Naifmvlog

Naifm vlog Gossip and News

ජීවිතය සුවපත් කරන්නට වචන වලට බලය ඇති බව

මා කථිකයෙකු නොවේ. දේශන පවත්වන්නියකද නොවේ. මා කතන්දර කියන්නියක් පමණකි. යන හැම තැනදීම මට කියන්නට ඇත්තේ එකම එක කතාවකි. ඒ එක ගැහැණියකගේ කතාවය. අඩුපාඩුකම් වලින් අඩුවක් නැති ජීවිතයක් ඇති ගැහැණියකගේ කතාවය. අසම්පූර්ණ බවින් පරිපූර්ණ වූ ජීවිතයක් ඇති ගැහැණියකගේ කතාවය. ඔබේ ජීවිතය අසම්පූර්ණ යැයි ඔබට සිතෙනවා නම්, ඔබේ ජීවිතය ඔබට අසාධාරණයක් කළ බව ඔබට හිතෙනවා නම් ඇගේ කතාව අහන්න.. කෙටියෙන් කිව්වොත් ඒ “ඇය” යනු මමමය. එය මගේම කතාවය. ජීවිතයේ වරින් වර විවිධ දේ සිදුවෙයි. ඒ අතරින් ඇතැම් සිදුවීම් යමෙකුගේ ජාන පවා වෙනස් කරන්නට තරම් ශක්තිමත්ය. ඇතැම් සිදුවීම් විසින් ඔබව තලා පෙලා මිරිකා ඔබෙන් තැනිය හැකි හොදම ප්රතිරූපය තනා ගනු ඇත. මට සිදුවූයේද එයමය. මා විවාහ වන විට මගේ වයස යන්තම් අවුරුදු දහ අටක් පිරුණා පමණකි. මා හැදුණේ අතිශයින් ගතානුගතික පවුලක් තුළය. එවැනි පවුල් වල දූවරුන් කවදාවත් දෙමාපියන්ගේ වචනයට පිටින් යන්නේ නැත. ඉතින් මම දෙමාපියන්ගේ වචනයට හිස නවා විවාහ වූයෙමි. එහෙත් එය කවදාවත් සතුටින් ගෙවුණු විවාහ ජීවිතයක් වූයේ නැත.

මා විවාහ වී වසර දෙකකට පමණ පසු එක් දිනක මම මගේ සැමියාත් සමග මගේ ගමට යමින් උන්නෙමි. වාහනය පදවමින් උන් මගේ සැමියාට නින්ද ගොස් තිබිණ. අපේ වාහනය අගලකට පෙරලිණ. මගේ සැමියා වාහනයෙන් ඉවතට පැන ජීවිතය බේරාගත්තේය. එහෙත් මම…? මම වාහනය තුළ සිරවී උන්නෙමි. මට හොදටෝම තු-වාලය. මගේ දකුණු අත කැඩී තිබිණ. උරපතු හා උරහිස් ඇට බිදී ගොසිනි. මගේ ඉල ඇට කූඩුව එහෙම පිටින්ම වාගේ පුපුරා ගොස් තිබිණ. ඉල ඇට බිදී යාම නිසා මගේ පෙනහළුත්, අක්මාවත් දරුණු ලෙස තු-වාල වී ඇත. මට හුස්ම ගන්නට අසීරුය. මගේ කොදු ඇට පෙලට බ-ර-පතල ලෙස හානි වී තිබිණ. මේ මට සිදුවී තිබුණු හානි වලින් කීපයක් පමණකි. කොටින්ම කිවහොත් මම සුන්බුන් වී උන්නෙමි. මේ අනතුර සිදුවූයේ බලෝචිස්ථාන්හි හුදෙකලා දුෂ්කර පලාතකය. ප්රථමාධාර දෙන්නට කිසිවෙකුත් නොවීය. සැතපුම් ගණනාවකට රෝහලක්ද නොවීය. ගිලන් රථයක් සොයා ගන්නට මගක් තිබුණේද නැත. මම අසරණ වී සුන්බුන්ව ගිය වාහනය තුළ සිරවී උන්නෙමි. මට උදව් කරන්නට බොහෝ අය පැමිණියහ. මිනිසුන් මාව වාහනයෙන් පිටතට ඇදගත්හ. “මෙයා මැරෙන්නයි යන්නෙ.. අපි මෙයාව මෙතනම තියාගන්නවද.. ඉස්පිරිතාලෙකට ගෙනියනවද.. ඇම්බියුලන්ස් එකක් හොයාගන්න විදිහකුත් නැහැනෙ.

” මේ ලෙසින් මිනිසුන් කතා වෙනු මට සිහිනයෙන් මෙන් ඇසිණ. “මෙයාව අපේ ජීප් එකේ පිටිපස්සට දාන්න.. අපි ඉස්පිරිතාලෙකට ගෙනියන්නම්..” කවුදෝ කියනු ඇසිණ. “ඉස්පිරිතාලයක් තියෙන්නෙ කොච්චර දුරකින්ද.. පැය තුනක්වත් ගත වෙයි..” වල ගොඩැලි වලින් පිරුණ පාරේ ගැස්සෙමින්, ජිප් රථයක පසුපස ම-ලමි-ණියක් සේ රෝහලට ගිය ගමන මට තවමත් යාන්තමට මතකය. රෝහලේදී ඔවුන් මාව ට්රොලියට දමා ගත් හැටිත් මට සිහිනයෙන් මෙන් දැනිණ. මගේ සිරුරින් අඩක්ම බිදී තැලී පොඩිවී ගොස් ඇති බවත්, ඉතිරි අඩ අප්රාණික වී ඇති බවත් මා වටහා ගත්තේ ඒ මොහොතේදීය. මාව ඒ ගෙනගොස් දැමූ රෝහලේ මම මාස දෙකහමාරක් ගෙවූයෙමි. ඒ මාස දෙකහමාර තුල මට කොතරම් සැත්කම් ගණනක් කලාදැයි මතක නැත. ඒ රෝහල තුළ ගෙවූ මාස දෙකහමාරක කාලය, වේදනාවෙන් පිරුණු බියකරු සිහිනයක් වැනිය. දිනක් වෛද්යවරයා මගේ ගිලන් ඇද අසලට ආවේය. “ඔයා චිත්ර ශිල්පිණියෙක් වෙන්න හිතාගෙන හිටියා කියලා මට ඔයාගෙ අම්මයි තාත්තයි කිව්වා.. ඒත් ඔයා විවාහ වුණාට පස්සේ ගෙදරටම කොටු වුණ බවත් කිව්වා.. මට ඔයාට කියන්න වෙලා තියෙන්නෙ ඊටත් වඩා නරක ආරංචියක්.. ඔයාට ආයෙත් කවදාවත් චිත්ර අදින්න බැරි වේවි.. ඔයාගෙ අතයි මැණික් කටුවයි ඒ තරමටම විනාශ වෙලා..

කවදාවත් ඔයාට පෑනක් පැන්සලක් අල්ලන්න බැරි තරමට..” මම නිහඩව උන්නෙමි. පහුවදා වෛද්යවරයා නැවතත් ආවේය. “ඔයාගෙ කොදු නාරටියට වෙලා තියෙන හානිය සෑහෙන්න බ-ර-පතලයි.. ඔයාට ආයෙත් ඇවිදින්න නම් බැරි වේවි..” “කමක් නෑ… “ ගැඹුරු හුස්මක් ගෙන මම කීවෙමි. පසු දින නැවතත් වෛද්යවරයා මා වෙතට ආවේය.. “ඔයාගෙ කොදු නාරටියටයි උකුල් ඇට වලටයි සිද්ද වෙලා තියෙන හානි වල හැටියට ආයෙ කවදාවත් දරුවෙක් ලබා ගන්න නම් බැරි වෙයි..” ඔහු කීවේය. එදා නම් මගේ හිත මුළුමනින්ම වාගේ කඩා වැටුණි. “ඇයි අම්මේ මටම මෙහෙම වෙන්නේ..?” මම අඩමින් අම්මාගෙන් ඇහුවා මට මතකය. “ඇයි මම තවත් ජීවත් වෙන්නේ..? මගේ ජීවිතයේ තේරුම මොකක්ද..?” මම මගෙන්ම ප්රශ්න කරන්නට පටන් ගත්තෙමි. මට චිත්ර අදින්නට බැරි වෙතත්, ඇවිදින්නට බැරි වෙතත් එය දරා ගන්නට හැකිය. එහෙත් අම්මා කෙනෙකු වෙන්නට බැරි ගැහැණියකගේ ජීවිතයක ඇති වටිනාකම මොකක්ද.? දැන් මගේ ජීවිතය සදහටම අසම්පූර්ණය. මගේ විවාහයද බිදී යනු ඇත. ජීවත් වෙන්නට බලාපොරොත්තුවක් අවශ්යය. එහෙත් දැන් මට බලාපොරොත්තුවක් ඉතිරිව නැත. “දුක් වෙන්න එපා.. මේ කාලයත් ගෙවිලා යයි.. දෙවියන් වහන්සේ ඔයා වෙනුවෙන් මීට වඩා හොද දෙයක් සූදානම් කරලා ඇති..

ඒ මොකක්ද කියලා මං දන්නෙ නෑ.. ඒත් දෙවියන්ගේ සැලසුම් ගැන මට විශ්වාසයි..” මගේ අම්මා කීවාය. ජීවිතය සුවපත් කරන්නට වචන වලට බලය ඇති බව මම දැනගත්තේ එවිටය. මගේ අම්මාගේ වචන මට අලුත් බලාපොරොත්තුවක් දුන්නේය. මගේ සිත තුළ පුපුරු ගහන වේදනාව වහන්නට මම මුහුණේ සිනාවක් අලවා ගතිමි. ගතේ වේදනාවට වඩා සිතේ වේදනාව දරා ගන්නට අමාරුවිය. එහෙත් මගේ ඇසින් කදුලක් මතු වන හැම විටකම මගේ අම්මාගේත් මල්ලීගේත් ඇස් වලට කදුළු මතුවන බව මම දැන උන්නෙමි. මට ඔවුන්ගේ ඇස් වල කදුළු දකින්නට නොහැකි. මම නාඩා උන්නෙමි. “මට චිත්ර අදින්න බැරි එක ඇත්තයි.. ඒත් මට මේ ඉස්පිරිතාල කාමරේ සුදු බිත්ති දිහා බලා ඉදලා ඇති වෙලා.. මට ලස්සන පාට දකින්න ඕන.. මට පාට ටිකක් ගෙනත් දෙන්න.. මට කැන්වස් එකක් ගෙනත් දෙන්න.. චිත්ර අදින්න බැරි වුණත් මම පාට ගාන්නම්..” දිනක් මම මගේ මල්ලීට කීවෙමි. ඔහු මගේ ඉල්ලීම ඉටු කළේය. ගිලන් ඇද මත වැතිරීගෙන මම කැන්වසය මත පාට ඉලුවෙමි. එය චිත්රයක් පමණක් නොව මට ඖෂධයක්ද විය. මගේ සිත සුවපත් කරවන්නක් වීය. මගේ සිත තුළ සිරවුණු වචන, රූප බවට හැරී කැන්වසය මත දිග හැරිණ.

මිනිස්සු මගේ චිත්ර දෙස බලා ඒවායේ ලස්සන අගය කළහ. එහෙත් ඒ තුළ සිරවී තිබුණු වේදනාව දුක කිසිවෙකු දුටුවේ නැත. මම අඩමින් සුසුම්ලමින් දිගටම චිත්ර ඇන්දෙමි. රෝහලෙන් ගෙදර ගියද මට ඉදගන්නටවත් හැකියාවක් නොවීය. මගේ සිරුරේ හැම තැනම තු-වාලය. ආසාදනය. ඇදටම වී දිග ඇදී සිටින්නට වෛද්යවරු මට උපදෙස් දුන්හ. මාස හයක්.. අවුරුද්දක්.. නැත.. දෑවුරුද්දක්ම මම එකම ඉරියව්වෙන් ඇදේ වැතිරී උන්නෙමි. හැම කෙනෙකුටම වාගේ ජීවිතය නැවත උපදින දවසක් ඇත. මට නම් ඒ දිනය වූයේ මට රෝද පුටුවක ඉදගන්නට පුලුවන් වුණු දිනයයි. දැන් ඉතින් මේ රෝද පුටුව මගේ ජීවිතයේ සදාකාලික උරුමය වනු ඇති බව මම දැන උන්නෙමි. මම රෝද පුටුවේ රෝද කරකවමින් කණ්ණාඩිය වෙත ගියෙමි. මම මටම කතා කළෙමි. “හාස්කමකින් මාව සුවපත් වෙන්නෙ නෑ.. ඒ වගේම මිනිස්සුන්ගෙ අනුකම්පාව බලාපොරොත්තුවෙන් මට ජීවත් වෙන්නත් බෑ.. දැන් මගේ තත්වය තේරුම් අරන් මම මගේ ජීවිතයට සූදානම් වෙන්න ඕන..” ඉන්පසු මම කණ්ණාඩියෙන් මුහුණ බලාගෙන දෙතොලෙහි ලිප්ස්ටික් තැවරූයෙමි. “මොනවද මං මේ කරන්නෙ.. මම රෝද පුටුවක ඉන්න ආබාධිතයෙක්.. මිනිස්සු මොනව නොකියාවිද..” මම එය මකා දැමුවෙමි. ඉන්පසුව වැලපුණෙමි.. නැවතත් ලිප්ස්ටික් ආලේප කරගත්තෙමි.

ඒ අන් අයට පේන්නට නොවේ. මා වෙනුවෙනි.. මා හොදින් ජීවත් විය යුතුය. අන් අයට පේන්නට නොවේ. මටම දැනෙන්නටය. මම මගේ බියෙන් මිදෙන්නට තීරණය කළෙමි. මට තිබුණු ලොකුම බිය “දික්කසාදය”යි.. මාව තව දුරටත් අනවශ්ය මිනිසෙකුට මා ලග ඉන්නට යැයි බල කිරීමෙන් පලක් නැත. මම ඔහුට නිදහස දුන්නෙමි. මගේ ඊලග බිය “අම්මා කෙනෙකු වෙන්නට නොහැකි වීම” ය. ප්රශ්නයක් නැත. අම්මා කෙනෙකු නැති දරුවන් කොතරම් ලෝකයේ ඉන්නවාද.? මම ඔවුන් අතරින් කෙනෙකුට “අම්මා” වීමි. මගේ පුතා මා ලගට ආවේ එලෙසය. මගේ ඊලග “බිය” මිනිසුන්ට මුහුණ දීමය. මා මේ තත්වයෙන් සිටිනු කිසිවෙකු දකිනවාට මගේ කැමැත්තක් තිබුණේ නැත.. එහෙත්.. මම අද මෙතැන සිටිමි.. දවස ගාණේ මිනිසුන් ලක්ෂ ගණනකට මේ ජීවිතයේ ඇති වටිනා කම ගැන කියමි.. ජීවිතය එහෙමය.. එය ඉබේ ගොඩ නැගෙන්නේ නැත. ගොඩනගා ගත යුත්තේ අප විසින්ය…. මේ ඇගේ කතාවය. ඇය “පාකිස්ථානයේ යකඩ ගැහැණිය” හෙවත් මුනිබා මසාරිය. ජීවිතය මුළු මනින් බිද වැටී සදාකාලිකව රෝද පුටුවකට කොටු වුණු ඇය අද ලෝකයේ දහස් ගණනකට ජීවිතය ගොඩ නගා ගන්නට කියා දෙන දිරිිය ගැහැණියකි. ඇය අද දක්ෂ චිත්ර ශිල්පිණියකි. නිරූපිකාවකි. සමාජ ක්රියාකාරිණියකි. ධනාත්මක චින්තන දේශිකාවකි. එමෙන්ම ඇය අද පාකිස්ථානයේ එක්සත් ජාතින්ගේ තානාපතිනියයි…