Naifmvlog

Naifm vlog Gossip and News

එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත

සෙංකඩගල දළදා මැඳුර ඉදිකර ඇත්තේ නොසිඳෙන ජල විලක්‌ මතුපිටද? මහනුවර අද දැකිය හැකි ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරයේ ඉදි වූ පස්‌වැනි දළදා මාලිගාවයි. මීට පෙර තිබූ දළදා මාලිගා හතරක්‌ දිරාපත් වීම – පරසතුරු ආක්‍රමණ නිසා විනාශ වී ඇත.

  1. අද මහනුවර දක්‌නට ඇති එම නගරයේ ඉදිවූ පස්‌වැනි දළදා මැඳුර පිහිටි ස්‌ථානය ඉතා වැදගත් වෙයි. නගරයේ ඉහළම බිම්කඩ මේ අවට පැතිර ඇත. උඩවත්තකැලේ රාජකීය තහංචි කැලේ මායිමේ එය ඉදිවිය. එදා උඩවාසලවත්ත තහංචි කැලේ ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ අතර ඒ බහිරවකන්ද – ගන්නෝරුව කන්ද හරහා හන්තාන කැලෑවට ද අනෙක්‌ පැත්තෙන් ලේවැල්ල – පල්ලේකැලේ සිට රන්දෙණිගල තෙක්‌ පැතිරී ගිය පල්ලේකැලේ කැලෑවට ද සම්බන්ධ වී එකම වනරොදක්‌ ලෙස පැතිර තිබුණි. ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සඳහා නගරය අවට වනාන්තර එළිකරන ලදුව එකම වනාන්තර විනාශ වී තැනින්තැන කුඩා වනරොදවල් ඉතිරි විය. නගරය ශීඝ්‍ර ලෙස ජනාවාස වීම නිසා ඉතිරිව තිබූ වනරොදවල් ද මිනිස්‌ ජනාවාසවලට යට විය.
  2. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත කැලෑවෙන් ගලා ආ සීතල – පිරිසිදු ජල උල්පත් රජවාසලේ – දළදා මාලිගාවේ සතර දේවාල හා නගරයේ අවශ්‍යතා සඳහා භාවිත විය.
  3. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත රක්‌ෂිතයෙන් ගැලු ඖෂධීය ගුණයෙන් යුතු සීතල ජලය යොදාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 – 1815) දේවේන්ද්‍ර මුලාචාරියා ප්‍රධාන ශිල්පීන් යවා රජු හා රජ බිසවුන්ගේ දියනෑම සඳහා උල්පැන් පොකුණ දළදා මැඳුර ඉදිරිපිට ඉදි කළේය. ක්‍රි. ව. 1815 ඉංග්‍රීසීන් මේ වනසන ලදුව යළිත් ක්‍රි. ව. 1828 ටර්නර්ගේ සැලැස්‌මක්‌ අනුව උල්පැන් පොකුණ බදාමවලින් වසා ඒ මත කළු ගල් – ගඩොල් – දැව මිශ්‍ර දෙමහල් දැවැන්ත පුස්‌තකාලයක්‌ ඉදිකර ඇත. එය ක්‍රි. ව. 1857 විවෘත කරන ලදී. ඉංග්‍රීසීන් වසා දැමූ එම උල්පැන් පොකුණ දෙමහල් පුස්‌තකාලය එසේ ම තිබියදී මෑත කල සංස්‌කෘතික ත්‍රිකෝණය මඟින් යළිත් සාරා මතුකර ඇත. මෙම උල්පැන් පොකුණ ඒ අනුව අඩි 30 ක්‌ පමණ දිග අඩි 20 පමණ පළල අඩි 6 පමණ ගැඹුරු කැටයම් සහිත එකක්‌ විය.
  4. අම්පිටිය කඳුවලින් ඇරැඹී ගලා ආ හීල්පැන්කඳුරට දුනුමඩලාව හෙවත් වාකරේ කඳුවලින් ගලා ආ ජලධාරාව ද එකතු වී අද බෝගම්බර කිරිමුහුද පිහිටි බිමේ එදා එයට පෙර පැවති ටිගොල්වෙල වෙල්යාය මැදින් හීල්පැන්කඳුර ගලා අවුත් එහි රොන්මඩ සහිත ජලය මහමළුව පහළ කොටසේ තැන්පත් කරමින් දළදා මාලිගාව නාථ දේවාලය දෙසට ගලා ගියේය. මහමළුවේ පහළ කොටසේ හීල්පැන්කඳුරෙන් ගලා ආ සරුසාර පස තැන්පත් වී වගුරු බිමක්‌ නිර්මාණය වී තිබූ අතර මෙම වගුරු බිම “අලකොළේ” යන නාමයෙන් ප්‍රසිද්ධව ඒ වගුරුබිම මත අලකොළ යායක්‌ වැවී පැතිරී තිබුණි. මේ අලකොළ යාය මුල් කොටගෙන “රාජාවලිය” පැරැණි පිටපතක බෝගම්බර කිරිමුහුද “අලකොළ වැව” යනුවෙන් හඳුන්වා ඇත.
  5. අද දළදා මාලිගාව ඉදිරිපිට දක්‌නට ඇති දියඅගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 – 1815) දේවේන්ද්‍ර මුලාචාරියා ලවා කරවූවකි. එදා එය දළදා මාලිගාවේ සිට දැනට විනාශව ඇති බොරවැව දක්‌වා දිය අගල දිගේ බොරවේ වීදිය ඔස්‌සේ සැතපුම් කාලක්‌ පමණ දුරට ගලා ගියේය.
  6. අද දළදා මැඳුර ඉදිරිපිට ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූ දිය අගලට පෙර දළදා මැඳුර ඉදිරිපිට පැරැණි දිය අගලක්‌ තිබී ඇත. උඩවත්තකැලෙන් ගැලූ ජල උල්පත් හා මහමළුව හරහා ගලා ආ හීල්පැන්කඳුරේ ජලය එකතු වී මෙම පැරැණි දියඅගල දළදා මැඳුර ඉදිරිපස සිට බොරවැව දක්‌වා ගලාගිය බව සිතිය හැක.
  7. එදා දළදා මැඳුර – සෙංකඩගල නගරය වටා කඳුහෙල් – වනාන්තරවලින් පිරී තිබූ නිසා නගරයේ ගලාගිය දිය ධාරා වැඩිවිය. ඒවා පවිත්‍ර විය. කැලෑ විනාශය සමඟ ජල උල්පත් ද විනාශ වන්නට විය.
  8. සෙංකඩගල නගරය මුලින්ම බිහිවූයේ ගමක්‌ වශයෙනි. ඉන්පසු යුද බලකොටුවක්‌ වශයෙනි. “අස්‌ගිරි තල්පත” හා “අස්‌ගිරි උපත” අනුව කුරුණෑගල හතරවැනි පරාක්‍රමබාහු රජු කල (ක්‍රි. ව. 1310 – 1325) මෙම බලකොටුව එම රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධනප්‍රතිරාජ විසින් ක්‍රි. ව. 1312 යුද බලකොටුවක්‌ ලෙස ඉදිකර ඇත.
  9. ගම්පළ අගනුවර ව පැවති අවධියේදී ගම්පළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ (ක්‍රි. ව. 1356 – 1371) විවේකය ගතකිරීම සඳහා සන්සුන් ප්‍රියංකර පරිසරයක්‌ තිබූ සෙංකඩගල මුලින්ම නගරයක්‌ ලෙස දියුණු කර ඇත. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු මෙම නගරය ඉදිකළේ සුබ නක්‌ෂත්‍ර යෝගයක්‌ අනුවයි. නගරය සෑදීමට බිම කණින විට සුදු ඉදිබුවකු මතු වූයේ වාසනාවේ සංකේතයක්‌ ලෙසිනි. මෙම සුදු ඉදිබුවා තුන්වැනි වික්‍රමබාහු රජු විසින් පොකුණක්‌ සාදවා එයට දැමූ බව කියෑවෙයි. මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ දිගු කලක්‌ පැවති අතර පසුකල එය මත වර්තමාන දළදා මැඳුර ඉදි වූ බව එක්‌ අදහසකි. තවත් අදහසක්‌ අනුව මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ වර්තමාන බෝගම්බර කිරිමුහුද සෑදීමේදී එයට එක්‌ වී ඇත.
  10. සෙංකඩගල කල ලියෑවුණු “නිදන් වදුළ” ග්‍රන්ථය අනුව දළදා මැඳුර සෑදීමේදී ඒ යට වටිනා වස්‌තුව – ඖෂධ – බලගතු ද්‍රව්‍ය යටකර ඇත. ඒවා එම ස්‌ථානයේ ආරක්‌ෂාව සඳහාය.
  11. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු කල ඉදිකළ සුදු ඉදිබුවා සහිත කුඩා පොකුණ මත වර්තමාන දළදා මැඳුර ඉදිවුවා ද නැත්නම් උඩවත්තකැලේ කැලෑවෙන් ගලා ආ සීතල පවිත්‍ර ඖෂධීය ජලය පිහිටි ස්‌වභාවික කුඩා විළක්‌ මත දළදා මැඳුර ඉදිකළා විය හැක.
  12. දැන් ඇති පස්‌වැනි දළදා මැඳුර මුලින්ම මෙහි ඉදිකළේ කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. (ක්‍රි. ව. 1707 – 1739) ඒ එම ස්‌ථානයේ ආරක්‌ෂාව සඳහාය. ඒ පිළිබඳ දිගු විස්‌තරයක්‌ චූලවංශයේ දැක්‌වෙයි. බලගතු ආරක්‌ෂක ද්‍රව්‍ය නිදන් කොට ස්‌වභාවික ජල තටාකයක්‌ මැද මෙම දළදා මැඳුර නිර්මාණය කර ඇත.
  13. ඕලන්ද ජාතිකයන් විසින් ක්‍රි. ව. 1765 වෑන් ඊක්‌ එල්ල කළ ඕලන්ද ප්‍රහාරයකින් දළදා මැඳුරට විශාල හානියක්‌ සිදුවිය. මේ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු(ක්‍රි. ව. 1747 – 1782) ඕලන්දයන් විනාශ කළ දළදා මැඳුර නැවත මුළුමනින් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක්‌ ගත්තේය. යළි දළදා මැඳුර විවෘත වූයේක්‍රි. ව. 1770 වෙසක්‌පුර පසළොස්‌වක දා ය.
  14. මේ නිසා සමහර මූලාශ්‍රවල මෙම දළදා මාලිගාව කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බව සටහන් වෙයි. ඒ අර දීර්ග ප්‍රතිසංස්‌කරණය නිසාය.
  15. එහෙත් “ශ්‍යාමෝසම්පදාවත” ග්‍රන්ථය කියනුයේ ඕලන්දයන් වැනසූ පැරැණි දළදා මැඳුර අසල කීර්ති ශ්‍රී රාජසිංහ රජු අලුත් දළදා මැඳුරක්‌ ඉදිකොට ඕලන්දයන් වැනසූ දළදා මැඳුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු යළි ඉදිකළ අතර ඒ අසලම අලුත් දළදා මැඳුරක්‌ කරවා දළදා හිමි පැරැණි දළදා මැඳුරෙන් ක්‍රි. ව. 1770 දළදා හිමි අලුත් දළදා මැඳුරට වැඩමවා ඇත.
  16. ස්‌වභාවික විළක්‌ මැද ඉදි වූ දළදා මැඳුරේ අවට පරිසරය කැලෑ එළිවී ජනාවාස වී තෙත් බව සිඳී වියළි විය. පැරැණි ස්‌වභාවික විල් තලාව ඇත්තේ දළදා මැඳුරට යටපත්වය. දළදා මැඳුරේ මුළුතැන්ගෙය පැත්තේ කැණීම්වලදී මතු වූ ගල් කැටයම් පැරැණි ගොඩනැඟිලි කොටස්‌ කැටයම් කොටස්‌ උල්පැන්පොකුණ පැත්ත ඉදිරියේ ප්‍රදර්ශනයට තබා ඇත. එහි අඩි 15 පමණ ගැඹුරු ජලය සහිත ළිඳක්‌ දැකිය හැක. මෙම ළිඳේ ජල මට්‌ටම දළදා මැඳුරට යටවූ ස්‌වභාවික විල් තටාකයේ ජල මට්‌ටම අනුව පවතින බව පිළිගැනෙයි. වෙනත් වචනවලින් කිවහොත් දළදා මැඳුර ඉදිකර ඇති පැරැණි ස්‌වභාවික ජල තටාකයේ ජලය දළදා මාලිගාවේ මුළුතැන්ගෙය පැත්තෙන් අද දැකිය හැකි පැරැණි ළිඳෙන් මතුවෙයි.