Naifmvlog

Naifm vlog Gossip and News

දැරියකගේ ජීවිතය බේරා ගන්න තමන්ගේ ඇට මිඳුළු පරිත්‍යාග කල පාපන්දු ක්‍රීඩකයා

මිනිසුන් කියන්නේ තනිව ජීවත්විය හැකි සත්වයෙක් නෙවෙයි. එකිනෙකාට උදවු කරගෙන,සහයෝගයෙන් සමාජයක් ලෙස ජීවත් විය යුතු සත්ව කොට්ඨාශයක්. ඉතින් මෙසේ ජීවත් වීමේදී අපට එකිනෙකාගෙන් උපකාර පතන්න සිදුවෙන සහ තවත් අයෙකුට උපකාර කරන්න සිදුවෙන අවස්ථා තිබෙනවා. නමුත් තමාගේ සිරුරේ කොටසක් දන් දී උපකාරයක් කරනවා කියන්නේ ඉතාම අපහසු වගේම උතුම් ක්‍රියාවක්‌. අපි මේ කියන්න යන්නේ ඒ ආකාරයට තමාගේ සිරුරෙන් කොටසක් දන් දී කුඩා දරුවෙකුගේ ජීවිතය බේරාගත් මිනිසෙකුගේ කතාවක්.

අපි මේ කියන මිනිසාගේ නම මයික්‍ මුෂෝ. ඔහු පා පන්දු ක්‍රීඩකයෙක්. ඔහු තමන්ගේ ඇට මිදුළු පරිත්‍යාග කිරීමට තීරණය කරන විට ඔහු සිතන්න නැතුව ඇති, තමන් තව කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නවා වගේම ජීවිත කාලයටම මිතුරෙකුත් ඇතිකර ගනීවි කියලා. මීට වසර තුනකට පමණ පෙර මයික් විසින් ජාතික ඇටමිදුළු බැංකුවට ගොස් තමාගේ කම්මුල ඇතුල් පැත්තේ සෛල සූරමින් පරීක්ෂාවකට යොමුවන විට, තමන්ගෙ ඇටමිදුළු දන්දීමට සිදු වීම ගැන දෙවරක් සිතුවේ නැහැ. ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ පුහුණුකරු සහ සගයන් ඔහුගේ එම තීරණයට කැමැත්ත පළ කර ලියාපදිංචි වීම සඳහා ඔහුව උනන්දු කර තිබුණා.

“මම ලියාපදිංචි වෙන්න ගියා පමණයි. එයින් අදහස් වෙන්නේ නැහැ මට අනිවාර්යෙන්ම කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් කියලා. ඇතැම්විට මට මුළු ජීවිත කාලයම එම ලැයිස්තුවේ සිටින්නට සිදු වේවි. සමහරවිට මට කැඳවීමක් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්.” මධ්‍යම කනෙක්ටිකට් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වු මුෂෝ පැවසුවා. කෙසේ නමුත් මාස 6කට පසු ඔහුට කැඳවීමක් ලැබුණා. දැන් 21 හැවිරිදි වන මේ පාපන්දු ක්‍රීඩකයාගේ ඇට මිදුළු වර්ජිනියා හි රෝගියෙකු සඳහා ගැළපී තිබුනා. යනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඔහුට කාලය එළැඹී තිබුණා. ගියොත් ඔහුට අවධානමක් සහිතව රෝහලේ ඇඳක රැයක් පුරාවට සිහි නැතිව වැතිරී සිටීමට සිදු වෙනවා. “කොහොම වුනත් මම එක් වරම හා කිව්වා. නමුත් මගේ ලේ කුඩා කුප්පි 17ක්ම ගත්තට පස්සෙයි මට දැනුනේ ඒක ඇත්තටම සිදු වෙනවා කියලා” මුෂෝ පැවසීය.

මුෂෝ ඒ මොහොතේ නොදැන සිටි කාරණය නම්, තමාගේ ඇට මිදුළු ලබා ගන්නේ මාස 5ක්‌ වයසැති එලිනෝර් නම් කුඩා දැරියක් බවයි. ඇයට මාස 3 වනවිට හඳුනා ගත් දුර්ලභ ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගයක් තිබුණා. ඒ මාස 5ටම ඇය නිවසේ සිට රෝහලට ගමන් කිරීම හැරුණු කොට,ගෙයින් එලියට බැස තිබුනේ ඉතාම කලාතුරකින්. ඒ,සාමාන්‍ය මිනිසුන් හා ගැටිය නොහැකි තරමට ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසයි. දින, සති ගණන් ගත වනවිට ඇගේ තත්වය වඩාත් නරක අතට හැරී තිබුනා.”ඇට මිදුළු බද්ධ කිරීමකින් තොරව ඇයට ජීවත් විය නොහැකි වුනා. අපට තිබුණේ තෝරාගැනීම් දෙකක් පමණයි. එක්කෝ ඇයට ඇටමිදුළු බද්ධය සිදු කළ යුතුයි. එසේ නැත්නම් ළදරු අවධියේම මරණයට පත්වීම විඳ දරාගත යුතුයි.” එලිනෝර්ගේ මව ජෙසිකා පැවසුවා.

කෙසේ නමුත් ඇටමිදුළු බද්ධය සාර්ථක වේවි යැයි පුර්ණ විශ්වාසයක් තැබිය නොහැකි නිසා එලිනෝර්ගේ මවුපියන් ඇගේ ඇටමිදුලු බද්ධයෙන් පසු ඇයට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි ආකාරයේ දියුණුවක්වත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුනා. ඒ වෙනුවට සති කිහිපයකින් පසු වොෂින්ටන්හි ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයා ඔවුන් වෙත ලබා දුන්නේ ඇදහිය නොහැකි පුවතක්. මයික් මුෂෝගේ ඇට මිදුළු වලින් එලිනොර්ගේ තත්ත්වය වැඩි දියුණු වී පමණක් නොවේ, ඇයව සම්පූර්ණයෙන් සුව කර තිබුනා! ඇය ඉතාම හොඳින් ජීවත් වෙනවා. හැමෝටම එය පුදුමයක් වුණේ ඇය සිටි බරපතළ තත්ත්වය නිසයි. නමුත් එය ඇත්තෙන්ම සතුටුදායක සහනයක්.” මුෂෝ පැවසුවා. සැත්කමෙන් මාස කිහිපයක් ගත වන තුරු මුෂෝ මේ කිසි දෙයක් නොදැන සිටියේ, සාමාන්‍යයෙන් සිදුවන පරිදි පරිත්‍යාග කරන්නාගේ සහ ලබාගන්නාගේ අනන්‍යතා හෙළි නොකරන නිසයි. නමුත් එලිනෝර්ගේ දෙමව්පියන් විසින් තම දියණියගේ ජීවිතය බේරීම ගැන ස්තුති කිරීම සඳහා විද්‍යුත් තැපෑල හරහා මුෂෝට පණිවුඩයක් එවා තිබුණා.

මුලින්ම ඒ කුඩා ගැහැණු ළමයෙක් බව දැන ගනිද්දි මාව කම්පනයට පත්වුණා. එකක්, ඒ තරම් ළාබාල වයසකදී මෙවන් බරපතළ තත්ත්වයට මුහුණදීමට සිදුවීමත්, ඇයට ජීවත් වීමට ඇති එකම මඟ මගේ ඇට මිදුළු පමණක් බව දැන ගැනීමත් ඉතාම බරපතළ හැඟීමක්.” මුෂෝ පැවසුවා. නමුත් ඒ ඔවුන්ගේ අපූරු සම්බන්ධතාවයේ ආරම්භය පමණයි. මුෂෝ ඇගේ දෙමව්පියන්ගෙන් විමසූවේ ඔහුට ඇය සමග නිතර වීඩියෝ දුරකථන ඇමතුම් හරහා කතා කළ හැකිද යන්නයි. “නිතර ඇයට කතා කර, ඇගේ සුව දුක් විමසීමත්, ඇගේ දියුණු වීම සහ සුවය දෙස බලා සිටීමත්, ඇගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වීමත් ඉතාම අපූරු හැඟීමක්. දැන් ඇය ඉතාම නිරෝගී, අංගසම්පුර්ණ අවුරුදු දෙකක් වයසැති දැරියක්” මුෂෝ වැඩි දුරටත් පැවසීය.

එළිනොර්ද මුෂෝගේ ජීවිතයේ කොටසක් බවට පත්වී සිටියා. ඇය රූපවාහිනියේ විකාශනය වන ඔහුගේ පාපන්දු තරග සියල්ලම නැරඹූවා. ඇගේ සැත්කමෙන් අවුරුද්දකට පසු අගෝස්තුවේදී මුෂෝ විසින් ඇයට සහ ඇගේ පවුලට ඔහුගේ පාපන්දු තරගයක් සජීවීව නැරඹීමට වර්ජිනියාවේ සිට කනෙක්ටිකට් බලා පැමිණෙන ලෙස ආරාධනා කළා. මීළඟ නොවැම්බරයේදී ඇය ඔහුගේ ඉල්ලීම ඉටු කළ අතර මුෂෝගේ අංකය පිටුපස සටහන් කළ නිල්පැහැති පාපන්දු ජර්සියක් ඇය හැඳ සිටියා. ජර්සියේ ඉදිරිපස වූයේ ඔවුන් දෙදෙනාව සම්බන්ධ කළ ඇටමිදුළු සංවිධානයේ නම වූ “Be the match” යන්නයි.

ඒ වන විට ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වූ මුෂෝද ඔහුටම ආවේණික සංකේතයක් පැළඳ සිටියා. ඔහුගේ පාවහන්වල එලිනොර්ගේ නම මුද්‍රණය කර තිබිණි. ප්‍රේක්ෂකාගාරයෙන් “මයික්! මයික්!” යනුවෙන් හඬ නඟන කුඩා දැරියගේ හඬ මුල සිට අවසානය දක්වාම ඇසිනි. ඇය විසින් ඇගේම වීරයා වූ, අඩි 6යි අඟල් 2ක් උස සහ රාත්තල් 225ක්‌ බර මුෂෝව දිරිගන්වමින් සිටියේ එලෙසිනි. ඇය එහෙ මෙහෙ දුවමින් උඩ පනිමින් පිටිය දෙසට ඇඟිල්ල දිගු කර දෙමව්පියන්ට පෙන්වමින් මුෂෝ ක්‍රීඩා කරන අයුරු බලා සිටියා. ” ඔවුන් විසින් මට පසුව කුඩා එලිනෝර් ක්‍රීඩා පිටිය දෙසට ඇඟිල්ල දිගුකරමින් මා ක්‍රීඩා කරන අයුරු බලා සිටින ඡායාරූපයක් එවා තිබුනා. එයින් මා ඉතා සතුටට පත් වුනා. දැන් එය තමයි මගේ දුරකථනයෙ පසුබිමට යොදාගෙන තිබෙන්නේ.” මුෂෝ පැවසීය.

“මගේ දියණියගේ ජීවිතය බේරා ගත් තැනැත්තාට ස්තූති කර වැලඳගැනීමට මම මග බලාගෙන සිටියා. ඒ තමයි මම ජිවිතයේ සතුටින්ම ගත කල සති අන්තය. මං හිතන්නේ නැහැ මං ජිවිතයේ කවදාවත් ඒ තරම් හිනා වෙලා තියෙනවා කියලා.” ජෙසිකා පැවසීය. මීළඟට පැමිණියේ මුෂෝගේ වාරයයි. ඔහු විසින් මෙවර එලිනෝර්ගේ උපන් දිනය සැමරීම සඳහා කනෙක්ටිකට් සිට වර්ජිනියාව බලා පිටත් විය. “දෙමව්පියන් විදිහට තමන්ගේ දරුවාට අපි තරම්ම තවත් කෙනෙක් ආදරය කරනවා බලා සිටීම අපූරු හැඟීමක්. මුලින් අපි සම්පූර්ණයෙන්ම නාඳුනන අය. නමුත් දැන් අපි දෙගොල්ලන් එකිනෙකාගේ ජීවිත වල කොටසක් බවට පත් වෙලා.” ජෙසිකා වැඩි දුරටත් පැවසුවා.