Naifmvlog

Naifm vlog Gossip and News

ජපන් අධිරජ කිරුළට හිමිකම් කියනා ලැයිස්තුවේ

ජපන්නු හපන්නු බව කියැවෙන්නේ ය. අළු දූලි වී ගිය කලෙක වුව අළු ගසා නැඟිට ලෝකයට අභියෝග කරන්නට තරමට ජපන්නු සැබෑ හපන්නු බව ලෝකයට නොරහසකි. ජපනුන් හපන්කමින් ලොව පරදවන්නේ රට හදද්දීම විතරකැයි කියන්නට බැරිය. ජපන් අධිරජ පවුල වසර අවුරුදු හැත්තෑ එකක් තිස්සේ ලොව කිසිවකු ගතැයි සිතන්නට බැරි හරි අපූරු තීන්දුවක් වරින් වර ගනිමින් සිටින්නේය. සැබෑවටම නම් මේ අපූරු තීන්දුව ගන්නේ ජපන් අධිරජ පවුලේ කුමරියෝ ය. රාජකීයත්වය සහ ප්‍රේමය එක තැනකට එද්දී, තරාදියකට දමා නොකිරාම ප්‍රේමයම තෝරා ගැනීමේ ‘ආදරණීය තීරණය’ ගන්නට ජපන් කුමරියෝ දෙවරක් සිතන්නේ නැත. මේ ආදරණීය තීන්දුවේ අලුත්ම හිමිකාරිය අයාකෝ කුමරියයි. අයාකෝ හෙවත් තකමඩෝ හි අයාකෝ කුමරිය තමන්ගේ වගකීම්වලින් ඉසිඹු ගන්නට බලා සිටින වත්මන් අකිහිතෝ අධිරාජ්‍යයාගේ මුල්ම ඥාති සොහොයුරා වූ නොරිහිතෝ හෙවත් තකොමඩෝහි කුමරුගේ බාලම දියණියයි.

ජපන් අධිරජ කිරුළට හිමිකම් කියනා ලැයිස්තුවේ හත්වැනි තැන සිටි නොරොහිතෝ කුමරු හෘදයේ ඇති වුණු හදිසි ආබාධයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන ඇත්තේ 2002 අවුරුද්දේය. තවමත් 28 හැවිරිදි අයාකෝ කුමරිය, කුමරියකව සිටි අවසාන දවස ගෙවුණු ඔක්තෝබර් 29 වැනිදාය. දැන් ඇය අයාකෝ මොරියා මිස තකමඩෝහි අයාකෝ කුමරිය නම් නොවේ. ඒ රජකීයත්වයේ කිරුළට වඩා ප්‍රේමයේ කිරුළ තම හිසට වඩා ගැළපේ යැයි අෑ සිතූ නිසාය. රාජකීයත්වය උරුමයෙන් ලැබූ අයාකෝ, රාජකීයත්වයේ පහස ඕනෑ තරම විඳ ඇත්තියකි. අෑ උගෙන ඇත්තේ පවා රාජකීයයන් සහ වංශාධිපතුන් වෙනුවෙන්ම තැනුණු පාසලකය. උසස් උධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජපානයෙන් පිටව ගිය ඇය ජසායි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කර ඇත්තීය. ඇය දැනට වැඩිදුර අධ්‍යයන කටයුතු සිදු කරන්නේ ද රැකියාව කරන්නේද එහිමය.

අයාකෝට 2017 අවුරුද්දේ සිය ප්‍රේමය මුණගැසෙන්නේ මිතුරු වෙසිනි. මොරියා පවුල හමුවී ඇත්තේ අයාකෝගේ මවට එනම් හසිකෝ කුමරියටයි. රාජ්‍ය නොවන සංවිධානයක කටයුත්තකට දායක වී සිටිනා අතරේ හසිකෝ කුමරියට මුණ ගැසී ඇති මොරියා මහතා හා ඇගේ කිට්ටුවන්ත මිතුදමක් ඇතිවී ඇත්තේ ඉතා ඉක්මනිනි. අයාකෝ සහ කේ. මොරියා මුණගස්සවන්නේ මේ දැන හඳුනා ගැනීමයි. “මම දන්නේ නැහැ අපි දෙන්නව මුණ ගස්සවද්දී මගේ අම්මාගේ හිතේ මොනවගේ අදහසක් තිබුණාද කියලා. ඒත් මුල්ම හඳුනා ගැනීමෙන් පස්සේ අපි නිතර නිතර මුණ ගැහෙන්න පටන් ගත්තා. අපේ ජීවිත මතකයන් රසවත් අත්දැකීම් බෙදා ගත්තා. ගොඩක් දේවල් කතා කළා. අපි ඒ විදියට ඇසුරු කරද්දී මට දැනුණා අපි අපිටත් නොදැනීම එකිනෙකාට ආකර්ෂණය වෙන බව” අයාකෝ සිය ප්‍රේමයේ ඇරැඹුම ගැන අද කියන්නීය. “මගේ හිත දැන් සතුටින් පිරිලයි තියෙන්නේ” අයාකෝ විවාහ වන්නට ගත් තීරණය ගැන දැන් කියන්නීය. ඇගේ සැමියා නම් කියන්නේ හිතවත්කමක් ප්‍රේමයක් කරවන්නට තරමේ වූ සමානකමක් දෙදෙනාටම තිබුණු බවය.

“අපි දෙන්නාටම නිතර කතා කරන්න පුළුවන් එක සමාන අත්දැකීමක් තිබුණා. ඒ තමයි 2015 අවුරුද්දේදී මගේ අම්මා සහ 2002 අවුරුද්දේදී ඇයගේ පියා අහිමි වී තිබීම. ඒ අහිමි වීම් නිසා අපේ හිත්වල තිබුණු වේදනාවන් ගැන අපි නිතරම කතා කළා. ඒ වේදනාවන් බෙදා ගත්තා. ඒ හැඟීම අපිව කිට්ටු කළා.” නාවුක ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතුවල නියුතු අයාකෝගේ සැමියා කියන්නේ ඒ ප්‍රේමය වේදනාවෙන් උපන්නක් බවයි.”මට තේරුණා ඇයට වුවමනා වෙලා තියෙන්නේ ඇගේ ජීවිතේ ඉදිරි කාලය මාත් එක්ක ගත කරන්න කියලා.” අයාකෝගේ සැමියා කියන්නේ ඇයට රාජකීයත්වයට වඩා ප්‍රේමය වටිනා බව වටහා ගෙනයි. අයාකෝ සාමාන්‍ය ජපන් වැසියකු සිය අනාගත සැමියා ලෙසින් තෝරා ගත්තේම සැමියා වෙනුවෙන් සිය රාජකීයත්වය අතැර දැමීමට සිදුවන බව දැන දැනමය. ඇගේම වැඩිමහල් සොයුරිය නොරිකෝ, ආගමික ප්‍රධානී පවුලක අයකු වූ කුනිමරෝ සෙන්ගේ හා විවාහ වී රාජකීයත්වයෙන් අෑතට ගියාය. ඒ 2014 අවුරුද්දේ ඔක්තෝබර් අට වැනිදාය.

රාජකීයත්වය අමතක කර ප්‍රේමය තෝරා ගන්නට ජපන් කුමරියන් ගත් තීන්දුවලින් වඩා වැඩි කතා බහට ලක්වූ තීන්දුව ගෙන තිබුණේ වත්මන් අධිරජඅකිහිතෝ ගේම දියණිය සයාකෝ කුමරියයි. සිය සොහොයුරාගේ මිතුරකු වූ යොෂිකී කුරෝඩා නම් නගර නිර්මාණ ශිල්පියා හා විවාහ වූ ඇය 2005 අවුරුද්දේ නොවැම්බර් 15 වැනිදා සිය රාජකීයත්වය අතැර ගියේ කිරුළට ළඟම නෑකම ඇතිව සාමාන්‍ය ජපන් පුරවැසියකු හා විවාහ වූ පළමු වැන්නිය ලෙසය. අවුරුදු 2000කටත් වඩා අතීතයකට ඇදී යන ලෝකයේ දැනට පවතින පැරැණිතම අධිරජ පෙළපත ලෙස සැලකෙන ජපන් අධිරජ පෙළපත මේ සිය කුමරියන් අහිමිකර ගන්නේ සාම්ප්‍රදායික බැඳීමක් නිසා නම් නොවේ. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමෙරිකා එක්සත් ජනපදයට යටත් වන්නට තරම් පසුබැසි ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවමනාවට සකසා සම්මත කර ගත් නීතියක් ජපන් අධිරජ පවුලට මේ ඉරණම අත්කරදී ඇත්තේය.

අද වන විට ජපන් අධිරජ පවුල ඉම්පිරියල් මන්දිරයේ තරමටවත් නොගැළපෙන තරමට කුඩා කර ඇති මේ අවාසනාවන්ත නීතිය 1947 තරම් අතීතයේ එවකට සිටි ජපාන පාලකයන්ගේ කැමැත්තද ඇතිව සම්මත වූවකි. ජපන් අධිරජ පවුල පවත්වාගෙන යෑම සහ කිරුළේ හිමිකම ඉදිරියට ගෙන යෑම සම්බන්ධ මේ නීතිවලින් කියැවෙනා ලෙසට ජපන් රජ පවුලේ කිසිදු කාන්තාවකට අධිරජකම ලබා ගන්නට බැරිය. මේ අවාසනාවන්ත නීතිය ජපන් අධිරජ පවුලට කෙතරම් අවාසනාවන්ත වීද යත් මේ පවුලේ පුතුන් ගණන දෙතුන් දෙනකුට සීමා වී තිබීමයි. මේ වන විට 58 හැවිරිදි නරුහිතෝ කුමරු ඔටුන්න හිමි කුමරුය. ඔහුට දරුවන් ඇත්තේම නැත. 52 හැවිරිදි අකිෂිතෝ කුමරුට ඇත්තේ එකම පුතෙකි. තවමත් 12 හැවිරිදි අකිෂිතෝ කුමරුගේ පුත් හිසහිතෝ සැලකෙන්නේ ‘ජපන් අධිරජ පවුලේ අනාගත බලාපොරොත්තුව’ ලෙසයි. අකිහිතෝ වත්මන් අධිරාජ්‍යයාගේ 82 හැවිරිදි සොයුරු අකිහිත් කුමරු සිටින්නේ කිරුළ හිමි ලැයිස්තුවේ සිවුවැනි සහ අවසන් තැනය. අධිරජ පවුල පාලනය කරනා මේ නීතියෙන් ජපන් කුමරියන් තබා ඇත්තේ වඩාත් අවාසනාවන්තම තැනය. ඔවුන්ට කිසිදා කිරුළට හිමිකම් කියන්න බැරිය.

කිරුළට උරුමයක් නැති වීම කමක් නැතැයි සිතෙන්නේ විවාහය හා බැඳුණු අයාකෝ, නොරිකෝ සහ සයාකෝ කුමරියන් මෑතදී අත්විඳි අවාසනාවන්ත නීතිය නිසාය. ජපන් රජ කුමරියක් සාමාන්‍ය ජපන් වැසියකු හා විවාහ වුවහොත් ඔවුන්ට විවාහයත් සමඟම රාජකීයත්වය අහිමි වී යයි. එතැන් පටන් රාජකීය පෙළපත් නාමය අතැර දමා සැමියාගේ පෙළපත් නාමය ඇගේ නමට අෑ¼දා ගත යුත්තා සේම එතැන් පටන් ඇය සාමාන්‍ය ජපන් වැසියකුම පමණක් වන්නේය. මෙසේ රාජකීයත්වයට සමුදීම වෙනුවෙන් කුමරියන්ට රාජකීය පවුලෙන් මුදල්මය දීමනාවක් ලැබෙන අතර එයින් ඇය සහ ඇගේ සැමියා හොඳ මට්ටමක සැපවත් ජීවිතයකට යොමු කිරීම බලාපොරොත්තු වේ. අවසන් වරට රජ පවුල අතැර ගිය අයාකෝ කුමරියට මෙසේ ලැබුණු මුදල ඇමෙරිකා ඩොලර් නව ලක්ෂ පනස් දහසකි. කුමරියන් අරබයා මේ නීතිය පනවා ඇත්තේ රාජකීය ලේ නොමැති සාමාන්‍ය වැසියන්ට දාව කුමරියන්ට උපදින දරුවන්ගේ ලේ රාජකීයත්වය ලැබීමට නොගැළපේය යන අදහස නිසාය. කුමරියන්ට එසේ පැනවී ඇති නීතිය කුමාරවරුන්ට වලංගු වන්නේ නැත. කිරුළ හිමි කුමරකුට වුවත් සාමාන්‍ය කාන්තාවක හා විවාහ විය හැකි අතර ඒ විවාහයෙන් පිරිමි දරුවන් ලැබුණහොත් ඒ දරුවන් රාජකීයත්වයට ද උරුම කම් කියන්නේය.

කුමරුවන් සාමාන්‍ය කාන්තාවකගෙන් ලබනා දරුවන්ගේ ලේ මිශ්‍ර නොවන්නේ යැයි මේ නීති සම්පාදකයන් සිතුවා වන්නට ඇත. කුමරුවන්ට සහ කුමරියන්ට හැඳි දෙකකින් බෙදනා මේ නීතිය නිසා 1947 සිට අයාකෝ කුමරිය දක්වා මේ අධිරජ පවුලට අහිමිවී ඇති කුමරියන් ගණන නවයක් බවත් ඒ රාජකීය පවුලේම ලිපි ලේඛනවලින් කියැවෙන්නේය. වත්මන් අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමහල්ම මිනිබිරිය වන මකෝ හෙවත් අකිෂිතෝ කුමරුගේ දියණියද 2020 වන විට මේ නීති ප්‍රකාරවම රජ පවුල අතැර දමා යෑමට නියමිතය. ඒ ඇගේ විශ්වවිද්‍යාල ප්‍රේමය රාජකීයත්වයට වඩා වටිනා බවට ඇය ගත් තීන්දුව නිසයි. කුමරියන්ට උරුම මේ විවාහ නීතිය නිසා අයාකෝ කුමරියගේ සමු ගැනීමෙන් පසු ජපන් අධිරජ පවුලේ ඉතිරිවන්නේ 18 දෙනකු පමණි. 2020දී මොකෝ කුමරියද රාජකීයත්වයට සමුදුන් පසු තවත් කුඩා වන ජපන් අධිරජ පවුල අද සිටින්නේ සිය උරුමය ගෙනයා නොහැකි තරමේ අවාසනාවන්ත ඉරණමක් ඉදිරියේය.

1947දී ඇමෙරිකා එක්සත් ජනපදයේ වුමනාවට මේ නීතිය සම්මත වී ඇත්තේ ද ජපන් අධිරජ පවුල කුඩා කිරීමේ සහ ඒ වෙනුවෙන් වන වියදම අඩුකර දැමීමේ අරමුණ ඇතිවය. ඒ අරමුණ එදාටත් වඩා අද අවාසනාවන්ත ලෙසින් ඉටුවෙමින් තිබෙන්නේය. මේ වැටහීම නිසාදෝ එළඹෙන වසරේදී මේ නීති වෙනස් කිරීමේ සූදානමක්ද ඇතැයි කියැවේ. ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ බි්‍රතාන්‍ය රජ පවුල පවා සිය සම්ප්‍රදායන් සහ නීති රීතීන් වෙනස් කරමින් කුමරියන්ට රජ කිරුළේ අයිතිය පවා තහවුරු කර ඇති පසුබිමක ජපාන රාජකීයත්වය සිටින්නේ සැලකිය යුතු තරම් පසුපසිනැයි ඔවුන් තේරුම් ගැනීම නම් වටින්නේය. නීති වෙනස් කර හෝ තමන්ගේ ‘ලොකුම මිනිබිරිය’ රැක ගන්නට අකිහිතෝ අධිරාජ්‍යයාට වුවමනා වී ඇත්තා වන්නට බැරි නැත. මේ වසරේ පැවැත්වීමට තිබුණු මොකෝ කුමරියගේ විවාහය 2020 තෙක් කල් දමන්නට ඇත්තේ ඒ බලාපොරොත්තුවෙන් වන්නටම පුළුවන. ජපානය සම්ප්‍රදායන් ඉහළින්ම අගයන්නන් අතර සිටින්නේ ඉහළම තැනෙක බව රහසක් නොවේ. තාක්ෂණික ලෝකය ජයගෙන සිටිනා ජපානය සිය සාම්ප්‍රදායික අභිමානනීය අධිරජ පවුල රැක ගැනීම ඔවුන් යන වේගවත් ගමනට බාධාවක් නොව අභිමානයක්ම වනු ඇත.