Naifmvlog

Naifm vlog Gossip and News

බුදු දහමින් හෙළිවෙන නාගයන්ගේ ඉතිහාස කතාව

සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ප්‍රධාන වශයෙන් නයින් දෙකොටසකි. පේ‍්‍රතාදීන්ට මේ මනුෂ්‍ය ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. දිව්‍ය නාගයින්ට නාග ලෝකයක් වෙනම ඇත. එය දිව්‍ය ලෝකය හා සමාන සම්පත් ඇති ස්ථානයකි. නාගයන් පිළිබඳ මේ තත්ත්වය නිසා මනුෂ්‍යයන් අතර සාමාන්‍ය නයින්ට ද විශේෂ ගෞරවයක් ඇත. පොළඟුන්, තෙලිස්සන් කුණකටුවන් ආදී විෂ සහිත සර්පයෙක් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ උගේ අවසානය වෙයි. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනා වැළකී සිටිති. ඒ නාගයින්ට ඇති ගෞරවය හා බියපත්කම නිසා ය. නාගයන් වෛර බඳීති යි යන්න, ජන වහරෙහි එන මතයකි. ‘නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා’ යැයි ආප්තෝපදේශයක් ද ඇත.

ඒ හිරිහැරයක් වූ විට ක්ෂණයෙන් කුපිත වී දෂ්ට කරන නිසා ය.සමහර මළගියවුන් නයින් වී පැමිණෙන බව ඇතැම්හු විශ්වාස කරති. කාලාන්තරයක් ගතවන විට නයින්ගේ පුරුක් ගැල වී පිහාටු විත් හිමාලය පර්වතයට පියාඹා යන බව ද ඔවුන් ‘කොබෝ නයි’ නමින් හැඳින්වෙන බව ද ජනවහරෙහි එයි. සමහර පූජනීය ස්ථාන දේවාල නිදන් ආදියට අරක්ගත් නයින් සිටින බව විශ්වාස කෙරේ.පැරැණියෝ නයාට ගෞරව පිණිස ‘නයිහාමි’ යැයි කීහ. ඔවුහු නයෙක් ගෙදර අසලකට පැමිණියහොත් සූ, සූ යැයි නොකියා ‘නයිහාමි කිලි කිලි -වෙන තැනකට යන්න’ යැයි කියති. සමහර නාගයින්ට මාණික්‍යයක් ඇති බවත්, ගොදුරක් අසු වූ විට එය වමාරා පසෙක තබා ගොදුර ගන්නා බවත් එය දුටුවෙක් ගොම පිඩකින් මාණික්‍යය වැසුවහොත් නයා මරණයට පත්වන බවත් මිනිසුන් අතර කතාවක් පවතී.නාග යනු ඇතාට ද නමෙකි. බුදුරජාණන් වහන්සේට ද නාග නාමය ව්‍යවහාර කෙරෙති. නාලාගිරි දමනය අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදෙනකුගේ සංග්‍රාමයක් ලෙසය. නාග නාමයෙන් රහතන් වහන්සේ ද හඳුන්වා ඇත

. මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකයේ එන වම්මික සූත්‍රයට අනුව තුඹස හාරාගෙන හාරාගෙන යනවිට අන්තිමට මතුවන්නේ නාගයෙකි. ඒ නයාට පිදීමට ගරු කිරීමට කියයි. ඒ නාගයා නම් රහතන් වහන්සේ යි. උපසම්පදා විනය කර්මය කිරීමේදී උපසම්පදාපේක්ෂකයා හඳුන්වන්නේ නාග නාමයෙනි. (නාගෝ සංඝං උපසම්පදං යාචති – සුණසි නාග) ආසිවිසෝපම සූත්‍රයෙහි කට්ටමුඛ – පූතිමුඛ- අග්ගිමුඛ – සත්ථමුඛ යැයි නාගකුල සතරක් දක්වා ඇත. කට්ටමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි. පූතිමුඛ නාගයා දෂ්ට දළ විට ශරීරය කුණු වෙයි. අග්ගිමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය කැඩි කැඩී යයි. සත්ථමුඛ නාගයා දෂ්ට කළ විට ක්ෂණයකින් මරණයට පත්වෙයි.බෝසතාණන් වහන්සේ උඩුගං බලා පා කර හැරිය පාත්‍රය, නාග ලෝකයෙහි පිහිටියේ ය. එය නාගයින්ට අතිපූජනීය වස්තුවකි. සත් සති ගතකළ බුදුරජාණන් වහන්සේ සත්වන සතිය ගතකළ සේක් මුචලින්ද නා දරණ තුළ ය.

එම නා දරණය ඇතුළත සතර කොනෙහි පහන් හතරක් දැල්වීමට ඉඩ තිබිණි. බුදු සිරුරෙහි නා දරණ නො ගෑවිණි. එතරම් ම එම නා දරණය තුළ ඉඩකඩ තිබිණි.ඒරක පත්‍ර නාග රාජයා බුදුවරයෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට අඩ මසකට වරක් සිය දියණිය ද සමඟ මනුෂ්‍ය ලෝකයට පැමිණ ගංගා නම් නදී තීරයෙහි ගීතයක් ගයමින් තම විශාල පෙනය මත ඈට නටන්නට සලස්වයි. එයට නිවැරැදි පිළිතුරු ගීතය ගයන තැනැත්තාට සිය දියණිය පාවාදෙන බව ද ඔහු ප්‍රසිද්ධ කළේය. දිනක් උත්තර නමැති මානවකයෙක් එයට පිළිතුරු ගීයක් තනාගෙන ගංඟා ගං තීරයට යන අතර, බුදුරදුන් මුණ ගැසිණි. උන්වහන්සේ එයට නිවැරැදි ගීතය කියා දුන්සේක. එය ඇසූ නා රජු බුදුරදුන් උපන් බව දැන බුදුරදුන් වෙත පැමිණ නිවන් මඟට පිවිසියේ ය.

රහතන් වහන්සේ සැටඑක් නමක් ලොව පහළ වූ විට උන්වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත්කොට බුදු පියාණෝ උරුවෙල කාශ්‍යපයන් වෙත වැඩියහ. එහි නාරපෙත් අධිගෘහිත ගිනිහල් ගෙට රාත්‍රිය ගතකිරීමට වැඩම කළ විට නා රජු කිපී විෂ ධූමයක් පිට කළේය. බුදුපියාණෝ ද විෂ ධූමයක් පිට කළහ. නා රජු ගිනිජාලා පිටකළ විට බුදු හිමියෝ ද ගිනිජාලා පිට කළහ. අවසානයේ දී නා රජු දමනය විය. බුදුරජාණන් වහන්සේ ඌ පාත්‍රයෙහි බහා ගත්තේ ය. එළිවුණු පසු ගිනහල් ගෙය වටකර ගෙන සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නයා පෙන්වූහ.සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය.

දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.දිනක් දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයට පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ශිෂ්‍ය සත් හැවිරිදි සුමන සාමණේරයන් සමඟ හිමාලය ප්‍රදේශයෙහි ආරාමයකට වැඩියහ. එහිදී උන්වහන්සේට උදරාබාධයක් හට ගැනිණි. සාමණේරයෝ එය දැන එයට කළ යුතු ප්‍රතිකර්මය කුමක්දැයි විමසූහ. අනවතප්ත විලෙන් පැන් ස්වල්පයක් පානය කළ විට බඩේ රුජාව සුවවන බව අනුරුද්ධ හිමියෝ කීහ. එවිට සාමණේරයෝ පාත්‍රය රැගෙන පැන් ගෙන ඒමට යෑමට සූදානම් වූහ. අනුරුද්ධ තෙරුණුවෝ එහි පන්ථක නම් නාරජකු සිටින බවත් ඔහුට මා ගැන කියා පැන් ගෙන එන ලෙසත් කීහ. එදින නා රජු ජල ක්‍රීඩාවෙහි යෙදී සිටියේ ය. ඈත තියාම පාත්‍රයක් රැගෙන අහසින් එන පොඩි හිමියන් දුටු නා රජු නොඑන ලෙස තර්ජනය කළේ ය.

එහෙත් සාමණේරයෝ පැමිණ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධයක් වශයෙන් පැන් ස්වල්පයක් දෙන ලෙස ඉල්ලූහ. නා රජු පැන් නො දෙමි. හැකිනම් ගනුවයි විශාල පෙන ගොබයෙන් විල වසා ගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුන් උස සිරුරක් මවාගෙන අතින් නා රජුගේ පෙනය ඉවත් කොට පැන් රැගෙන ආපසු වැඩියහ.කෝපාවිෂ්ට වූ නා රජු සාමණේරයන් ලුහුබැඳ අවුත් බලහත්කාරයෙන් ගෙන ආ පැන් අකැප යැයි අනුරුද්ධ තෙරුන්ට කීය.එවිට සුමන සාමණේරයෝ ‘නැත’ ස්වාමීනි, පුළුවන් නම් ගනුවයි මේ නා රජු මට සමච්චල් කළේය. මම පෙනය ඉවත් කොට පැන් ගෙන ආවෙමි. එහෙයින් කැප ය.

වැළඳුව මැනවැ’යි ඉල්ලා සිටියහ. අනුරුද්ධ තෙරුණුවෝ පැන් වැළදුහ. ඒ සමගම උදරාබාධය සුව විය. තමන් නොදැනුවත්කමින් සිදු වූ වරදට සමාව ගත් නා රජු මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස ඉල්ලා වාසභවනයට ගියේ ය.පසු දිනෙක අනුරුද්ධ තෙරුණුවෝ සාමණේරයන් ද කැටුව බුදුරදුන් දැකීමට පැමිණියහ. කුඩා සාමණේරයන් දුටු පුහුදුන් භික්ෂුව උන් වහන්සේට සමච්චල් කළහ. බුදුපියාණෝ භික්ෂූන් රැස් කරවා හැකි කෙනෙක් පා දෙවීමට අනවතප්ත විලෙන් පැන්ගෙන එන්නැයි කීහ. සියල්ලෝ ම තූෂ්ණිම්භූතව බලා සිටිය හ. සුමන සාමණේරයෝ බුදුරදුන් වැඳ අවසර ගෙන විශාල කලයකුත් රැගෙන පැන් ගෙන ඒමට අහසින් ම පිටත් වූහ. සාමණේරයන්ගේ මේ ප්‍රාතිහාර්යය බැලීමට විශාල සෙනගක් රැස්වූහ. සාමණේරයන් එනු දුටු නාරජු පෙරගමන් කොට කළය රැගෙන පැන් පුරවාගෙන අහසින්ම සාමණේරයන් පසුපස පැමිණියේ ය. නාරජුගෙන් පැන් කළය ඉල්ලා ගත් සාමණේරයෝ බුදුරදුන්ට එය පිළිගැන්වූහ. ඒ අවස්ථාවේ සත් හැවිරිදි සුමන සාමණේරයන් උපසම්පදා සීලයෙහි පිහිට වූ බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට දම් දෙසූහ.

අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදුරදුන්ගේ අනුදැනුමෙන් ඔහුගේ ආරාමයට වැඩම කළ මුගලන් තෙරුණුවෝ නාගයෙක් අධිගෘහිත වැලිගොඩක් මතට රාත්‍රිය ගතකිරීමට වැඩියහ. නයා කුපිත වී විෂ ධූම ගිනි ජාලා පිට කළේ ය. මුගලන් හිමියෝ ද ඒවා මැඩ විෂ ධූම ගිනි ජාලා පිටකළහ. රාත්‍රියේ දී සිදු වූ මේ සටන බලා සිටි තාපසවරුන්ට එළිවුණු විට දකින්නට ලැබුණේ තෙරුන් වහන්සේ සුළඟින්, පින්නෙන් ආරක්ෂා කිරීමට දරණ ගසා ගෙන හිසට පෙනය අල්ලාගෙන සිටින නා රජු ය. පසුව බුදුපියාණෝ ද එතැනට වැඩම කොට අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිසට දම්දෙසා නිවන් මගෙහි පිහිට වූ සේක.මහාමේරු පර්වතයෙහි විසූ නන්දෝපනන්ද නාග රාජයා ද මහත් බලවතෙකි. බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ දෙව්ලොව වඩින විට පා දූවිලි වැටීමෙන් නා රජු කුපිත විය. පසු දිනෙක වඩින විට මහමේරුව අතුරුදන් කළේය. භික්ෂුහු මහාමේරුව නො දැක බුදුරදුන්ගෙන් විමසූහ.

නන්දෝපනන්ද නාගරාජයා කුපිත වී නො පෙනෙන්න සලසා ඇති බව උන්වහන්සේ වදාළහ. එවිට නාග දමනයට රහතුන් වහන්සේ කීප නමක් ම ඉදිරිපත් වුවත් එය වළක්වා එම කාර්යය මුගලන් තෙරුන්ට පැවරූහ. සටන පවතින විට ද නාග වේශයෙන් සිටි මුගලන් හිමියන්ට සිහි උපදවා ගන්නැ’ යි බුදුන් වහන්සේ වදාළහ. නන්දෝපනන්ද නා රජු එතරම් ම බලවතෙක් විය.රුවන්මැලි මහ සෑයෙහි ධාතු නිදන් කිරීම සඳහා ධාතු ගෙන ඒමට සෝනුත්තර සාමණේරයෝ නා ලොවට වැඩිය බවත්, වාසුලදත්ත නම් නා රජු සාධාතුක කරඬුව උදරයේ සඟවාගත් බවත්, සෝනුත්තර සාමණේරයෝ සියුම් අතක් මවා එම දා කරඬුව රැගෙන ආ බවත් ථූපවංසයෙහි දක්වා ඇත.දන්ත කුමරු හා හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවා වැලිගොඩක සැඟ වූ විට, පණ්ඩුභාර නම් නා රජු ගත් බවත් පසුව තෙරනමක් ගුරුළු වෙස් මවාගෙන නාගයා බිය ගන්වා දමනය කොට දළදා වහන්සේ නැවත ඔවුන්ට ම ලබාදුන් බවත්, දළදා සිරිතෙහි සඳහන් වෙයි.

දිනක් මිහින්තලයේ ගිලන්ව සිටි තෙර නමක් බැලීමට නා රජෙක් පැමිණියේ ය. එකල එහි තිස් දහසක් පමණ භික්ෂූන් විසූහ. නාගයා දුටු ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට වේගයෙන් පාත්විය. එහි වැඩ සිටි බුද්ධරක්ඛිත නමැති තරුණ භික්ෂුවක් පර්වතයක් මවා නා රජු අතින්ගෙන පර්වතය තුළට පිවිසියේ ය. එහෙයින් නා රජු ගුරුළගෙන් ගැලවිණි. බුද්ධ රක්ඛිත නො සිටියේ නම්, අප සැම ලජ්ජාවට පත්වන්නේ යැ ‘ යි මහතෙරුන් පවසා ඇත. විශුද්ධි මාර්ගයෙහි එන මේ කතා පුවතින් දිව්‍ය නාගයන් ද ගුරුළන්ගේ ගොදුරට පත්වන බව පෙනේ.නාගයන්ගේ ස්වභාවය ක්ෂණයකින් කුපිත වීම යි. දිව්‍ය නාගයන් තුළ ද එම ස්වභාවය අඩුවක් නැතිව පිහිටා ඇති බව ඉහත සඳහන් සමහර නාග කතාවලින් පෙනේ. නාගයන් පිළිබඳ කතාන්තර ත්‍රිපිටකය පුරා ම විසිරී ඇත. නාගයන් කීප දෙනෙක් ඒ ඒ අවස්ථාවල දී සංඝයා වහන්සේට විරුද්ධ වුවත්, සමස්තයක් වශයෙන් ගත් කල නාගයෝ බැතිමත්හු ය.