Naifmvlog

Naifm vlog Gossip and News

මිනිසෙක්‌ විසින් ඇදගෙන යන කරත්තයක

ඇල්බට්‌ අයින්ස්‌ටයින් ජපානයට යන අතරමග 1922 වසරේ ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ. මේ පිළිබඳ ලේඛනාරක්‍ෂක තොරතුරු ඇත්තේ ඉතා ස්‌වල්පයක්‌ වන අතර ඔහුගේ ලංකා සංචාරය පිළිබඳව ඒ අවධියේ හෝ ඉන්පසුව ප්‍රසිද්ධියක්‌ ලැබී නැති බව පෙනී යයි. අයින්ස්‌ටයින් හා ඔහුගේ බිරියව වූ එල්සා 1922 ඔක්‌තෝබර් 28 වැනි දින කොළඹදී රික්‌ෂෝ රථ වලින් ගමන් කිරීම කවුරුත් මවිතයට පත්කළ කරුණකි.ටෝකියෝහි පොත් ප්‍රකාශක සමාගමක කළමනාකරුවූ යෑමැමොටෝ සෙනෙහිකෝගේ ආරාධනය පරිදි ඇල්බට්‌ අයින්ස්‌ටයින් සහ ඔහුගේ දෙවැනි බිරිය වූ එල්සා ලොවෙන්කල් ප්‍රංශයේ මාසෙයිලිසිවල සිට ජපානයට යැම සඳහා 1922 ඔක්‌තෝබර් 8 වැනි දින කිටනෝ මරු නම් නැවෙන් ගමන් ඇරඹීය. මෙම නැව ජපානයේ කෝබේ වරායට පිවිසීමට පෙර කොළඹ, සිංගප්පූරුව, හොංකොං සහ ශැන්හයි යන වරායවල්වල නතර කිරීමට නියමිතව තිබිණි. අයින්ස්‌ටයින්ගේ මේ සංචාරය යෑමමොටෝ සමාගමය විසින් ඉතා සැලකිල්ලෙන් යුතුව සැලසුම් කරන ලද්දක්‌ වූ අතර ජපාන රජය හා විද්‍යාඥයින්ගේ සංගමය විසින් එයට අනුග්‍රහය දක්‌වා තිබිණි.අයින්ස්‌ටයින් හා එල්සා රැගත් කිටනෝමරු නෞකාව සූවස්‌ ඇළ හරහා 1922 ඔක්‌තෝබර් 28 වැනි දින ලංකාවට සම්ප්‍රාප්ත විය. ඔවුන්ගේ රික්‌ෂෝ සවාරිය හා ඔහු කොළඹදී දුටු දේ පිළිබඳ ඔහුගේ අවංක හැඟීම් ආදිය මෙම සංචාරය පිළිබඳව අයින්ස්‌ටයින් ලියා ඇති කුරුටු සටහන්වල දැක්‌වේ.තමාත් එල්සාත් නැවෙන් ගොඩබට අවස්‌ථාවේ අහංකාර පෙනුමකින් යුත් හැඩි දැඩි මිනිහෙක්‌ ඉදිරියට පැමිණ, ඔහුගේ අතින් ඇදගෙන යමින් “ටවුම වටේ එක්‌ක යන්ඩ අය කරන්නෙ රුපියල් දෙකක්‌ විතරයි” පවසමින් තමා ඔසවා රික්‌ෂෝවක හිඳවූ බව අයින්ස්‌ටයින් පවසයි.

එවිට අයිනිස්‌ටයින්, මිනිසෙක්‌ විසින් ඇදගෙන යන කරත්තයක ගමන් කිරීමට තමාගේ ඇති අකමැත්ත, අසල සිටි නාවික නිලධාරියෙකුට පවසා තිබේ.”ඔබ කියන දේ ඇත්ත. ඒත් ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක බව මතක තියාගන්න”යි මෙවිට එම නාවික නිලධාරියා පවසා ඇත.මේ අතර තුර තවත් රික්‌ෂෝකරුවෙක්‌ එල්සාව ඔහුගේ රික්‌ෂෝවේ බලෙන් හිඳුවා එය ඇදගෙන යන්නට විය.”ඕක නවත්තපන්. ඕක නවත්තපන්” යයි කෑගැසු අයිනිස්‌ටයින් ඇයට කරත්තයෙන් බසින ලෙස පවසා තිබේ. මෙවිට එම නාවික නිලධාරියා ඉදිරිපත්වී මෙහි සත්‍ය තත්ත්වය පැහැදිලි කළ විට දෙදෙනාම රික්‌ෂෝ රථවලින් කොළඹ වීදි ඔස්‌සේ ගමන්කර තිබේ.අයිනිස්‌ටයින්ගේ දිනපොත් 1922 ඔක්‌තෝබර් 22 දින දරණ සටහනේ මෙසේ සඳහන් වේ.”ශක්‌තිමත් මිනිසෙක්‌ විසින් ළඟ ළඟ පා තබමින් හැම්මේ ඇදගෙන යන කුඩා කරත්ත විශේෂයක නැඟ අප ගමන් කළෙමු. මිනිසෙක්‌ විසින් තවත් මිනිසෙක්‌ව මේ ලෙසින් රැගෙන යැමේ නොමිනිස්‌ ක්‍රියාවට මගේ කිසිම කැමැත්තක්‌ නොවීය. නමුත් මට එය වළක්‌වාලිය නොහැකි විය.එහෙත් වඩාත් ප්‍රායෝගික වූ අයිනිස්‌ටයින්ගේ බිරිඳ, “මේක මේ මිනිස්‌සුන්ගෙ රස්‌සාව. ඒ මිනිස්‌සුන්ගෙ ජීවිකා වෘත්තිය කරගෙන යන්ඩ අපි ඒ අයට උදව් කරන්ඩ ඕනෑ”යි මෙවිට පවසා ඇත.කොළඹ නගරයේ වාසය කරන්නන් වැඩි දෙනෙක්‌ දුප්පතුන් බවත්, වැඩි යමක්‌ නොකරන ඔවුන්ගේ ශරීර ලක්‍ෂණ සිත් ඇදගන්නා සුළු බවත් අයින්ස්‌ටයින් පවසයි. සෙඩ් වරායේදී දුටු අය මෙන් නොව කොළඹ නගරයේ වාසය කරන්නන් සාමකාමී, සන්සුන් යටහත් පහත් අය බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

නැව් බඩු පටවමින් හා බාමින් සිටින කොළඹ වරායේ සේවකයින් නිසා එහි කඩිසර ස්‌වරූපයක්‌ දක්‌නට ලැබුණු බවත්, නරඹන්නන් සතුටු කිරීම සඳහා කිමිඳුම්කරුවන් තමන්ගේ ජීවිත පරදුවට තබා කටයුතු කරන බවත් නරඹන්නන් ඉන් පහත් ආස්‌වාදයක්‌ ලබන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. තමා නමට එවා තිබූ විදුලි පණිවුඩ කිහිපයක්‌ භාරදීමට පැමිණි දුඹුරු පැහැති රැවුලකින් යුත් හීන්දැරී මිනිසෙක්‌ අකාරුණික ලෙස ඒ වෙනුවෙන් සන්තෝෂමක්‌ ඉල්ලූ විට තමා බෙහෙවින් කම්පාවට පත්වූ බවද ඔහු සඳහන් කරයි.අයින්ස්‌ටයින් කොපමණ කාලයක්‌ කොළඹ නතරවී සිටියේද යන්නත්, නගරයේ කුමන ප්‍රදේශවල සංචාරයේ යෙදුණේද යන්නත් පැහැදිලි නැත. වරායෙන් පිටත ඇති සමෘද්ධිමත් වානිජ ප්‍රදේශ ඔස්‌සේ ඔවුන් ගමන්කර ඇතිවාට සැකයක්‌ නැත. නමුත් ඒ පිළිබඳව ඔහු කිසිවක්‌ සඳහන් කර නැත. එහෙත් ඔහු මිනිසුන් පදිංචිව සිටි ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අදහස්‌ කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳව ඔහු වැඩි අවධානයක්‌ යොමුකර ඇති බවය. ඔවුන් කොළඹට පැමිණි විට නිල වශයෙන් පිළිනොගත්තේ මන්ද යන්නත් ප්‍රශ්නයකි. සමහර විට අයින්ස්‌ටයින් හා එල්සා නැවෙන් ගොඩබසින්නට ඇත්තේ නගරයේ සිරි නැරඹීමට විය හැකිය. ප්‍රථම ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පැවැති දේශපාලන තත්ත්වයට අනුව හා අයින්ස්‌ටයින්ට බ්‍රිතාන්‍ය විද්‍යාත්මක පදනම විසින් දක්‌වන ලද අනුග්‍රහය ගැන සිතන විට ඔවුන්ගේ පැමිණීම එවකට පැවැති යටත් විජිත රජය නොදැන සිටියා යයි සිතිය නොහැකිය.නැවේදී “ටයිම්ස්‌ ඔෆ් සිලෝන්” පුවත්පතේ මාධ්‍යවේදියෙක්‌ අයින්ස්‌ටයින් සමග සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

ඔහුගේ සාපේක්‍ෂතාවාදය අත්හදා බැලීම සඳහා 1922 සැප්තැම්බර් 21 වැනි දින පැවැති පූර්ණ සූර්යග්‍රහණ අවස්‌ථාවේ ක්‍රිස්‌මස්‌ දූපතේදී ඔහු විසින් කරන ලද අත්හදා බැලීම්වල ප්‍රතිඵල පිළිබඳ මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කර ඇත. සූර්යග්‍රහණය පැවැති අවස්‌ථාවේ ක්‍රිස්‌මස්‌ දූපතේ පැවැති අයහපත් දේශගුණික තත්ත්වය නිසා එම අත්හදා බැලීම පිළිබඳ නිශ්චිත යමක්‌ පැවසීම දුෂ්කර බව මෙවිට අයින්ස්‌ටයින් පවසා තිබේ. එසේ වුවද එම සූර්යග්‍රහණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියාවට ගිය තාරකා විද්‍යාඥයින් ඒ පිළිබඳව තීරණාත්මක නිගමනයකට එළඹෙන්නට ඇත යනු තමාගේ විශ්වාසය යයි ඔහු සඳහන් කර ඇත.භෞතික වස්‌තූන් මෙන් ආලෝකයද විශාල වස්‌තූන්ට සුළු වශයෙන් ආකර්ෂණය වන බව සාපේක්‍ෂතාවාදයෙන් අයින්ස්‌ටයින් අනාවැකියක්‌ පළකර තිබිණි. මෙය පූර්ණ සූර්යග්‍රහණ අවස්‌ථාවකදී අත්හදා බැලිය හැකි යයි අයින්ස්‌ටයින් 1916 දී ප්‍රකාශ කළේය. ඔහු පෙරදිග සංචාරයේ යෙදීමට වසර දෙකකට පමණ පෙර, බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙක්‌ වූ සර් ආතර් එඩින්ටන්, බ්‍රසීලයට හා බටහිර අප්‍රිකාවට දිස්‌වූ පූර්ණ සූර්යග්‍රහණයක්‌ නිරීක්‍ෂණය කිරීමේදී අයින්ස්‌ටයින්ගේ අනාවැකිය තහවුරු වූ බව ප්‍රකාශයට පත් කළේය. එඩින්ටන්ගේ මේ ප්‍රකාශය නිසා අයින්ස්‌ටයින්ට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර ලොව පුරා පුවත්පත් ගණනාවක්‌ම මේ පුවත මුල් පිටුවල පළකර තිබිණි.අයින්ස්‌ටයින් කොළඹ ගත කරන අවධියේ 1921 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කාටද යන වග හෙළිකර නොතිබිණි. මේ ප්‍රදානයන් පිළිබඳව ඔක්‌තෝබර් මුල් මාසයේ ප්‍රකාශයට පත්කරන නමුදු එම ප්‍රමාදයට හේතුව, සැප්තැම්බර් 21 වෙනි දින සූර්යග්‍රහණය පිළිබඳව කරන ලද අත්හදා බැලීමේ ප්‍රතිඵල නොබෙල් කමිටුව අපේක්‍ෂාවෙන් සිටි නිසා වන්නට පිළිවන.

කොළඹින් පිටත්වූ අයින්ස්‌ටයින් හා එල්සා 1922 නොවැම්බර් 2 වැනි දින සිංගප්පූරුවට පැමිණියේය. ඔවුන් නැවෙන් ගොඩබට විට විශාල පිරිසක්‌ ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියහ. එදින සන්ධ්‍යාවේ ධනවත් යුදෙව් ජාතික ව්‍යාපාරිකයකුගේ නිවසේ අයින්ස්‌ටයින් පිළිගැනීමේ උත්සවයක්‌ මහ ඉහළින් පැවැත්විණි.1922 නොවැම්බර් 13 වැනි දින ඔවුන් ශැන්හයිවලට පැමිණි විට චීන විද්‍යාඥයින් හා ප්‍රභූන් විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදී. මේ අවස්‌ථාවේ ස්‌වීඩනයේ කොන්සල් ජනරාල්වරයා අයින්ස්‌ටයින් නමට ලැබී තිබූ විදුලි පුවතක්‌ ඔහුට භාර දුන්නේය. එහි සඳහන්ව තිබුණේ 1921 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනමා ඇති බවය. එදින සන්ධ්‍යාවේ මේ ශේ්‍රෂ්ඨ විද්‍යාඥයාට ගරු කිරීම පිණිස සුපක්‍රට චීන චිත්‍ර ශිල්පියෙක්‌වූ වෑන්ග් විටින්ගේ නිවසේ භෝජන සංග්‍රහයක්‌ පවත්වන ලදි.අයින්ස්‌ටයින් ලංකාවට පැමිණෙන අවස්‌ථාවේ ඔහු තරමක අසනීපයෙන් පසුවූ බවත් ජපන් ජාතික වෛද්‍යවරයෙක්‌ ඔහුට ප්‍රතිකාර කරමින් සිටි බවත් වාර්තාවේ. නොබෙල් ත්‍යාගය තමාට ප්‍රදානය කිරීමේ පුවත සැලවීමෙන් බෙහෙවින් සතුටටපත් අයින්ස්‌ටයින් ජපානය බලා පිටත් විය. ජපානයේදීද ඔහුට උණුසුම් පිළිගැනීමක්‌ ලැබිණි. ඔහු ආපසු පැමිණෙන අතරවායේ ද ඔහු රැගත් නෞකාව කොළඹ වරායේ නතර කර තිබේ.තමා ලාංකික ජනයා තුළ උදාර භාවයත්, ජපන් ජාතිකයින් තුළ ආත්ම පවිත්‍රතාවයත්, පලස්‌තීනුවන් තුළ විශිෂ්ට බුද්ධිය හා සදාචාරසම්පන්න භාවයත් දුටු බව ඔහුගේ ගමන් විස්‌තර සඳහන් දිනපොතේ සටහන් කර තිබේ.ජර්මනියේ සිට එක්‌සත් ජනපදයට සංක්‍රමණය වීමෙන් පසුවද කොළඹ රික්‌ෂෝකරුවන් පිළිබඳ අත්දැකීම නිතර නිතර ඔහුගේ මතකයට නැඟුණු බව සඳහන් වේ.දැනට ඇමරිකාවේ සින්සින්නාට්‌ සරසවියේ ඉංජිනේරු පීඨයේ සේවයේ නියුතු මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින් “දි අයිලන්ඩ්” පුවත්පතට සපයා තිබූ ලිපියක්‌ ඇසුරෙනි.