Naifmvlog

Naifm vlog Gossip and News

නාග කන්‍යාවකට පෙම් කර දුටු ගැමුණු රජතුමාගේ කතාව

මේ පුංචි පින් බීමේ පහළ උන ශේෂ්ඨ රජ කෙනෙක් හැටියට අපි හැමෝම සළකන්නේ දුටු ගැමුණු රජතුමා.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ දුටු ගැමුණු රජතුමාගේ චරිතය, ශාසනික මෙහෙවර හා අන්තිම මොහොතේ නාග කන්‍යාවක් නිසා දුටු ගැමුණු රජතුමාට සිදු උන අප්‍රකට කතාව ගැන ඉතිහාසයේ සදහන් වෙන සැගවුණු කරුණු ගැනයි.

දුටු ගැමුණු රජතුමාගේ චරිතය- මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය.කල්‍යාණ පෙදෙස පාලනය කළ කැළණිතිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ඔහු‍ගේ මෑණියන්ය.පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි.

මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි තිස්ස ලෙසද නම් කෙරිණ.වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට – දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ.

කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු – කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුනුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.

තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනී මෙන් පසු දුටුගැමුණු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර , සුරනිමල , මහාසේන, ථෙරපුත්තභාය, ගෝඨාභය, භරණ, වයඹ, වේලුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යොධයින්ද එක්වුහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ.

මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි.

ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර

රුවන්මැලි මහා සෑය කරවීම දුටුගැමුණු රජතුමාගේ අද්විතීය ශාසනික මෙහෙවරකි. මහාවංශයේ 28 – 31 පරිච්ඡේද සතරෙහි හා ථූපවංශයෙහි දාගැබ ඉදිකිරීම පිළිබඳ විස්තර කියැවෙයි.මාගම රජ පරපුරට අයත් දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 – 137) මහාවංශයේ වීරයාය. ඔහු ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජෙකි. රජරට බලයට පත්ව සිටි එළාර රජු පරදවා මාගම ආධිපත්‍යය රජරටට පතුරුවා විශාල ආගමික සේවාවක් ඉටුකළේය. දීපවංශයේ ඔහුට ගාථා 11 ක් කැපකර ඇති අතර මහාවංශයේ ආගමික සේවාව කීමට පමණක් 28 සිට 32 දක්වා පරිච්ඡේදවල ගාථා 364 ක් යොදාගනී. මෙයටත් වඩා විස්තර කාම්බෝජ මහාවංශයේ එයි.මහාචාර්ය මලලසේකර Extended Mahavansa ලෙස ඉංග්‍රීසියට නඟා ඇත්තේ මෙම කාම්බෝජ මහා වංශයයි.

දුටුගැමුණු රජුගේ ආගමික සේවාව දැන් කෙටියෙන් බලමු.මහියංගණ දාගැබ විශාල කිරීම ද රජු විසින් සිදු කරවන ලද විශාල ආගමික සේවයකි. සුමන සමන් දෙවිඳුට බුදුහිමි දුන් කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ මුලින් කළේ සමන් දෙවිඳු බව මහාවංශය කියයි. ඉන්පසු දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය කුමරු එය රියන් තිහක් උසට කරවීය. එළාර රජුට විරුද්ධව සටන අරඹා මාගම සිට ඉදිරියට යන ගැමුණු රජු මහියංගණ දාගැබ රියන් අසූවක් උසට කළ බව මහාවංශය හා ථූපවංශය කියයි.මහාවංශය, මහාවංශටීකා, ථූපවංශය සහ පූජාවලියට අනුව ගැමුණු රජු මරණාසන්නව සිටියදී ඔහු කළ පින්කම් ඇතුළත් පින් පොත ඔහුට ඇසෙන්නට කියවන ලදී. ඔහු කළ ආගමික කටයුතු රැසක් මේ පින් පොත විස්තරයේ එයි.

ඒ අනුව ගැමුණු රජු විහාර අනූ නවයක් කරවා ඇත. පසුකලෙක ලියැවුණු “සුළුරාජාවලිය” ට අනුව ඔහු නවානුදහසක් රජ මහා විහාර කරවූ බව කියැවෙයි. සුළුරාජාවලිය කියන මේ නවානුදහස අතිශයෝක්තියක් විය හැකිය.මලයරට හෙවත් කඳුරට පැතිර ගිය අක්ඛකායික හෙවත් බුළුකෑසායේදී කුමරු තම කන්වල පළඳින මිණි කොඩොල් යුවළ විකුණා භික්ෂූන් වහන්සේ පන්සිය නමකට දානයක් දී ඇත. වංශ කතා මෙම ඇඹුල් රසැති තණ හාල් දානය ඉහළින් වර්ණනා කරයි. බුළුකෑසාය රටේ පැතිර ගියේ කුමරු කඳුරට කොත්මලේ සැඟවී සිටියදී ය. සාගතයේ දී කෑම ඉතා හිඟව අක්ඛ හෙවත් බුළු කෑමට ගත් බැවින් මෙය බුළු කෑ සාය ලෙස හඳුන්වයි.

මහාවංශයේ වෙසක් උත්සවය ගැන පළමුවරට සඳහන් වන්නේ ගැමුණු රජු රජ කළ සමයෙහිදීය. ඒ නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවයේ ආරම්භකයා ලෙස වල්පොළ රාහුල හිමි තම ‘ලංකාවේ බුදු සමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ දී කියයි.දුටුගැමුණු රජ තෙමේ ලංකාවේ සියලු සංඝයාට සිවුවරක් සිවුරු පූජා කළේය. ගිලන් භික්ෂූන් වහන්සේට වෛද්‍ය උපදෙස් අනුව, ඖෂධ හා ගිලන් බත් පූජා කළේය. විහාරවල පහන් පූජාවට තෙල් පිදූ බව පින් පොත් විස්තරය කියයි.

ධර්ම දේශනා කිරීම අසීරු බව අත්දැකීමෙන් දැනගත් රජු ධර්ම දේශකයන්ට හකුරු, ගිතෙල්, වැල්මී හා පිලි පිදුවේය. මහාවංශයේ 25 වැනි පරිච්ඡේදයට අනුව කහවනු ලක්ෂයක් වැයකර මහා බෝධි පූජාවක් කර ඇත.රජරට එළාර රජුට විරුද්ධව මාගම සිට පිටත් වූ යුද සේනාව සමඟ තිස්සමහාරාම විහාරයෙන් භික්‍ෂූන් වහන්සේ 500 නමක් වැඩමවා ඇත. රජු හමුදාව සමඟ ගමන් ගන්නාවිට රැගෙන ගිය හෙල්ලයේ ධාතු නිධන් කොට තිබුණි. පැවිදිව සිටි ථෙරපුත්තාභය හිමිනම කැමැත්තෙන් සිවුරු හරවා හමුදාවට බඳවා ගත්තේය.

‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ වල්පොළ රාහුල හිමි කියන පරිදි යුද හමුදාව සමඟ 500 ක් භික්ෂූන් වැඩම කිරීම, හෙල්ලයේ ධාතු නිධන් කොට තැබීම, ථෙරපුත්තාභය හිමියන් සිවුරු හරවා හමුදාවට බඳවා ගැනීම මගින් ගැමුණු රජු එළාරට විරුද්ධව සියලු ආගමික, ජාතික බලවේග එකමුතු කළ බව පෙන්වා දෙයි. ගැමුණු රජුගේ යුද්ධ ජයග්‍රහණයට පසු ථෙරපුත්තාභය හිමි යළිත් පැවිදිව, රහත් වූහ. උන්වහන්සේ තවත් රහතන් වහන්සේ 500 නමක සමඟ දුටුගැමුණු රජු මරණාසන්න මොහොතේ රජු බැහැදැකීමට වැඩියහ.ද්වන්ධ සටනින් එළාර රජු පැරැදී මැරුම් කෑ පසු ඔහුට නිසි ගෞරවය ලබාදී උත්සවාකාරයෙන් එළාර රජුගේ මෘත දේහය දවා ඒ ස්මාරකයට ගරු කළ යුතු බවට නීති පැනවූ බව මහාවංශය කියයි.

‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය’ පළමුවැනි කාණ්ඩයේ දී මහාචාර්ය පරණවිතාන කියන පරිදි මෑතක් වනතුරු එළාර සොහොන ලෙස වරදවා හඳුන්වන ලද්දේ දක්ඛිණ ථූපයයි.එළාර රජු හා භල්ලුක පැරැදවීමෙන් පසු, එහිදී සිදුවූ මනුෂ්‍ය සංහාරයෙන් යුද්ධය ගැන කලකිරී දුටුගැමුණු රජු දැඩි මානසික පසුතැවිල්ලකට පත් විය. රහතන් වහන්සේ අටනමක් වැඩම කර රජුගේ සිත සන්සුන් කර ඇත.ධාතු නිධන් කර ජය කුන්තය තැන්පත් කොට රජු කරවූ මිරිසවැටි දාගැබ හා විහාරය නිම කිරීමට අවුරුදු තුනක් ගතවිය. මහාවංශ ටීකාව අනුව භික්ෂූන් වහන්සේට දන් නොදී රජු කෑවේ අමුමිරිස් වැටියකි.

වංශකතා විස්තරවල මේ අමුමිරිස් ව්‍යංජනයක් බව කියවෙයි. ‘ ගෛගරිගේ මහාවංශය නිවැරැදි කිරීම’ ඉංග්‍රීසි ග්‍රන්ථයේ දී පොල්වත්තේ බුද්ධදත්ත හිමි කියනුයේ මෙය ගම්මිරිස් අච්චාරුවක් බවයි. මිරිසවැටි දාගැබ පූජා කිරීමේ උළෙලට භික්ෂූන් වහන්සේ ලක්ෂයක් හා භික්ෂුණීන් වහන්සේ අනූ දහසක් වැඩම කළ අතර උත්සවය දින හතක් පවත්වා ඇත.දුටුගැමුණු රජතුමා හට ලෝවාමහපාය කරවීම සඳහා කෝටි තිහක් වැයවූ බව මහාවංශය කියයි. මහාවංශයේ 27 වැනි පරිච්ඡේදයේ ගාථා 40 කින් මේ විස්තර කරයි. ලෝවාමහාපායේ ගල් කුලුනු 1600 ක් තිබූ බව පූජාවලිය කියයි. ලෝවාමහාපාය පොහොය ගෙයකි. එහි ගබඩා දහසක් හා මහල් නවයක් විය. එහි සියලු වැඩ කරවන ලද්දේ මුදල් ගෙවාය. තඹ ලෝහයෙන් කළ උළු සෙවිලිකර තිබූ බැවින් එයට ලෝවාමහාපාය යන නම ලැබුණි.

එහි පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේට ද දෙවැනි මහල ත්‍රිපිටකධාරී හිමිවරුන්ට ද තුන්වෙනි මහල සෝවාන් භික්ෂූන් වහන්සේට ද සතර වැන්න හා පස් වැන්න පිළිවෙළින් සකෘදාගාමී සහ අනාගාමී භික්‍ෂූන් වහන්සේට ද වෙන් කර තිබුණි. ගෛගරිගේ මහාවංශ පරිවර්තනයේ 186 වැනි පිට 0.2 අධෝ ලිපියේ මේ ගැන සටහනක් එයි. ලෝවාමහාපාය නිමවූ පසු එය පූජා කිරීමේ උළෙල දින සතක් පැවැත්විය. මහාවංශ ටීකා අනුව ලෝවාමහාපාය අනුරාධපුරට ඈතින් පිහිටි දිඹුලාගල කඳු මුදුනට ද යොදුනක් දුරට මුහුදට ද දිස්විය. ලෝවාමහාපාය සත්මහල් බව කොඩ්රින්ටන් කීම වැරැදිය. මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙන පරිදි එය මහල් නවයකින් යුක්ත විය.රුවන්මැලි මහා සෑය කරවීම දුටුගැමුණු රජතුමාගේ අද්විතීය ශාසනික මෙහෙවරකි. මහාවංශයේ 28 – 31 පරිච්ඡේද සතරෙහි හා ථූපවංශයෙහි දාගැබ ඉදිකිරීම පිළිබඳ විස්තර කියැවෙයි.

පෑතිස් රජු මතු රුවන්මැලිසෑය ඉදිවන ස්ථානය ලකුණු කර තැබූ බව පාලි ‘සමන්තපාසාදිකා’ කියයි. මහාවංශයට අනුව මෙම සෑයට ගඩොල් ගම්භීර නදිය අසලින් ද ස්වර්ණ බීජ අකරවිට ගමෙන් ද තඹ තඹවිටි ගමෙන් ද මැණික් සමන්විටි ගමෙන් ද රිදී අම්බට්ඨ හෙළෙන් ද මුතු උරුවෙල ගමෙන් ද ලැබුණි. දාගැබේ පදනම සඳහා ගල් සුනුකර ඇතුන් ලවා පාගා තදකර සියුම් වෙඩරු මැටි හා ගල් අතුරා ඒ මත දැල් එළා බොරළු දමා ඇත. මේ අනුව දාගැබේ පදනම ඉතා ශක්තිමත් විය. ථූපවංශයේ ථූපාරම්භ කතා යටතේ මේ විස්තරය දැකිය හැකිය. ගැමුණු රජු දාගැබ තවත් විශාල කිරීමට සැලසුම් කළ ද රහත් හිමිවරු ඒ වැළැක්වූහ.මහාථූප ආරම්භ උත්සවයක් වංශකතා දීර්ඝ ලෙස වර්ණනා කරයි. මේ උළෙලට දඹදිවින් ද තවත් බෞද්ධ රටවල් රැසකින් ද රහත් හිමිවරු වැඩම කළහ. මහාවංශයේ 29 වැනි පරිච්ඡේදයේ ගාථා 70 කින් ඒ විස්තර දැක්වෙයි.

ඉන්ද්‍රගුප්ත හිමි රජගහනුවර සිට අසූ දහසක් භික්ෂූන් සමඟ ද ධම්මජෝති හිමි 12000 ක් භික්ෂූන් වහන්සේ සමඟ ඉසිපතනාරාමයෙන් ද පියදස්සී හිමි 60000 ක් සමඟ ජේතවනාරාමයෙන් ද බුද්ධ රක්ඛිත හිමි 18000 ක් සමඟ විශාලා නුවරින් ද මහා ධම්මරක්ඛිත හිමි 30000 ක් සමඟ කොසඹෑ නුවරින් ද මහාධම්මරක්ඛිත හිමි 40000 ක් පිරිවර සමඟ උදේනි නුවරින් ද මහාධම්මරක්ඛිත හිමි 30000 ක් සමඟ අලසන්දා නුවරින් ද වැඩම කළහ. මහාථූප උළෙලට වැඩි රහතුන් සයානුකෙළක් බව මහාවංශය කියයි. ගෛගර් තම මහාවංශ ඉංග්‍රීසි පරිවර්තනයේ මේ භික්ෂූන් වැඩි නගර හා රටවල් වෙන වෙනම හඳුන්වා දෙයි. මහාවංශයේ 30 වැනි පරිච්ඡේදයේ ගාථා 100 කින් මහාථූපයේ නිධන් වස්තු හා ධාතු ගර්භයේ විස්තර දක්වයි.

මහාවංශයේ 31 වැනි පරිච්ඡේදයේ ගාථා 125 කින් රුවන්මැලි සෑයෙහි නිධන් කිරීම සඳහා ධාතු ගෙන ඒමට සෝනුත්තර හිමි නාග ලොවට වැඩම කළ හැටි විස්තර වෙයි. රුවන්මැලිසෑයේ සියලු වැඩ වැටුප් ගෙවා ඉටුකරවා ගත් බව ‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය – පළමු කාණ්ඩයේ’ දී දක්වයි. මහාථූප උළෙල සඳහා දේශ දේශාන්තරවල සිට රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ මහා පිරිසක් වැඩම කළ බව ‘ලංකාවේ බුදු සමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ වල්පොළ රාහුල හිමියෝ දක්වති.රුවන්මැලිසෑයේ වැඩ නිමාවීමට පෙර රජු ගිලන් වී, සද්ධාතිස්ස කුමරුට රජකම පැවරීය. (මේ වනවිට විහාරමහා දේවිය පැවිදිව සිටි බව ලෙන් ලිපිවලින් හෙළිවෙයි.)

ගැමුණු රජුගේ මරණයට පෙර තිස්ස කුමරු දාගැබේ ඉතිරිව තිබූ සුණු පිරියම හා කොත් කැරැල්ල සුදු රෙදි දවටා නිම කළ බව දැක්වෙයි. ගැමුණු රජු, තමා කළ පින් ඇතුළත් පින් පොත කියවනු අසමින් මරණයට පත් විය.දුටුගැමුණු රජු මිය ගියේ මැදි වයසේ දීය. ජනප්‍රවාදවලට අනුව රජුගේ මරණයට හේතුව, නාග කන්‍යාවකට පෙම් බැඳීම නිසා නා රජු කිපී විෂ හෝරාවක් බලා රජුට දෂ්ඨ කිරීමයි. ගැමුණු රජුගේ මෘතදේහය රුවන්මැලිසෑයට නුදුරු බිමක ආදාහනය කරන ලදී.මහාචාර්ය පරණවිතානගේ ‘පුරාවිද්‍යා පර්යේෂණ’ ග්‍රන්ථයට අනුව ගැමුණු රජු දැවූ බිම කණින විට පිලිස්සුණු අගුරු හමුවිය. ‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය – පළමු කාණ්ඩයේ’ දී මහාචාර්ය පරණවිතාන පවසන පරිදි දුටුගැමුණු රජුගේ විශිෂ්ටම නිර්මාණය රුවන්මැලිසෑයයි. ආචාර්ය අදිකාරම් ‘පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය’ ග්‍රන්ථයේ කියන පරිදි දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය සෑම අතින්ම අප රටට පුනර්ජීවයක් උදාවූ අවධියකි.

නාග කන්‍යාවකට පෙම් බැඳී දුටු ගැමුණු රජතුමා

ලංකාව පාලනය කළ රජුන් අතරිනුත්, ලංකාව එක්සේසත් කළ රජුන් අතරිනුත් දු‍ටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ වෙනවා. ඔහුගේ පාලන සමය සහ මරණය ගැන මහාවංශ-ථූපවංශාදී පොත්පත් වල සඳහන් වුණත්, මරණයට හේතු වුණු රෝගය පිළිබඳව නම් මේවායේ සඳහනක් නෑ.දු‍ටුගැමුණු රජතුමාගේ මරණය පිළිබඳව අප වුණත් අසා තිබෙන්නේ, රුවන්වැලි සෑයේ ගොඩනැගීම නිමවන්නට ප්‍රථමව ඔහු යම් රෝගයකින් මරණාසන්න වූ බවත්, සද්ධාතිස්ස කුමාරයා විසින් සෑයේ වැඩ නිම නොවූ පෙදෙස සුදු රෙද්දෙන් වසා ඔහුට පෙන්වූ බවත් පමණයි.ඔහුගේ මරණයට හේතුව වගේම, රජතුමාගේ බිසෝවරුන් ගැනත් ඉතිහාසයේ සඳහනක් නැහැ. රජු ඇතැම්විට ක්ෂත්‍රිය කුල කාන්තාවක් සරණ පාවා නොගත් නිසා එය නොලියවෙන්නට ඇතියි කියලා අනුමාන කරන්න පුළුවන්. රජුගේ විවාහය වගේම මරණයත් මහාවංශාදී පොතපතෙහි සඳහන් නොවන්නේ එයත් සටහන් කර තැබීමට නොහැකි ආකාරයේ කරුණක් නිසාදැයි අපි දන්නේ නැහැ. කෙසේ නමුත්, රජුගේ මරණය සිදුවීමට හේතුව මෙන්ම, එයට හේතු වූ රජුගේ බිසවක් ගැනත් අප්‍රසිද්ධ ජනකතාවක කියැවෙනවා.

දුටුගැමුණු රජු පැහැරගත් ධාතූන් සහ නාග කන්‍යාව දු‍ටුගැමුණු රජතුමා සිය අවසන් කාලයේ දී රුවන්වැලි සෑය සෑදීමේ කතාව අපි කවුරුත් දන්නවා. එක්තරා මහරහතන්වහන්සේ නමක් මේ චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥධාතූන් ද්‍රෝණයක් පමණ නාග ලෝකයෙන් ගෙන ආ බව ඇතැම් පොත්වල සඳහන් වෙනවා. ඉතින් සෑයේ ධාතු නිධන් කළාට පසුව ඒවා වන්දනා කරන්න දිනපතාම වාගේ නාලොවින් නාගයින් පැමිණීම පුරුද්දක් වී තිබුණාලු. ඔය අතරේ නා රජුගේ දියණියන් ද සිටි බවයි කියැවෙන්නේ.දිනක්, චෛත්‍යයට කඩුපුල් මල් පූජා කර තිබෙන බව රාජපුරුෂයෙකු දැක තිබෙනවා. මේ, නාලොව තිබෙනවාය කියන කඩුපුල් මල් වෙන්නට ඇතිය කියන අනුමානයෙන්, පසු දා රාත්‍රියේ ඔහු චෛත්‍ය අසල සැඟවී බලා සිටිනවා.

මධ්‍යම යාමය ලබත්ම ශෝභමාන නාග කන්‍යාවක් පැමිණ, කඩුපුල් මල් පූජා කර සෑය වැඳ අතුරුදන් වනවා රාජ පුරුෂයා දු‍ටුවා. දුටු දෙයින් පුදුමයට පත්වන ඔහු එම තොරතුරු රජුට වාර්තා කළා. රාජපුරුෂයා කළ විස්තරය ඇසූ රජතුමාට “එතරම් රූමත් නාග කන්‍යාව තමා හිමිකර ගත යුතුයි” කියන චේතනාව පහළ වුණා ලු. ඉතින් ඊළඟ දිනයේ දී රාජ අණට අනුව සෑය ළඟ ‍රැක සිටින රාජ පුරුෂයින්, බුදුන් වැඳ අවසන් වන්නටත් පළමුවම ඈව අල්ලාගත්තා. මිනිස් ස්පර්ෂයෙන් පසු අමනුෂ්‍යවර්ගයාට ඇති අතුරුදන් වීමේ හැකියාව නැතිවෙන බව කියනවනෙ. නාග කන්‍යාවටත් එසේම වුණා.රාජ පුරුෂයින් නාග කන්‍යාව රජුට වෙතට ගෙනයෑමෙන් අනතුරුව ඇගේ ශෝභමාන පෙනුමට වශී වූ රජතුමා, ඈව බලෙන්ම විවාහ කර අගබිසෝ තනතුරේ තබාගත්තා.

පළිගන්නා නා රජෙක් රුවන්වැලි සෑය වඳින්නට ගිය දියණිය ආපසු නොපැමිණීම නිසා ඈ සොයාගෙන එන්නට නා රජු නාගයින් කීපදෙනෙක්ව අනුරාධපුරයට එවනවා. එහි වැසියන් සමඟ කතාබහෙන් පසු, දු‍ටුගැමුණු රජතුමා එම නාග කන්‍යාව බලෙන්ම බිසෝ තනතුරේ තබාගෙන සිටින බව දැනගන්නා ඔවුන් ආපිට ගොස් එම පුවත නා රජුට වාර්තා කරනවා. ප්‍රථමව තමා සන්තකව නාලොව තිබූ ධාතූන් ගෙනයෑමත්, දෙවනුව ඒවා වැඳීමට ගිය සිය දියණිය පැහැරගැනීමත් නිසා දු‍ටුගැමුණු රජු පිළිබඳව නා රජුට ඇතිවන්නේ බලවත් කේන්තියක්. දු‍ටුගැමුණු රජුගෙන් පළිගැනීමට අදහස් කරන නා රජු නාග මානවකයෙකු කැඳවා, “දු‍ටුගැමුණු මරා මිස නැවත නොපැමිණෙවැ”යි කියා ඔහුව මනුෂ්‍ය ලෝකයට පිටත් කරවනවා

.අණ පරිදි අනුරධපුර පිහිටි රජුගේ මාළිගයට පැමිණෙන නාගයා, රජුගේ සයනය යට සැඟවී සිට රජුට දෂ්ට කරනවා. එවිටම වාගේ නින්දෙන් පිබිදෙන රජු නාගයෙකු සයනය යටට ඇදෙනු දැක කෑගසා, ඒ අසා පැමිණි ගබඩා භාර නිලමේට නයෙක් තමාට දෂ්ට කළ බව කියා සිහිමූර්ජා වෙනවා. ඇඳ යට නයෙකු නොසිටියත්, කපුරුනාද නම් රාජ විෂ වෛද්‍යවරයා කැඳවන ලදුව, ඔහු විසින් රජුව විෂහරණ ඔරුවක බහා, නිල අල්ලා, ඖෂධ ගල්වා කරන ලද ප්‍රතිකාර වලින් පසු රජු සුවපත් වෙනවා. රජු මියෙනතෙක් මනුලොව නැවතී සිටි නාග මානවකයා මෙයින් පත්වන්නේ අධික කෝපයකට.

දු‍ටුගැමුණු රජු පිළිබඳව නා රජුට ඇතිවන්නේ බලවත් කේන්තියක් ආපසු නාලොවට නොයන ඔහු, ඊළඟ සතියේත් රජුට දෂ්ට කළත්, කපුරුනාද වෙදතුමා රජුව නැවතත් සුව කරනවා. මෙයාකාරයෙන් විවිධ තැන්වල, විවිධ වේලාවන්හි ‍රැක සිට සත්වරක් රජුට දෂ්ට කළත්, ඒ සියලු වතාවන් වලදී කපුරුනාද වෙදතුමා රජු සුවපත් කිරීමට සමත් වෙනවා. රජු මරාදමා මිසා ආපසු යන්නේ නැතැයි අධිෂ්ඨාන කරන නාගයා රජතුමා මරන්නට උපායක් කල්පනා කරනවා.

නැකැත් බලා දෂ්ට කිරීමේ ශාස්ත්‍රය සුව කළ හැකි සර්ප දෂ්ටනයන් මෙන්ම, සුව නොකළ හැකි සර්ප දෂ්ටනයන් ද තිබෙන බව දේශීය විෂ විද්‍යාවේ සඳහන්. “මර යෝග” යනුවෙන් ද හැඳින්වෙන්නේ මේවායි. යමෙකු මැරීමේ ශාස්ත්‍රය දන්නේ ඔහු සුවපත් කිරීමට දන්නා තැනැත්තාමයි. එනිසා රජුට දෂ්ට කිරීම සඳහා මෙවැනි “මර යෝගයක්” කපුරුනාද වෙදතුමාගෙන්ම අසා දැනගත යුතු බව නාගයා කල්පනා කළා.මෙවර මසක් පමණ කාලයක් රජතුමාට දෂ්ට නොකර සිටි නාගයා, නාග ආපදාව අවසන් බව කල්පනා කළ වෙදතුමා මාළිගයෙන් නික්මී ඈත දනව්වක පිහිටි සිය ගම් බලා යන තෙක් ඉවසීමෙන් සිට, මනුෂ්‍ය වේශයක් ගෙන මග ‍රැක සිටියා.

මග පිහිටි අම්බලමක දී අහම්බෙන් මුණගැසුණු බවක් අඟවා වෙදතුමා හා ආගිය තොරතුරු සාකච්ඡා කළ ඔහු, “මේ ළඟකදී ඔබතුමා කීපවිටක් රජු බේරාගත්තා නොවේද, ඔබතුමාට සුව නොකළ හැකි දෂ්ටනයන් තිබේයැයි මම නම් සිතන්නේ නැතැ”යි කිව්වාලු. විෂ වෙදකම සොයාගත් සෘෂීන්ට පවා සුවකළ නොහැකි අන්දමේ දෂ්ටනයන් තිබෙන බව මෙයට ප්‍රතිචාර ලෙස කපුරුනාදතුමා ප්‍රකාශ කර තිබෙනවා.තමාටත් ඒවා කියාදෙන ලෙස නාගයා කළ ඉල්ලීම නිසා, රජතුමා මරාදැමීමට මෙසේ අසනා බවක් නොදත් වෙදතුමා, දෂ්ට කළ ගමන්ම මැරෙන නැකැත්, පැය කීපයකින්, දින කීපයකින් මැරෙන නැකැත් ආදිය ගැන විස්තරයක් නාගයාට පැවසුවා. සාකච්ඡාවෙන් මද වේලාවකට පසුව වෙදතුමාගෙන් සමුගත් නාගයා ආපසු හැරී මාළිගයට ගොස්, අසාගත් නැකතක් පැමිණෙන තුරු ‍රැක හිඳ, දින සතකින් මැරෙන නැකතක් උදා වූ විට රජතුමාට දෂ්ට කළා.

දු‍ටුගැමුණු රජුගේ මරණය -රජතුමාට නැවතත් නයෙකු දෂ්ට කර තිබෙන බව දැනගත් වහාම කපුරුනාද වෙදතුමා වෙත දූතයෙකු පිටත්කර යැවුණා. දූත ලක්ෂණ අනුව වෙදතුමා දැනගත්තාලු මෙවර නම් රජතුමා ගලවාගැනීමට නොහැකි බව. නමුත් දෂ්ට කර ඇති නැකතට අනුව රජුගේ ජීවිතය දින සතක් ‍රැකෙන බව දැනගත් ඔහු වහා රජු දැකීමට පිටත්ව ගියා. සිහිමූර්ජාව සිටි රජතුමාට ප්‍රතිකාර කර සිහිගැන්වූ වෛද්‍යවරයා රජුට සැලකරන්නේ මෙවර නම් එතුමා බේරාගැනීම තමාට තබා විෂ විද්‍යාව සොයාගත් සෘෂිවරයාටත් නොහැකි බවත්, සත් දිනකින් මරණය ස්ථිර බවත්.

වේදනාවෙන් පීඩා විඳිමින් එය අසන රජතුමා තමන්ට මෙය සිදුකරන්නට ඇත්තේ තමන් බලහත්කාරයෙන් බිසෝ තනතුරේ තබාගත් නාග කන්‍යාවගේ ඥාතියෙකු විය හැකි බව අනුමාන කළා ලු. ඉන් අනතුරුව අමාත්‍යාදීන් ‍රැස්කර, සද්ධාතිස්ස කුමරුන් ද ගෙන්වා රාජ්‍ය පාලනයත්, මහා සෑයේ වැඩකටයුතු අවසන් කිරීමත් ඔවුන්ට පැවරූ දුටුගැමුණු රජතුමා, දෂ්ටනයෙන් සත් දිනක් ගෙවුණු තැන මරණයට පත්වුණු බවයි ජනකතාවේ කියවෙන්නේ.මේ ජනකතාව තහවුරු කිරීමට තරම් සාක්ෂියක් ඉතිහාසයෙන් හමුවන්නේ නැතත්, කපුරුනාද නම් විෂ වෛද්‍යවරයෙකු උතුරුමැද පළාත ආශ්‍රිතව විසූ බවට ලිඛිත සාධක හමුවෙනවා. කෙසේ නමුත් ඒ ගැනත් ඊට වඩා සාක්ෂියක් සොයාගන්නට නැහැ.