේ ගොවිබිම් කරා රැගෙන එනු ලබන අතර ඒ යටතේ වගා කෙරෙන ඉඩම් ප්‍රමාණය අක්කර 2500කට ආසන්නය. එමගින් ජලය සැපයෙන කුඩා වැව් දෙකකි. මීට අමතරව මේ යටතේ තවත් ඉඩම් අක්කර 5000ක් පමණ ගොඩ ඉඩම් ප්‍රමාණයකට ද ජලය සැපයෙන්නේ මෙම ඇළ මාර්ගයෙනි.කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන කෝමාරීක ප්‍රධාන ඇළ මාර්ගය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් අතර මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් හයකට අයත් පවුල් 3500ක් පමණ මෙම ඇළ මාර්ගය දෙපස ජීවත්වෙති.කෝමාරීක ප්‍රධාන ඇළ මාර්ගය හැරුණු විට එම ඇළ මාර්ගයේ සිට කෙත් බිම් කරා ජලය රැගෙන යාම සඳහා ඉදිකර ඇති ප්‍රධාන හා අතුරු ඇළ මාර්ග රැසක් ද වෙයි.කෝමාරීක ප්‍රධාන ඇළ මාර්ගයේ අමුණේ සිට කිලෝමීටර් 5.255ක් පහළින් ආරම්භ වන ඩී-02 වැල්ලේවෙල ප්‍රධාන අතුරු ඇළ මාර්ගය ද මෙම ගොවි ජනපදය තුළ පිහිටි සැලකිය යුතු ජල ප්‍රමාණයක් ගොවි බිම් කරා රැගෙන යන ඇළ මාර්ගයකි.ඇළ ඉදිකිරීමෙන් පසුව ගතවූ දශක පහකට ආසන්න කාලයක් තිස්සේ වැල්ලේවෙල, කිවුල හා ඒ අවට පිහිටි ගොවිබිම් සශ්‍රීක කරන්නට දියවර සැපයූ මෙම ඇළ මාර්ගය පසුගිය සෙනසුරාද‌ා (14) දහවල් 1.30ට පමණ හිටිහැටියේම ගිලා බැස්මකට ලක්වූවේ ඇළ පතුලේ අඩි 20-25ක ප්‍රමාණයේ විෂ්කම්භයකින් හා අඩි 15-20ක ගැඹුරින් යුත් විශාල ආවාටයක් නිර්මාණය කරමිනි.ප්‍රධාන ඇළ මාර්ගයේ සිට නිකුත් කළ අඟල් 12ක විෂ්කම්භය සහිත විවරයකින් (පයිප්ප බටයකින්) තත්පරයට ඝන අඩි 15-20ක වේගයකින් ඇළ මාර්ගය ඔස්සේ පැමිණි මහා ජල කඳ මෙම විවරයට වැටී අතුරුදන් වන්නට පටන් ගත්තේ ව්‍යාපාරයේ ගොවි ජනතාව පමණක් නොව එහි පාලනය බාර නිලධාරීන් ද අන්ද මන්ද කරමිනි.

මෙම සිදුවීම මුලින්ම දැක ඇත්තේ ඇළ මාර්ගයට සමාන්තරව ඇළේ පැති බැම්ම මතින් දිවෙන මාර්ගය ඔස්සේ ත්‍රීවීල් රථයකින් ගමන් ගත් කාන්තාවකි. එස්.ජේ.එම්. පේමාවතී නම් වූ ඇය එම සිදුවීම මෙලෙස විස්තර කළාය.“මම කිවුලේගෙදර ගිහිල්ල ත්‍රීවීල් එකකින් ගෙදර එන්න ආවා. මම නිකමට වගේ ඇළ දිහා බලාගෙන ආවේ. ඇළ දිගේ අඩි 60-70ක් පහළට එද්දි අපිට මහ සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මම දැක්ක ඇළේ ආව මහා ජල කඳ එක පාරටම මහ හඬක් නංවාගෙන ඒ වළට වැටිල අතුරුදන් වෙනවා. හරියටම කීවොත් ඉරිඟු ඇට ගලවන යන්ත්‍රයක සද්දේ තමා මට ඇහුණේ.”ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ ජලය මෙම විවරයට වැටෙන හඬ ඒ අසල පිහිටි නිවෙස් කීපයකටම ඇසී ඇතත් එම නිවැසියෝ ද එම හඬ පිළිබඳ කිසිදු තැකීමක් කර නැත්තේ මේ දිනවල ප්‍රදේශයේ බොහෝ ස්ථානවල සිදුකෙරෙන බඩඉරිඟු ඇට වෙන් කිරීමේ යන්ත්‍රවලින් පිටවන්නේ ද එවැනිම හඬක් නිසාය.කෙසේ වෙතත් කිසි දිනෙක නොදුටු මෙම සිදුවීමෙන් දැඩි භීතියටත් කලබලයටත් පත් පේමාවතී මහත්මිය සිය ගමන පසෙක තබා එම ස්ථානය අසල පිහිටි නිවෙස්වල පිරිස දැනුම්වත් කර ඇත්තේ එය ඇයගේ වගකීමක් යැයි සිතමිනි.“මේ දවස්වල හැමද‌ාම උමා ඔයේ නාය යන ඒව ගැන කියනවා. ටී.වී.වල පෙන්නනවා. මේකත් ඒ වගේ මහා විනාශයක් ද කියල මට පුදුම බයක් දැනුණා” යැයි ඇය කියා සිටියාය.මොහොතක් ගතවෙද්දී මෙම සිදුවීම පිළිබඳ ආරංචිය මුළු ව්‍යාපාරය පුරා පමණක් නොව අවට ගම්බිම් කරා ද පැතිර යන්නට වූවේය.ගිලා බැසීම සිදුවීම වූ ස්ථානය එකම හිස් ගොඩක් බවට පත්වන්නට ගතවූයේ විනාඩි ගණනාවකි.

සිද්ධියෙන් සුළු වේලාවක් ගතවෙද්දී ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර මාධව ඉන්දික රත්නායක මහතා ද එම ස්ථානය වෙත පැමිණියේ ගොවි පිරිසක් කළ දැනුම්දීමක් නිසාය.මහ කන්නය ආසන්නව තිබියදී තම ව්‍යාපාරයේ ප්‍රධාන අතුරු ඇළකට අත්වී ඇති ඉරණම පිළිබඳ දැඩි සේ කම්පාවට පත් හෙතෙම වහ වහා කන්දකැටිය වාරිමාර්ග ඉංජිනේරු එස්.ඩී. මොලගොඩ මහතා ද මීගහකිවුල සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ඩී.ඒ. චාමර මහතා ද දැනුම්වත් කිරීමට පියවර ගත්තේ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ඔවුන්ගේ උපදෙස් බලාපොරොත්තු වෙමිනි.“ඩී දෙක අතුරු ඇළේ නාය යාමක් තියෙන බවට මට පිරිසක් දැනුම් දුන්නා. මම වහාම එම ස්ථානයට ආවා. ඒ වනවිටත් ප්‍රධාන ඇළ මාර්ගයේ සිට මීටර් 50ක් පමණ පහළට වෙන්නට ඩී දෙක අතුරු ඇළ මාර්ගයේ පතුලේ විශාල වළක් හෑරී ජලය ඒ තුළට ගලාගෙන යන්න පටන්ගෙන තිබුණා. එම ස්ථානයෙන් විශාල සද්දයක් පිටවුණා. ගොවි පිරිසත් එක්ක මේ ජලය පිටවන්නේ කොහෙන් ද කියා සොයා බැලුවත් අපට සොයා ගන්න බැරි වුණා. කොහොම වුණත් ඇළේ ආරක්ෂාවටත් ජලය අපතේ යාම වැළැක්වීමටත් මම ඇළේ වතුර අත්හිටුවීමට පියර ගත්තා” යැයි ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර මාධව ඉන්දික රත්නායක මහතා කියා සිටියේය.කෙසේ වෙතත් සිද්ධියෙන් දින දෙකකට පසුව එම ස්ථානය වෙත පැමිණි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්.එම්.සී.බී. මොරේමඩ මහතා එම ස්ථානයේ මෙන්ම ඒ අවට ප්‍රදේශයේ ද නිරීක්ෂණය කරමින් පරීක්ෂණ ආරම්භ කරන්නට පටන් ගත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙන්ම මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ද කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්ය.ගිලා බැසීමට ලක්වූ ස්ථානය පමණක් නොව ඒ අවට ප්‍රදේශ ද සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි උල්පතක් ද නිරීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්.එම්.සී.බී. මොරේමඩ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත දළ අදහසක් මෙලෙස ඉදිරිපත් කළේය.

“මම මේ නාය ගිය ස්ථානය වගේම මේ අවට ප්‍රදේශය නිරීක්ෂණය කළා. මේ ස්ථානය අවට පොළව යට තියෙන හුණුගල් ස්තරයක ක්‍රියාකාරීත්වය නිසා මෙවැනි සිද්ධීන් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඉදිරි දින දෙක තුන ඇතුළත අපි මේ සම්බන්ධයෙන් රේඩාර් හා විශේෂ උපකරණවල ආධාරයෙන් පරීක්ෂණ සිදුකර සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ද පැවැසීය.ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ එම්.එම්.සී.බී. මොරේමඩ මහතාගේ පැහැදිලි කිරීම්වලට අනුව මෙම ගිලා බැසීම සිදුව ඇත්තේ ගිලා බැසීමට ලක්වූ ස්ථානයේ හා ඒ අවට පොළවට යටින් පිහිටි හුණුගල් ස්ථරයක ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.පොළව අභ්‍යන්තරයේ හුණුගල් ස්තර පිහිටා ඇති අවස්ථාවලදී කාලයක් තිස්සේ ඒ මතට ජලය ගලා යාමත් සමඟම හුණුගල් ස්ථරයේ යම් විඛාදනය වීමක් සිදුවන අතර ඒ හේතුවෙන් මතුපිට පස් තට්ටුවට යටින් හිස් අවකාශයක් නිර්මාණය වී ඉහළ පස් තට්ටුව එම අවකාශය තුළට කඩා වැටීමෙන් මෙවැනි සිද්ධීන් ඇතිවන බව ද හෙතෙම පැහැදිලි කළේය.කෙසේ වෙතත් තම නිරීක්ෂණයන්ට අනුව මෙම සිදුවීම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූවක් නොවන බවත් මෙය හුදු ස්වාභාවික සංසිද්ධියක් බවත් අවධාරණය කළ මොරේමඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ ස්ථානයේ අවට නාය යාමේ අවද‌ානමක් නොමැති වීම නිසා ජනතාව බියට පත්වීමේ අවශ්‍යතාවක් නැති බවය.තාක්ෂණික පරීක්ෂණයක් සිදුකරන තුරු ඇළ මාර්ගය යටතේ ජලය නිකුත් කිරීම අත්හිටුවන ලෙසට තමා නිර්දේශ කරන බව ද මොරේමඩ මහතා පැවැසීය.කෙසේ වෙතත් මේ මස 30 වන දා වනවිට කෝමාරීක ව්‍යාපාරයේ මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඇළ මාර්ගය නාය යාමත් සමඟම මෙම ඇළ යටතේ දියවර සැපයෙන අක්කර 300කට ආසන්න කුඹුරු ඉඩම් ප්‍රමාණයක වගා කටයුතු ද දැඩි අවද‌ානමකට ලක්වීම නිසා ව්‍යාපාරයේ ගොවි ජනතාව ද දැඩි අසහනකාරී තත්ත්වයකට මුහුණ දී සිටිති.

එහෙත් ඉකුත් 16 වන දින ගිලා බැසීමට ලක්වූ ස්ථානය වෙත පැමිණි කන්දකැටිය වාරිමාර්ග ඉංජිනේරු එස්.ඩී. මොලගොඩ මහතා මෙම ගිලා බැසීම ව්‍යාපාරයේ වගා කටයුතු අඩාළ වීමට කිසිසේත් හේතුවක් කර නොගන්නා බව කියා සිටියේ ගොවීන්ගේ සිත්වලට ද මඳ අස්වැසිල්ලක් එක් කරමිනි.ඔහු මෙසේ ද කීවේය.“ඇළ ගිලා බැසීම සිදුවෙලා ඉවරයි. මේ ගිලා බැසීම නිසා දැන් එක වතුර බිංදුවක්වත් ගොවි බිම්වලට ගෙනියන්න බැහැ. අවම වශයෙන් මේ ඇළ මගින් අක්කර 250කට ජලය සපයන බවට අනුමාන කර ගණනය කිරීම් කළොත් එක් කන්නයකදී මේ ඉඩම්වල වගා කරන වීවලින් ලැබෙන ආදායම රුපියල් කෝටි දෙක හමාරක් විතර වෙනවා. රටටත් ගොවි ජනතාවටත් ඒ ආදායම නැති කරන්න අපි සූද‌ානම් නැහැ. ඒ නිසා හැකි ඉක්මනින්ම නවීන ඉදිකිරීම් ශිල්පීය ක්‍රම යොද‌ාගෙන අපි මෙම ගිලා බැසීමට ලක්වූ කොටස පිළිසකර කර නියමිත දිනට ජලය නිකුත් කරන්නට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා.”ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මීගහකිවුල සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ඩී.ඒ. චාමර මහතා ද අද‌ාළ ස්ථානය නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන මෙන්ම ඒ සම්බන්ධ නිලධාරීන් ද මෙම කටයුත්ත හා සම්බන්ධ කිරීමට සිදුකළ මෙහෙය ප්‍රශංසාත්මකය.මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිගමනවලට එළඹි නිලධාරීන්ගේ අදහස්වලට අනුව මෙය ස්ථානීය සිද්ධියක් මිස ඉන් එහා සිතිය යුතු හෝ අවධානය යෙදවිය යුතු සිදුවීමක් නොවන බව ද මෙහිලා සඳහන් කළ යුතුය.එසේ වුව ද ප්‍රදේශයේ ඇතැම් ගොවි මහතුන් මේ සම්බන්ධයෙන් දක්වන අදහස් ද බැහැර කළ හැකි ඒවා නොවන බව කිව යුතුය. අඩ සියවසකටත් අධික කාලයක් ව්‍යාපාරයේ පදිංචිව සිටින පාලාවත්ත ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. විජේරත්න මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසකි.“මේ වගේ නාය යාමක් මීට වසර හය හතකට ඉහතදීත් මෙම ඇළ මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයේ සිදුවුණා.

එහිදීත් ප්‍රධාන ඇළ මැද හෑරුණු වළකට ඇළේ වතුර සියල්ල වැටී අතුරුදන් වුණා.අනෙක් කාරණය තමා මේ අවට වළගම්බා රජු කරවූ විහාරස්ථාන රැසක පිහිටීම. රජතුමා මේ පන්සල්වලට ආවා ගියා යැයි සැලකෙන උමං මාර්ග කීපයක්ම මේ අවට තියෙනවා. මේ පැත්තේ තියන එක උමගකින් ඇතුළට ගියාම ඊට කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි තල්දෙන ගල්ගේලන්ද ගමේ වී කොටන සද්දේ උමග තුළින් ඇහෙන බව අපේ වැඩිහිටියෝ අපිට ඒ කාලේ කියා දී තිබෙනවා. මේ සිදුවීම එවැනි උමගක් හා සම්බන්ධයි කියලත් අපිට හිතන්න පුළුවන්” යැයි විජේරත්න මහතා පැවැසීය.කොමාරීක ව්‍යාපාරයේ මෑත කාලයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත්තේ 1970-1980 කාලයේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන වත්මන් අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතාගේ පියාණන්වන සී.පී.ජේ. සෙනවිරත්න මහතාගේ හා එඩ්වින් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම යටතේය.මෑත ඉතිහාසය එබඳු වුව ද මෙම ඇළේ මූලික අඩිතාලම දමා ඇත්තේ පෙර රජ දවස කෝමාරීක ප්‍රදේශය වෙත පළා විත් සැඟව සිටියේ යැයි කියන කුමාරසිංහ නමැති ප්‍රදේශීය රජ කෙනකු විසින් බව කෝමාරීක ගොවි ජනපදයේදී අපට හමුවූ ඩී.එම්. සෝමපාල මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වූ ජනප්‍රවාද කීපයක් ද ගෙන හැර දක්වමිනි.ඔහු මෙසේ ද කීවේය.“ඉස්සර මේ පළාතේ ඉඳල තියෙනව කුමාරසිංහ කියල ප්‍රාදේශීය රජ කෙනෙක්.

එයා යම් සිදුවීමක් නිසා මේ ප්‍රදේශයට පැමිණ කෝමාරීක ජනපදයට යාබද වෙන්දේසියාය ගමේ මාළිගාවක් හදාගෙන තමා ජීවත්වෙලා තියෙන්නේ. අදටත් ඒ ප්‍රදේශය මාළිගාතැන්න ලෙස හඳුන්වනවා. ඒ වගේම මේ ආසන්නව කෝවිලමුල්ල කියල වෙල්යායකුත් තියෙනව. කුමාරසිංහ කරවූ වෙල තමයි පසුකලෙක කුමාරගේවෙල බවටත් කෝමාරීකවෙල බවටත් පත්වී තියෙන්නේ. කුමාරසිංහ රජු කරවූ උඩවෙල පල්ලේවෙල වෙල්යාය අදටත් දැක ගන්න පුළුවන්.ඒ වගේම තමා ඒ කාලේ මේ ව්‍යාපාරයට වතුර ගෙනත් තියෙන්නේ ලොග්ගල්ලා ඔය දෙපැත්තේ තිබුණු ගස් විශේෂයකින් ගලවා ගත්ත පොතුවලින් කියල කතාවක් තියෙනවා. එදා වතුර ගත්ත පරණ අමුණ අදටත් ඔයේ ඉහළින් තියෙන බව අපේ වැඩිහිටියෝ අපට පවසා තිබෙනවා. ඒ වගේම මේ ජනපදයේ ඉහළ කුඹුරු ඉඩම්වල අයිතිය අදටත් තියෙන්නේ මුතියංගණ විහාරය සතුවයි.”කෙසේ වෙතත් මෙම ගිලා බැසීම සිදුවූ කෝමාරීක ඇළ හා බැඳුණු තවත් ජනප්‍රවාද මෙන්ම ගෙතුණු කතා ද බොහොමයකි. ඒ කතා අසා ඇති බොහෝ දෙනා මෙම ගිලා බැසීම එම කතාවලට ඈඳන්නට ද උත්සාහ කරති. ඇතැම්විට කතා නිර්මාණය කරමින් ජනතාව බිය වද්දන්නටත් කිසිදු පදනමක් නැති අනාවැකි පවසන්නටත් කටයුතු කරති.එහෙත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ එම්.එම්.සී.බී. මොරේමඩ මහතා පැවැසූ පරිදි අද‌ාළ සිදුවීමේ තාක්ෂණ වාර්තාව නුදුරේදීම අප අතට පත්වීමට ඉඩ ඇති බැවින් එතෙක් ඉවසා සිටීම මීට ඇති හොඳම විසඳුම බව සියලු පාර්ශ්ව තේරුම්ගත යුතු සත්‍යයකි.