Naifmvlog

Naifm vlog Gossip and News

පුරාණ ඊජිප්තුවේ සුප්‍රසිද්ධ භූත අඩවි

ඊජිප්තුව කියන විට අපට මතක් වෙන්නේ පාරාවෝ රජුන්, පිරමීඩ, මමී හා පුරාවස්තු ආදිය වන නමුත් අපි මේ ලිපියෙන් කියන්න සූදානම් වෙන්නේ ඒ දේවල් ගැන නම් නොවෙයි. අවතාර ගැනයි. ඔව්! ඊජිප්තුවේ දැනට වාර්තා වී ඇති අවතාර සහිත ස්ථාන 5ක්‌ ගැනයි අපි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ. ඔබත් අවතාර වලට බය නැති, සංචාරයට කැමති කෙනෙක් නම්, ඊළඟ වතාවේ ඊජිප්තුවට ගිහින් මේ ස්ථාන සහ ඒවායේදි බොහෝ මිනිසුන් දැක ඇති මේ අවතාර ඔබටත් දැක බලාගන්න පුළුවන්.

01. මහා පිරමීඩ   –  බොහෝ මිනිසුන් ප්‍රමාණයක් දැක තිබෙනවා 1920 දශකයේ ජනප්‍රියව පැවතුනු ඇඳුම් විලාසිතා වලින් සැරසුණු මිනිසෙක් සහ ඔහුගේ දරුවන් තිදෙනා යමක් සොයමින් ඊජිත්තුවේ සුප්‍රසිද්ධ පිරමීඩ අතර සැරිසරනවා. බොහෝ දෙනා පවසන්නේ එම දරුවන් තිදෙනාගේ මව, එහෙමත් නැත්නම් ඒ මිනිසාගේ බිරිඳවයි ඔවුන් මෙසේ සොයන්නේ කියලා. වඩාත්ම බියජනක සිද්ධිය වන්නේ මෙම විශාල පිරමිඩ වල ප්‍රෞඩ හිමිකරුවා වන කූෆු පාරාවෝගේ අවතාරයද දක්නට ලැබීමයි. ඔහු සාම්ප්‍රදායික පුරාණ ඊජිප්තු සන්නාහයකින් සැරසී වීදි වල සරණ අතර නිවැසියන්ට කතාකර ප්‍රදේශය අතහැර යන ලෙස පවසන බවයි වාර්තා වෙන්නේ. බොහෝ දෙනා පවසන ආකාරයට මිනිසුන් මියගිය පසු අවතාර බවට පත් වන්නේ ඔවුන් ජීවත්ව සිටියදී අවසන් නොකල ක්‍රියාවන් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් නම්, මේ පාරාවෝ ගැන කියන්න තියෙන්නේ ඔහු ඉතාම ඉවසීමකින් යුතු අවතාරයක් බවයි.

02. රජුන්ගේ නිම්නය.  –  පසුගිය වසර 5000 පුරාවටම මියගිය පාරාවෝ රජවරු සිය ගණනකගේ දේහයන් දරාගෙන සිටින මෙම නිම්නයේ අවතාර සිටිනවා යැයි කෙනෙකු පැවසීම එතරම් පුදුමයට කාරණයක් නොවේ. අශ්ව රථයකින් නිම්නය පුරා එහා මෙහා ගමන් කරන පාරාවෝ රජ කෙනෙක් සහ නිකුත් වෙන්නේ කොහෙන්දැයි සිතා ගත නොහැකි අඩි ශබ්දයන් සහ කෑගැසීම් පවා ඇසෙන බවට වාර්තා වෙනවා. මුරකරුවන් විශ්වාස කරන්නේ මේ අවතාර, තමාට සාමදානයේ සැතපෙන්නට ඉඩ නොදී නැවත ගොඩගත් සොහොන් වල අයිතිකරුවන්ගේ බවයි. දැන් ඔවුන් එතැනට සැතපුම් කිහිපයක් එහායින් ඇති ඊජිප්තු කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති ඔවුන්ගේ වස්තු සොයමින් සිටිනවා.

මේ සියල්ලටමත් වඩා ටුටන්කාමන් රජුගේ සොහොන් බිම අද්භූත ස්ථානයක් බවට පත් කිරීමට එහි තිබෙනවා යැයි කියන ශාපයක් සමත්වී තිබෙනවා. මෙම සොහොන අනාවරණය කර ගැනීමේ කටයුත්තට මුදල් යෙදවූ කාර්නවන් සාමිවරයා ඔහුගෙ ආයෝජනයන්හි ප්‍රතිඵල දැකීමට පෙර බෙල්ලෙ සිදු වූ මදුරු දෂ්ඨනයක් ආසාදනය වීමෙන් මරණයට පත්වී තිබෙනවා. ටූටන්කාමන් තරුණ පාරාවෝ රජු ගැන කරන ලද අධ්‍යයනවලින්, ඔහුටත් ඊට සමාන කැලලක් බෙල්ලේ තිබූ බව සොයාගන්නා ලදී. සොහොන් අඩවිය සොයාගත් පුරාවිද්‍යාඥ හොවාඩ් කාටර් මරණයට පත්වුණේ සොහොන් කුටිය සොයා ගැනීමෙන් පසු ඒ තුල යොදාගත් රසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඒ ආකාරයෙන් ඔහුගේ විශිෂ්ටතම සොයාගැනීම ඔහුගේ මරණයටත් හේතු වූ නිසා, එම ප්‍රදේශය හා සම්බන්ධ ශාපයක් ගැන මිත්‍යාවන් ඉතාම ආන්දෝලනාත්මක ලෙස මිනිසුන් අතර පැතිරී ගියා.

03. එම්පේන් බැරන්වරයාගේ මාළිගය.  –  මෙම මාලිගය වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබුණත්, එහි ජනෙල් ඉබේම ඇරෙන වැසෙන අයුරු සහ විදුලි බල්බ දැල්වී තිබෙන අයුරු බොහෝ මිනිසුන් විසින් දැක තිබුනා. මුලදී එය අසංවර උත්සව සහ යක්‍ෂ, භූත ආදී කටයුතු සම්බන්ධ රැස්වීම් පැවැත්වෙන ස්ථානයක් ලෙස සලකුණත් මේ වනවිට එය මහජනයාට නිල වශයෙන් තහනම් කර තිබෙනවා. එම්පේන් බැරන්වරයාගේ කතාව අවාසනාවන්ත සිදුවීම් වලින් පිරුණු එකක් නිසා, දැන් ඔහු පිලිබඳ අවතාර කතන්දර අසන්නට ලැබීම පුදුමයට කාරණයක් නොවේ. ඔහුගේ ප්‍රකට අනියම් සම්බන්ධතා ගැන කලකිරුණු ඔහුගේ බිරිඳ මාලිගයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තිබූ සර්පිලාකාර පියගැට පෙලකින් වැටී ජීවිතක්ෂයට පත්වී තිබුණා. මානසික ආබාධයකින් පෙළුණු ඔහුගේ දියණිය ඇතැම් අවස්ථා වලදී දින ගණන් නිකරුනේ යටිමහලට වී කාලය ගත කළ බවත්, සිය මවගේ මරණයෙන් සුළු කලකට පසු ඇයද මිය ගොස් ඇති බවත් කියැවේ. මියගිය බැරන්වරයා සාමයේ සැතපෙන ස්ථානයේ සිට බැසිලිකාව දක්වා දිවෙන රහස් කොරිඩෝරයක් ඇති බවත් කියවෙනවා. කොහොම නමුත් මියගිය බැරන්වරයා සහ ඔහුගේ පවුලේ අය මෙම මාලිගයේ දැනටත් සැරිසරන බවයි කියවෙන්නේ.

04. මාඩි හි හොල්මන් නිවස.  –  එල් ෂෙරීෆා ඩීනා මාවතේ සුළු කලකට ඉහතදී මිනීමැරුමක් සිදු වී තිබුණා. එහිදී ජීවිතය අහිමි වී තිබුණේ එක් ගැහැණු ළමයෙකුටයි. මිය ගියත් ඇය කිසිදා එම නිවස අත්හැර නොගිය බවට ඉන්පසු කටකතාවක් පැතිරී ගියා. වරක් එක් සඟරාවක් සඳහා සේවය කරන මිනිසෙක් විසින් බොහෝ දෙනා පවසන පරිදි ඇත්තෙන්ම එහි හොල්මන් සිටිනවාදැයි දැක බලා ගැනීමට ඒ නිවස වෙත ගොස් තිබුණා. ගොඩනැගිල්ලට ඇතුළු වූ ඔහු දුටුවේ ඝනකම් දූවිලි තට්ටු වලින් වැසුණු හිස් කාමර සහ බිම තිබුණු පැරණි ඉරීගිය කොට්ටයක් පමණි. මිනීමැරුම සිදුවූ දා පටන් එම නිවසට යාමට කිසිවකු නිර්භීතය වී නොතිබුන නිසා එහි කාමර දුවිලි තට්ටු වලින් වැසී තිබීමේ පුදුමයක් නැහැ. වාර්තාකරුවාට එහි කිසිදු අවතාරයක් දක්නට නොලැබුණත්, කයිරෝවේ වාසය කරන මිනිසුන් නම් එහි ගෑනු ලමයාගේ ආත්මය තවමත් සිටින බවට තරයේ විශ්වාස කිරීමට කුමක් හෝ හේතුවක් තිබෙන්නට පුළුවන්.

05. ඩෑෂවර් යුද අභ්‍යාස පුහුණු අඩවිය.  –  ආධුනික සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන විට ඩෑෂවර්හි අවතාර සිටින බවට බොහෝ දෙනෙක් පවසනවා. පෙනෙන ආකාරයට එහි අණදීම් සහ කෑ ගැසීම් සිදුකරන්නේ පුහුණුකරුවන් පමණක් නොවෙයි. බොහෝ දෙනාට රාත්‍රී කාලයේ දී කෑගැසීම්, ලතෝනි හඬවල් මෙන්ම වෙඩි හඬවල් පවා ඇසී තිබුනත් එම කදවුර ආසන්නයටවත් අවසර නොලත් කිසිවෙකුට පැමිණීමට නොහැකි බවයි පැවසෙන්නේ. හඬවල් වලට අමතරව අවතාරයක් දර්ශනය වූ අවස්ථා කිහිපයක්ද වාර්තා වෙනවා. බොහෝ දෙනෙකු මියගිය හමුදා ජනරාල්වරයෙකු කඳවුර පුරා ඇවිදින අයුරු කිහිප වතාවක්ම දැක තිබෙනවා. පෙනෙන ආකාරයට රට වෙනුවෙන් තමන්ගේ සේවය අවසන් නොකළ හමුදා නිලධාරීන් තවමත් ඒ භූමිය අත්හැර නොගොස් සිටිනවා.