Naifmvlog

Naifm vlog Gossip and News

ගුවන් ඉතිහාසයේ අසීරුම දිවි ගලවා ගැනීමේ මෙහෙයුම

මේ දිනය ආරම්භ වුණේ ඉතාම සාමාන්‍ය දිනයක් ලෙසයි. ඉර හොඳින් පායා තිබූ අතර අහස නිල් පාටට තිබුණි. සිහින් සුළඟක් හමා යමින් තිබූ අතර සියලුම දේ සාමකාමී අයුරින් පැවතුනී. උදේ 9: 45 ට ඔහායෝ, ඇක්‍රොන් හි 23 හැවිරිදි නාවික දෙවන ලුතිනන්වරයෙකු වන වෝල්ටර් ඔසිපොෆ් පැරෂුට් පැනීමක්‌ සඳහා ඩීසී -2 ප්‍රවාහනයකට ගොඩ විය. නිව් ඕර්ලියන්ස් හි 34 හැවිරිදි නාවික හමුදා පරීක්ෂණ නියමුවෙකු වන ලුතිනන් බිල් ලෝරි ඒ වන විටත් සිය නිරීක්ෂණ යානය එහි වේගයෙන් ගමන් කරවමින් සිටියේය. මොන්ටානා හි ජෝර්දානයේ සිට පැමිණි 41 හැවිරිදි ගුවන් ප්‍රධාන යන්ත්‍රෝපකරණ ශිල්පියෙකු වන ජෝන් මැකාන්ට්ස්, ඔහු පසුව පියාසර කිරීමට නියමිත ගුවන් යානය පරීක්ෂා කරමින් සිටියේය. නමුත් ඔවුන් තිදෙනා නොදැන සිටි කාරණය නම් එදින මධ්‍යහ්න හිරු උදාවීමට පෙර, ඉතිහාසගත වන ගුවන් ගලවාගැනීමේ මෙහෙයුමකට ඔවුන් තිදෙනා සම්බන්ධ වන බවයි. ඔසිපොෆ් යනු පළපුරුදු පැරෂුට් නියමුවෙකි. ඔහු හිටපු විද්‍යාලීය මල්ලවපොර හා ජිම්නාස්ටික් තරුවකි. ඔහු 1938 දී ජාතික ආරක්ෂක බළකායට හා පසුව නාවික භටයන්ට බැඳී ඇත. ඔහු 1941 මැයි 15 වන විට පැනීම් 20 කට වැඩි ප්‍රමාණයක් කර තිබුණි.එදින උදෑසන ඔහුගේ ඩීසී -2 ගුවන් ගත වී කර්නි මේසා(Kearney Mesa) බලා පිටත් විය. එහිදී ඔසිපොෆ් ඔහුගේ මිනිසුන් 12 දෙනෙකුගේ පුහුණු පැනීම් අධීක්ෂණය කිරීමට නියමිත විය. එහි කොටසක් ලෙස උණ්ඩ සහ රයිෆල් අඩංගු වෙනම කැන්වස් සිලින්ඩර තුනක් පැරෂුට් මගින් පහලට දැමීමට නියමිතව තිබුණි.

ඔසිපොෆ් විසින් ගුවන් යානයේ දොරටුවට අඟල් කිහිපයක් මෙහායින් සිට, අවසන් කාර්ගෝ කන්ටේනරය පහලට දැමීමට සූදානම් වන විට ඔහුගේ මිනිසුන් 9 දෙනකුම පැනීම සිදු කර හමාරය. කෙසේ හෝ ඔහුගේ පිටේ බැඳ තිබූ පැරෂුටයේ ස්වයංක්‍රීයව මුදා හැරීමේ ලණුව සිලින්ඩරය සමග ඇමිණී තිබූ අතර ඔහුගේ පැරෂූටය හදිසියේම විවෘත විය. ඔහු වේගයෙන් පිම්බෙන පැරෂුටයේ සිල්ක් රෙද්ද අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් ඊළඟ මොහොතේදී කිසිවක් සිතීමටත් පෙර ඔහු යානයෙන් ඉවතට විසි වී ගියේය. එහි ප්‍රබලතාව කෙතෙක්ද යත් ඔහු ගුවන් යානයෙහි ඝට්ටනය වීමත් සමග ගුවන් යානයෙහි ඇළුමිනියම් බඳෙහි අඩි දෙකහමාරක් දිගු සීරීමක් ඇති විය. ඉන්පසු නිදහසේ පා වීම වෙනුවට ඔහුගේ විවෘත පැරශුටය ගුවන් යානයේ පිටිපස රෝදයෙහි පැටලී තිබුණි. පැරශුටයේ පපුව හරහා සහ කකුල හරහා බැඳෙන පටි දෙකක් කැඩී ගොස් තිබූ අතර එක් කකුලක් හරහා බඳින පටියක් පමණක් ඉතිරි වී තිබුණත් එයත් ඔසිපොෆ් ගේ වළලුකර තෙක් ලිස්සා ගොස් තිබුණි.ඔහුගේ ඇඳුමේ පටි සහ පැරෂුටය අතර පටි 28 න් 24 ක් එකින් එක කඩා වැටුණි. ඔහු මේ වන විට යානයට අඩි 12 ක් පහළින් සහ අඩි 15 ක් යානයේ වලිගයට පිටුපසින් එල්ලී සිටියේය. ඔහුගේ වම් කකුල වටා ඇඹරුණු පැරෂුට් ආවරණ පටි හතරක් පමණයි ඔහුගේ බර දරාගෙන ඔහු පොළොවට ඇද වැටීමෙන් වළක්වමින් තිබුණේ.

මෙසේ උඩු යටිකුරුව එල්ලෙමින් සිටියදීත් ඔහුගේ හදිසි පැරෂුටය මුදා හැරීමට උත්සාහ නොකිරීමට තරම් ඔසිපොෆ්ට ප්‍රමාණවත් සිහියක් තිබුණි. යානය ඔහුව එක් පැත්තකට අදිමින් සහ හදිසි පැරචූටය ඔහු තවත් පසෙකින් අදිමින් සිටියදී, එය මුදා හැරීමෙන් ඔහු දෙකට ඉරා දැමෙනු ඇති බව ඔහුට වැටහුණි. ඔහු එක කකුලකින් එල්ලී සිටින බවත්, අහසේ කැරකෙමින් පැද්දෙන බවත් ඔහු දැන සිටියේය. ඔහුගේ ඉළ ඇට(පර්ශු) රිදෙන බව ඔහුට දැනුනත් ඒ වනවිටත් ඉළ ඇට දෙකක් සහ කශේරුකා තුනක් කැඩී ඇති බව ඔහු දැන සිටියේ නැත. මේ අතර DC -2 යානයේ සිටි පිරිස විසින් ඔසිපොෆ්ව ඇතුලට ඇද ගැනීමට උත්සාහ කළත් ඔවුන්ට දොර ළඟ සිට යානයේ කෙළවර එල්ලෙමින් සිටි ඔහු වෙත ළඟාවීමට නොහැකි විය. මේ වන විට යානයේ ඉන්ධන අවසන් වෙමින් තිබුනත්, හදිසි ගොඩබෑමක් කිරීමට නොහැකි වුයේ එය සිදුකිරීමෙන් අනිවාර්යයෙන්ම කෙළවර එල්ලී සිටින ඔසිපොෆ් මරණයට පත්වන බව ඔවුන් දැන සිටි නිසයි. එසේම නියමු හැරල්ඩ් ජොන්සන්ට ඒ වන විට පොළව සමඟ ගුවන් විදුලි සම්බන්ධතාවයක්ද නොතිබුණි. පහල මිනිසුන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මේ නිසා ජොන්සන් විසින් යානය අඩි 300ක්‌ පමණ පහත්කර අහසේ සෙමෙන් කැරකවීමට පටන් ගත් අතර, බලාපොරොත්තු වූ ලෙසම මූලස්ථානයේ සිටි අය ගුවන්යානය සෑම මිනිත්තු කිහිපයකට වරක්ම පහළට පැමිණ මෙසේ කිරීම ඔවුන්ගේ ඉලක්ක පුහුණුවේම කොටසක් ලෙස සිතීය.

මේ අතර තමාගේ ගුවන් යානය ගොඩ බස්වා නැවත කාර්යාලය දෙසට ඇවිද යමින් සිටි බිල් ලෝරි නිකමට මෙන් අහස දෙස බැලූවේය. ඒ සමගම අසල වැඩ කරමින් සිටී ජෝන් මැක් කාන්ට් සහ බිල් දෙදෙනාම අහසේ පා වෙන ගුවන් යානය සහ එහි කෙළවර එල්ලෙමින් සිටින මිනිස් රුව දුටුවහ. DC -2 යානය නැවත පහත් වීමත් සමග බිල් මැක් කාන්ට් ට කෑගසා ඇසුවේ “අර යානයේ මිනිහෙක් එල්ලිලා ඉන්නවා. ඔයා හිතනවද අපිට ගිහින් ඔහු බේරා ගන්න පුළුවන් කියලා?” කියායි. ඊට පිළිතුර ලෙස මැක් කාන්ට් කියා සිටියේ “අපට උත්සාහ කරන්න පුළුවන්” යනුවෙනි.

තම ගුවන් යානය ගුවන් ගත කිරීමට සූදානම් කරන ලෙස ලෝරි සිය කාර්මිකයන්ට කෑ ගස අණ කළේය. එය SOC-1 වර්ගයේ, ආසන දෙකක, විවෘත-ඉදිරි හිසක්‌ සහිත, අඩි 27කටත් වඩා දිගින් අඩු, නිරීක්ෂණ ගුවන් යානයකි. පසුකාලීනව සිද්ධිය සිහිපත් කරමින් ලෝරි පැවසුවේ, “ඒ වෙලාවේ එහි කොපමණ ඉන්ධන තිබුණාද කියාවත් මම දැනගෙන හිටියේ නැහැ.” කියායි. මැක්‌ කාන්ට් වෙත හැරී ඔහු පැවසුවේ “අපි යමු!” යන්න පමණි. ලෝරි සහ මැක් කාන්ට්ස් මීට පෙර කිසිදිනක එකට පියාසර කර නොතිබූ නමුත්, කළ නොහැක්කක් කිරීමට උත්සාහ කිරීම එවෙලේ ඔවුන්ට තිබූ අභිප්‍රාය විය. සිද්ධිය පසුව සිහිපත් කරමින් ලෝරි පැවසුවේ, “එය පමණයි එවෙලේ ගැනීමට තිබූ එකම තීරණය. ඒ එල්ලෙමින් සිටි මිනිසා බේරා ගැනීම. නමුත් එය කරන්නේ කොහොමද කියා අප දැන සිටියේ නැහැ.මොකද සැලසුමක් නිර්මාණය කිරීමට තරම් කාලයක් තිබුණේ නැහැ.” යනුවෙනි. සැලසුමකට පමණක් නොව ඔවුන්ගේ අණ දෙන නිලධාරියාගෙන් පියාසර කිරීම සඳහා අවසර ගැනීමටවත් ඔවුන්ට කාලයක් නොතිබුණි. ඔහු කෙලින්ම කුළුනේ සිටී තැනැත්තාට පවසා සිටියේ ඔහුට කොළ සංඥාවක් ලබා දෙන ලෙසත් තමා එවේලේම ගමන් අරඹන බවත් පමණි. නමුත් අවසාන මොහොතේ ගුවන් යානය වෙතට දුව ආ තවත් නාවික නිලධාරියෙකු ලෝරිගේ උකුල මතට දඩයම් පිහියක් ගෙනත් තැබුවේ, එල්ලෙමින් සිටි ඔසිපොෆ්ගේ පටි බුරුල් කිරීමට එය අවශ්‍ය විය හැකි බව පවසමිනි.

SOC -1 යානය ගුවන් ගතවීමත් සමඟම සැන් ඩියාගෝ අසල සියලු කටයුතු නැවතුණු සෙයකුයි පෙනෙන්නට තිබුණේ. සාමාන්‍ය ජනතාව සහ ළමුන් වැඩ නවත්වා වහලවල් මතට ගොඩ වුනු අතර ඔවුන් මෙම අසීරු ගලවා ගැනීමේ මෙහෙයුම දෙස දෑස් අයාගෙන බල සිටියේ ගැහෙන හදවත් හා මුමුණන යාඥාවන්ද සමගිනි. මිනිත්තු කිහිපයක් ගත වන විට ලෝරි සහ මැක් කාන්ට්ස් අඩි 300 ක් ඉහළින් පියාසර කරමින් සිටි අනෙක් යානයේ පහලට ළඟා වූ නමුත්, ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහා සුදුසු නොවන ආකාරයට වාතයේ කැළඹිලි ගතියක් තිබුණි. යාන දෙක අතර ගුවන් විදුලි සංඥා හුවමාරු කරගත හැකි තත්ත්වයක් නොතිබුණු නිසා ලෝරි විසින් ජොන්සන්ට සංඥා කරමින් පැවසුවේ මීට වඩා වාතය නිශ්චල පැසිෆික් දෙසට පියාසර කර අඩි 3000ක්‌ දක්වා ඉහළට නංවන ලෙසයි. ජොන්සන් විසින් ඔහුගේ යානය සෘජු ගමන් මාර්ගයකට හරවා, කුඩා ගුවන් යානයේ වේගය වන පැයට සැතපුම් 100ක වේගයට ඔවුන්ගේ යානයේ වේගයත් අඩු කරන ලදී. ලෝරි, ඔසිපොෆ්ට සමාන්තරව, නමුත් ඔහුට තරමක් ඈතින් ගුවන් යානය ස්ථානගත කළ අතර, අනෙක් අසුනේ සිටි මැක් කාන්ට්ස් දුටුවේ ඔසිපොෆ් එක් කකුලකින් පමණක් එල්ලී සිටින බවත්, ඔහුගේ හිස් වැස්මෙන් පහලට රුධිරය වැගිරෙන බවත්ය. ලෝරි විසින් ඉතාමත් සෙමෙන් සහ ප්‍රවේශමෙන් ඔහුගේ යානය ඔසිපොෆ්ට ලං කල යුතු වූයේ තමාගේ යානයේ චලනයන් ඔසිපොෆ්ගේ සිරුරේ සෙමෙන් සිදුවන පැද්දීම් වලට අනුකූල වන පරිදිය. ඔහු වඩා ප්‍රවේශම් සහගත විය යුතු වුයේ අධික වේගයෙන් කැරකෙන තමන්ගේ යානයේ තටු වලට ඔසිපොෆ්ගේ සිරුර හසු නොවන පරිදිය.

කෙසේ හෝ අවසානයේ ඔහු තමන්ගේ යානයේ වම් පියාපත ඔසිපොෆ්ගේ සිරුරට යටින් පිහිටන පරිදි ස්ථානගත කළ අතර, තමන්ගේ අසුනෙන් නැගිට ගත් මැක් කාන්ට්ස් ඔසිපොෆ් දෙසට ඇදුනේ මහා සාගරයට අඩි 3000ක්‌ ඉහලින් සහ පැයට සැතපුම් 100ක වේගයෙන් ගුවන් යානා දෙක ගමන් කරමින් තිබියදීමය. මැක් කාන්ට්ස් ඇදී ඔසිපොෆ්ගේ බඳෙන් අල්ලාගත් වහාම ඔසිපොෆ් මැක් කාන්ට්ස්ගේ උරහිස් වටා දෑත් දමා ඔහුව තදින් අල්ලා ගත්තේය. මැක් කාන්ට්ස් විසින් කෙසේ හෝ ඔසිපොෆ්ව යානය වෙත ඇද ගත් නමුත් මීළඟට ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ගැටලුව වූයේ ඔහුව තබාගන්නේ කොහේද යන්නයි. මන්ද යත් ඔවුන්ගේ යානය අසුන් දෙකේ යානයක් වූ බැවිනි. ඔසිපොෆ් තවමත් පැරෂුට් පටිවලින් බැඳී සිටි අතර ඒවා ගලවා ගැනීමට පහසුවන පරිදි ලෝරි විසින් යානය තව ටිකක් අනෙක් යානයට ලන් කල විට මැක් කාන්ට්ස් විසින් කෙසේ හෝ ඔසිපොෆ්ව තව ටිකක් තමන් දෙසට ඇදගෙන ඔහුගේ හිස තමාගේ උකුලේ සිටින සේ ඔවුන්ගේ යානය හරහට ඔහුව රඳවා ගත්තේය. මැකාන්ට්ස්ට ඔසිපොෆ්ව අල්ලා ගැනීමට ඔහුගේ දෑත් දෙකම යොදා ගැනීමට සිදු වූ නිසා DC -2 යානයට ඔසිපොෆ්ව තවමත් බැඳ තබා තිබුණු පටි කැපීමට ඔහුට ක්‍රමයක් නැති විය. ඉන්පසු ලෝරි විසින් අධික ඉවසීමකින් සහ ප්‍රවේශමකින් යුතුව ඔහුගේ යානයේ හිස තව ටිකක් අනෙක් යානයට ලං කර, ඔහුගේ යානයේ ඉදිරිපස වේගයෙන් කැරකෙන තටු වල තියුණු තල, ඔසිපොෆ්ගේ පටි කපා දැමීමට යොදා ගත්තේය. මිනිත්තු 33ක් තිස්සේ ජීවිතය සහ මරණය අතර එල්ලෙමින් සිටි ඔසිපොෆ් අවසානයට නිදහස් විය.

නමුත් ඊළඟට නිදහස් වූ පැරශුටය ගැලවී පැමිණ ලෝරිගේ යානයේ සුක්කානම අසළ එතුණි. එමනිසා ලෝරිට සිදුවූයේ ඔසිපොෆ්ගේ සිරුරෙන් අඩක් යානයෙන් පිටත තිබෙන විට සහ පැරශුටය එතීමෙන් වැසුනු සුක්කානමක් සමග ඉතා අපහසුවෙන් පාලනය කර ගනිමින් යානය ගොඩ බැස්වීමටයි. නමුත් මිනිත්තු පහකට පමණ පසු ඔහු යානය ගොඩ බැස්වීමට සමත් වූ අතර, එතෙක් වේලා සිහිකල්පනාවෙන් සිටි ඔසිපොෆ් සිහිසුන් විය. නමුත් සිහිසුන් වීමට පෙර ඔහුට බිම සිටි නාවිකයන්ගේ ප්‍රීතිමත් අත්පොළසන් නාදයන් හා ප්‍රීති ඝෝෂා කන වැකිණි. පසුව, දිවා ආහාරයෙන් පසු ලෝරි සහ මැකාන්ට්ස් සිය සුපුරුදු රාජකාරි සඳහා ආපසු ගියහ. සති තුනකට පසු දෙදෙනාම වොෂිංටන් ඩී.සී. වෙත කැඳවන ලද අතර එහිදී නාවික ලේකම් ෆ්‍රෑන්ක් නොක්ස් විසින් “නාවික ඉතිහාසයේ වඩාත්ම දීප්තිමත් හා නිර්භීත බේරාගැනීමේ මෙහෙයුමක්” ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ට විශිෂ්ට පියාසර කුරුසය ප්‍රදානය කරන ලදී.

ඔසිපොෆ් ඊළඟ මාස 6ම රෝහලේ ගත කළේය. ඊළඟ ජනවාරියේදී, සම්පූර්ණ සුවය ලැබූ සහ පළමු ලුතිනන් තනතුරට උසස් වීමක් ලද ඔහු නැවත පැරෂුට් පැනීම ආරම්භ කළේය. අනතුරෙන් පසු ඔහු පළමු වරට පැනීමට නියමිතව සිටියදීත් ඔහු සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් සහ උද්යෝගිමත් ලෙස සිටියේය. නමුත් ඔහුගේ මිතුරන් නම් නිතර කනස්සලු විය. ඔවුන් වරින් වර පැමිණ ඔහුගේ සුවදුක් පරික්ෂා කළේය. එසේම බොහෝ දෙනා පළමුව පැනීමට ඉදිරිපත් වූයේ ඉන් පසු ඔහුට ඔවුන්ව අනුගමනය කළ හැකි බැවිනි. නමුත් සිනා සී එය ප්‍රතික්ෂේප කළ ඔසිපොෆ් කියා සිටියේ, “මේ මොකද? මම දන්නවා මට ඒක කරන්න පුළුවන් කියලා!” කියාය. පැවසූ අයුරින්ම ඔහු සාර්ථකද විය