Naifmvlog

Naifm vlog Gossip and News

මනස සහ කය ආශ්‍රයෙන් සාර්ථක ලෙස ප්‍රයෝජන ලබාගන්න උපක්‍රම

අතීතයේදී නම් එතරම් පිළිගැනීමට ලක් වුණේ නැතත්, වර්තමානය වන විට අපගේ කායික සෞඛ්‍යය කෙරෙහි මනසින් විශාල බලපෑමක් කළ හැකි බව විද්‍යාව විසින්ම පිළිගන්නවා. අපගේ මනස සහ කය ඉතා හොඳින් එකිනෙක හා සම්බන්ධ වී පවතින නිසා අපගේ මනස මගින් යම් කායික ක්‍රියාකාරකම් පාලනය කිරීමත්, යම් කායික ක්‍රියාකාරකම් නිසා මනසෙහි සිදුවන වෙනස්කම්ද තිබෙනවා. මේ නිසා අපි මේ කියන්නෙ මනස හා කය අතර ඇති සම්බන්ධය උපයෝගී කරගෙන ඔබට ජීවිතයේ විවිධ කටයුතු කිරීමේදී පහසුවක් ඇති කරගත හැකි පුංචි උපක්‍රම කිහිපයක්.

විවිධ රසකැවිලි,කෙටි කෑම වැනි දේවල් ආහාරයට ගැනීමේදී නවත්තන්න අපහසුයි වගේ නම් ඒ සඳහා පුංචි උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබගේ නුහුරු අත, ඒ කියන්නේ ඔබ දකුණත භාවිතා කරන කෙනෙක් නම් ඔබේ වමත, හෝ වමත හුරු කෙනෙක් නම් ඔබගේ දකුණු අත ආහාර ගැනීම සඳහා භාවිතා කරන්න. විද්‍යාඥයන්ට අනුව එමගින් ඔබගේ ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු කෙරෙනවා.

මීළඟ උපක්‍රමය නම් ඔබට විශ්වාස කිරීමටත් අපහසු වේවි. නමුත් මෙය විද්‍යාව මගින් ඔප්පු කර තිබෙනවා. ඒ තමයි ඔබට දත් කැක්කුමක් පවතින විට, කැක්කුම පවතින පැත්තේම අතේ මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල එකිනෙකට සම්බන්ධ වන පටලය අයිස් කැබැල්ලක් මගින් සම්භාහනය කිරීමෙන් ඔබගේ දත් කැක්කුමේ වේදනාව ඉතා වේගයෙන් පහව යන බව.

මේ උපක්‍රමය නම් මේ ලිපිය කියවන අධ්‍යාපනය ලබන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ තමයි විද්‍යාවට අනුව ඔබ අලුතෙන් යමක් ඉගෙන ගත් පසු ඒ වහාම ගැඹුරු නින්දකට වැටීමෙන්, එක දිගට පැය ගණනක් අවදි වී සිටිනවාට වඩා හොඳින් ඔබට ඒ ඉගෙන ගත් දෙය මතකයේ රැඳෙනවා.

මීළඟ උපක්‍රමය ටිකක් රසවත් උපක්‍රමයක්. ඒ තමයි ඔබ‍ට එක දිගට අවධානය යොමු කරමින් සිදු කළ යුතු කටයුත්තක් තිබෙනවා නම් එය කිරීමේදී චුයිංගම් එකක් සපන්න. විද්‍යාඥයන්ට අනුව චුවින්ගම් සැපීම මගින් ඔබගේ අවධානය දිගු වේලාවක් එක තැනක රඳවා ගන්න පුළුවන්.

ඔබ දුකෙන් හෝ ආතතියෙන් සිටින වේලාවක් තිබෙනවා නම් පැන්සලකට පුළුවන් ඔබට උදව් වෙන්න. මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ව්‍යාපෘතියකට අනුව ඔබගේ මුහුණේ සිනාසෙන ඉරියව්වක් නිර්මාණය කෙරෙන ආකාරයට පැන්සලක් හරහට කටින් රඳවා ගැනීමෙන්, ඔබට ඇත්තටම ප්‍රීතියක් දැනෙන නිසා දුක ආතතිය වැනි ඍනාත්මක සිතුවිලි පහව යනවා.

විභාගයේ දී ඉහළ ලකුණු අරගෙන සමත් වෙන්න කැමතිද? එහෙනම් විභාගයට කලින් කොලේකුයි පෑනකුයි අරගෙන ඔබට විභාගය ගැන තිබෙන බිය, ආතතිය, නොසන්සුන් බව ආදී සියලු හැඟීම් ඒ කොලේ ලියන්න. චිකාගෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමට අනුව විභාගයකට පෙර එසේ තමන්ගේ හැඟීම් ලියා තැබීමෙන් විභාගයෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්.

ඔබ‍ට ඇසෙන යමක් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට ඇති හැකියාවට, ඔබගේ කන්වලට නිතර ඇසෙන ශබ්ද හා ඝෝෂාකාරී බාධා කිරීම් මගින් බලපෑමක් ඇති වෙන්න පුලුවන්. නමුත් විද්‍යාවට අනුව කුඩා ළමුන් සහ වැඩිහිටියන් දෙගොල්ලන්ටම තමන්ගේ දකුණු කනෙන් වඩා හොඳින් ශ්‍රවණය වෙනවා.

ඔබ ඉඳහිට විදේශයන්හි සංචාරය කරන කෙනෙක්ද? එහෙනම් ඔබ දන්නවා ඇති කාලයක් එක රටක ඉඳ තවත් රටකට ගමන් කිරීමෙන් පසු ඔබට නින්ද නොයාම, වෙහෙස වැනි තත්ත්වයන්ට දින ගණනක් යනතුරු මුහුණ දීමට සිදුවන බව. මෙය සිදුවන්නේ රටෙන් රටට කාල කලාපයන් (Time zones) වෙනස් වන නිසා, එවන් වෙනස් කාල කලාපයන් දෙකක් අතරට ගුවනින් ගමන් කිරීම නිසයි. ඉතින් මෙය වළක්වා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය තමයි ඔබගේ ආහාර ගැනීමේ වෙලාව ක්‍රමවත් කිරීම. ඒ කියන්නේ ඔබ එක් රටක ආහාර ගැනීමට පුරුදු වී සිටි වේලාවන් වලටම ඊළඟ රටේදීත් ආහාර ගන්නා. ඒ කියන්නේ කාල කලාප වෙනස නොතකා, මේ රටේදී ඔබ උදේ නමයට උදෑසන ආහාරය ගැනීමට පුරුදු වී සිටියා නම්, ඊළඟ රටේදීත් උදේ 9ටම ආහාරය ගන්න.

ඕනෑම වැඩක් කිරීමේදී සාර්ථකවීමට අවශ්‍ය නම්, ඔබ ඒ වැඩේ කොටස් වලට කඩා ගත යුතු බවයි විශේෂඥයන්ගෙන් උපදෙස් ලැබෙන්නේ. ඒ අනූව යම් භාරදූර විශාල කාර්යයක් කිරීමට පෙර ඒ කාර්යය මුලික කොටස කීපයකට කඩා, ඒ එක් එක් කොටස ඉවර කිරීම කෙරෙහි ඔබගේ කාලය සහ අවධානය යොදවමින් කොටසින් කොටස සම්පූර්ණය කිරීමෙන් ඒ වැඩේ ඉතාම හොඳ සාර්ථක කරගන්න පුළුවන්.

ඔබගේ කාර්යයන් සාර්ථක කර ගැනීමට සහ ඔබගේ ඵලදායීතාවය වැඩි කරගන්න තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් කරන පරිදි උදෑසනින්ම අපි කැමතිම සහ ලේසිම කාර්ය පටන් ගන්නේ නැතුව, දවස ආරම්භ කරද්දීම අමාරුම, අකමැතිම වැඩේ පටන් ගන්න. නැත්නම් දවස ආරම්භයේදීම ඔබ කැමති ලේසි කටයුතු අවසන් කරලා වෙහෙසට පත්වූ පසු ඔබ කිසිසේත්ම අමාරු වැඩක් නැවත ආරම්භ කිරීමට කැමති වෙන්නේ නැති නිසා, ඒ වැඩේ දවසින් දවස කල් යාමයි සිදුවෙන්නේ. මේ නිසා විශේෂඥයන්ට අනුව වඩාත්ම හොඳම ක්‍රමය වන්නේ අමාරුම කාර්යයෙන් දවස පටන්ගෙන ඉන්පසු පහසු, ඔබ කැමති කාර්යයන් වලින් සැහැල්ලුවෙන් දවස අවසන් කිරීමයි. මේ පුංචි උපක්‍රම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? මේ ක්‍රම ඔබත් අත්හදා බලන්න. අනිවාර්යෙන්ම ඔබටත් ප්‍රතිඵලයක් තිබේවි.