Naifmvlog

Naifm vlog Gossip and News

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් – ආලෝකා ධනංජනී

නීලපබළු – රශ්මි හදවතේ කතාව සමාධි, අහස් මාළිගා – දිනු යන චරිත සමග මේ දිනවල ආලින්දයට එන ඇය නමින් ආලෝකා ධනංජනීය. රූපවාහිනි දැන්වීමක් සමග ක්ෂේත්‍රයට ඇවිත් විකාශය වූ ‘අඩෝ’, ඉරුදේව සහ සක්කාරං ඇතුළු තවත් නාට්‍ය කීපයක රංගනයෙන් දායක වූ ඇය රංගනය වෙතින් ජීවිතයට ආලෝකය ළඟා කර ගැනීම අපේක්ෂාව කර ගෙන සිටින්නීය. අද සැඳැල්ල කතා බහ ඇය සමගයි.

1). සම්පූර්ණ නම කියමු බලන්න?  ආලෝකා ධනංජනි රණසිංහ. 2). කවුද මේ ආලෝකා?  පොඩි ගමකින් කේෂ්ත්‍රයට ආව පුංචි ශිල්පිනියක්. සිරස ෆිල්ම්ස්ටාර් හරහා කේෂ්ත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. 3). පොඩි ගමක් කිව්වේ?  මාවනැල්ල නෑපලාන කියන හරිම සුන්දර ලස්සන ගමක්. සුන්දර මිනිස්සු ඉන්න සුන්රදම පළාතක්. සරදියෙල් ගම්මානයටත් මෙතැන සිට ළඟයි. 4). ඇයි රඟපෑමට හිත ගියේ?  දන්නා – තේරෙන කාලයේ ඉඳලාම නිවේදනයට ආසා කළා. පොඩි කාලයේදි රූපවාහිනිය නරඹද්දි එ්කේ යන ටෙලිනාට්‍ය නරඹලා එහි සිත් ගත් චරිතයක් මම තනියම කණ්ණාඩිය ඉස්සරාහා රඟපෑවා. රූපවාහිනියේ දැන්වීමක් ගියත් එහි දෙබස් කියලා රඟපෑවා. මටත් කවදාහරි ඒ වගේ එකකට පෙනී සිටින්න ඇත්නම් කියන ආසාව සහ උනන්දුව තමයි නිතරම තිබුණේ. පොඩි කාලයේ ඉඳලාම තිබුණු ඒ ආසාව තමයි ඉටුවුණේ.

5). ඉගෙන ගනිද්දි මොන වගේ අරමුණක්ද තිබුණේ?  ඇත්තම කිව්වොත් පොඩි කාලයේ මගේ ආසාව වුණේ කවදාහරි ඩොක්ටර් කෙනෙක් වෙන්නයි. ඒ කාලයේ ඉඳලාම කලාවට සම්බන්ධයි. සංගීතය විෂයයක් ලෙස තෝරා ගෙන හදාරන්න පටන් ගත්තා. වයිලීනය, මෙලෝඩිකාව, තම්මැට්ටම, සර්පිනාව එහෙම වයන්න පුළුවනි. සිංදු කියන්නත් පුළුවන්. මේ වගේ දේ එක්ක කටයුතු කරද්දී පාසලේ කලා අංශයේ මොකක් හරි සංවිධානය වුණාම ඉතා වුවමනාවෙන් මුලින්ම ඉදිරිපත් වුණේ මම. කලා අංශයේ ඉසව්වක් නම්, නිරන්තරයෙන් ඒවාට පැනගෙන ගිහින් දායක වුණා. සිරස ෆිල්ම් ස්ටාර් එකට අවෙත් ඒ විදියටයි. ජීවිතය කලාව එක්ක බැඳුණේ ඒ විදියටයි. අපේ ගමේ සුන්දර පරිසරයත් මේ කලාත්මක ගමන යන්න මට මුල් වෙන්න ඇති.

6). ඔය සුන්දර ගමට ආවොත් බලන්න තියෙන දේ මොනවාද?  බෝවැල්ල කියලා ලස්සන තැනැක් තියෙනවා. එතැන ගඟක් වගේ තැනක්. නොයෙක් ප්‍රදේශ වලින් මිනිස්සු නාන්න එතැනට එනවා. ඒ වගේම අලගල්ල කන්ද හරි ලස්සනයි. වෙලාවකට එය පෙනෙන්නේ ශ්‍රී පාදය වගෙයි. ඇවිල්ලා බලන්නකෝ මේ පළාතේ සුන්දරත්වය. අලෝකාගේ පවුලේ විස්තර ගැන කිව්වොත්? අම්මයි – තාත්තයි, අක්කයි මමයි. අම්මා විදෙස් ගත වෙලා. අක්කා විවාහ වෙලා. අම්මා තමයි මගේ හොඳම රසිකාවිය. අඩුපාඩු ඔක්කොම කියලා දෙන්නේ අම්මා. මම ඉගෙන ගත්තේ මාවනැල්ල බැද්දෙවෙල මහා විද්‍යාලයෙන්. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඒ කාලයේ පාසලේදී අපට පොතක ප්‍රවෘත්ති ලියා ගෙන ඇවිත් පංති රැස්වීමේදී කියන්න කියනවා. නිවේදනයට මම කොච්චර නම් ආසද කිව්වොත් කට පාඩම් කරගෙන ගිහින් නිව්ස් කිව්ව හැටි මතකයි. අදටත් රඟපෑමට අමතරව මගේ ප්‍රියතම විෂයය නිවේදනයයි.

7). ඉදිරියට ක්​ෂේත්‍රයේ මොන වගේ ගමනක් යන්නද හිතන්නේ?  මම ක්ෂේත්‍රයට ඇවිත් තවම ටික කාලයයි. දක්ෂ රංගන ශිල්පිනියක වෙලා, විවිධ චරිත රඟපාන්න ආසයි. චරිත රංගනයේදී ඕනෑම චරිතයක් බාර ගන්න සූදානම්. සුදු – කළු ඕනෑම චරිතයක් වෙතින් හොඳ රංගනයක් කරන්න තිබේ නම් මම ඒ අභියෝගය බාර ගන්නවා. 8). ඒ කියන්නේ අද ජීවිතය කරගෙන ඉන්නේ රංගනය විතරක් කියලද?  ඔව්, අද ටෙලිනාට්‍ය රංගනයට තමයි වැඩිපුර නැඹුරු වෙලා ඉන්නේ. ඒ අතරවාරයේදී චිත්‍රපට දෙකක රඟාපන්න ලැබුණා. සනත් ගුණතිලක මහතා සහ සනත් අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක රඟපෑවා. සනත් ගුණතිලක වැනි ප්‍රවීණයකු සමග රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්. එදා ෆිල්ම් ස්ටාර් කරද්දී එතුමා කළ වැඩ මුළුවකටත් දායක වෙලා තිබුණා.

9). කොහොමද මේ රංගන ක්ෂේත්‍රය හොඳද?  මට නම් හොඳම හොඳයි. තමන් හරියට හිටියොත් හොඳ ගමනක් යන්න පුළුවනි. මම පුද්ගලිකව හිතන විදියට මේ ෆීල්ඩ් එක තරම් හොඳ ෆීල්ඩ් එකක් තවත් නැහැ. 10). ආලෝකා අද ප්‍රේමවන්තියක්ද?  ප්‍රේමය හොඳයි, සුන්දරයි. මගේ පෙම්වතා මට ගොඩාක් උදවු කරනවා. ඒක මට ලොකු ධෛර්යයක්. එයත් කලාවට සම්බන්ධ නිසා හොඳ අවබෝධයක් තියෙන්නේ. 11). ආලෝකා කොහොම කෙනෙක්ද?  බොහොම සරල සාමාන්‍ය කෙනෙක්. වඩාත් නිහතමානී කෙනෙක් කිව්වොත් හරි. විශේෂයෙන්ම මුල අමතක නොකරන කෙනෙක්. බොහොම සුන්දර සිතිවිලි තියෙන හොඳ හදවතක් තියෙන කෙනෙක්. ප්‍රවීණයින්ට ඉතා ගරු කරන කෙනෙක්. ඔවුන්ගෙන් අපට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. නාට්‍යයක් දෙකක් කළා කියලා ජනප්‍රියයි කියලා හිතලා ඔළුව උදුම්මවා ගන්න තරම්, ආඩම්බර වෙන්න තරම් දෙයක් නැහැ. කරන දේ හරියට කිරීම තමයි වැදගත්.

12). ගමේ ඉඳලා කොළඹ ඇවිත් ගෙවන ජීවිතය කොහොමද දැනෙන්නේ?  ගමේ තියෙන නිදහස කොළඹ නැහැ. ගමට ගියාම ගහක් උඩට නැගලා පළතුරු ගෙඩියක් හරි කඩා ගෙන කාලා නිදහසේ ගත කරන්න පුළුවන්. ගමේ අය මට කතා කරන්නේ ‘හංසි’ කියලා. මොකද ගෙදර අය මට කතා කරන්නේ ඒ නමින්. කොළඹ කියන්නේ ඔක්කොම පහසුකම් තියෙන තැනැක්. ඒත් ගම තමයි සුන්දර. 13). ජීවිතය ගැන දැනේනේ කොහොමද?  විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතය. 14).  සංගීතයට බොහොම ලැදියි කිව්වනේ, එහි ප්‍රියතාවයන් ගැනත් කියමු?  අම්මා විදෙස් ගත වෙලා ඉන්නේ මගේ පොඩි කාලයේ සිටයි. හැබැයි එහෙම වුණාට අම්මා මට දුරස්ථ නැහැ. කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් ගයන ‘‘ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා’’ ගීතයට මම හරි ආසයි. වර්තමානයේදී ඒ වගේ අරුත් බර ගීත බිහිවෙන්නේ නැහැ. ඒකයි අපි හැමෝම පරණ සිංදු වලට ආස. මාත් හොඳ රසිකත්වයක් ඇති කෙනෙක් කියලා හිතනවා. හොඳ දේ රසවිඳින්න ආස කෙනෙක්.