Naifmvlog

Naifm vlog Gossip and News

කැලණි ගඟින් මතුවන රන්වල දෙවියෝ

නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්.විශේෂයෙන් කැලණි නදියේ පහළ ගංඟාධාර ප්‍රදේශය සේ සැළකෙන හංවැල්ලෙන් පහළ ප්‍රදේශය නිරතුරුවම ගංවතුර උවදුරට ලක්වෙනවා.නමුත් කැලණි ගඟේ ගංවතුර පසුබිමෙන් මතුවන අපූරු දේව පුරාවෘත්තයක් ගැන ඔබ අසා තිබෙනවාද?දෙගම්බඩ දෙවියන් යනුවෙන් හැඳින්වෙන රන්වල දෙවියන්ගේ පුරාවෘත්තය සහ කැලණි නදිය අතර ඇත්තේ අවියෝජනීය සබැදියාවක්.

පුවක්පිටිය ඇස්වත්ත ප්‍රදේශය ආශ්‍රිත දුම්බුකඩුව වක්කලම නම් ස්ථානයේ සිට කැලණි විහාර තොටුපළ දක්වා කැලණි ගං ප්‍රදේශයට රන්වල දෙවියන්ගේ අණසක පවතින බවයි ජන විශ්වාසය.නමුත් එවැනි දේව අනසකකට යටත් ප්‍රදේශයක් නිරතුරුව ගංවතුර අවදානමට ලක්වීම ඔබට ගැටලු සහගත තත්ත්වයක් වන්නට පුළුවන්. නමුත් රන්වල දෙවියන්ගේ දේවත්වයත් ගංවතුරක් හා සම්බන්ධ වූවක් බව ඔබ දන්නවාද?දෙවනි රාජසිංහ රජ සමයේ දී කැලණි ග‍ඟේ රන්වල තොටුපළ ආශ්‍රිතව අතුපළක ජීවත් වූ රන්වල මුත්තා නමින් හැඳින් වුණු උපාසක රාළ ජීවත් වී ඇත්තේ ප්‍රදේශයේ ජනතාව නිතිපතා ගෙනවිත් දෙනු ලබන ආහාර පාන වලින්.

ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී එම අතුපැළෙන් එළියට යා නොහැකිව එතුළටම වී සිටි ඔහු ගේ ජීවිතය මුළුමනින් රඳා පැවතුණේ ගැමියන්ගෙන් ලැබෙන ආහාර පාන මතයි.එක්තරා දිනයක ඒ ප්‍රදේශයට මහා වර්ෂාවක් ඇද හැළී එම වර්ෂාව පසුදා පහන්වන තුරුම අඛණ්ඩවම පැවතුණා. පසුදා උදෑසන එම රන්වල මුත්තා සිටි අතුපැළට ගිය ගැමියෙකුට දැක ගත හැකි වූයේ එම අතුපැළ තුළ රන්වල මුත්තා මැරී සිටින ආකාරයයි.පසුව මේ පිළිබඳව ගම පුරා ආරංචි පැතිර ගිය අතර පෙරදා දහවල් සහ රාත්‍රී මුත්තාට ආහාර සැපයූවන් පිළිබඳව ගම්මුන් විමසා සිටියා.

එහිදී ඔවුන්ට දැන ගත හැකි වූයේ පෙරදා පැවැති වර්ෂාව නිසා මුත්තාට ආහාර සැපයීමට කිසිවකුටත් ඉඩ ලැබී නොමැති බවයි.ඉන්පසුව මුත්තාගේ පැළට ඉහළ අහසේ හෙන හතක් පිපිරී එක දිගට දින හතක් මහ වැසි ඇද හැළී වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කොරළයේ ගම් හතක් සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හේවාගම් කොරළයේ ගම් හතක් මුළුමනින් යටවී ගිය බව ජනප්‍රවාදයෙහි සඳහන්. එය රන්වල දෙවියන්ගේ දේවත්වයේ ආරම්භය ලෙසයි ගම්මුන් සලකන්නේ.

ඒ අනුව අද වන විටත් රන්වල දෙවියන්ගේ විවිධ ප්‍රමාණවල ප්‍රතිමා සිය ගණනක් කැලණි ගඟ දෙපස පිහිටි සියනෑ කෝරළයේත් හේවාගම් කෝරළයේත් දැකගන්නට පුලුවන්. නමුත් පොදුවේ ගත් කල රන්වල දේව ප්‍රතිමා ස්වරූප දෙකකින් නිර්මාණය වී තිබෙනවා.ඉන් එකක් නම් නම් දිව්‍යමය ස්වරූපයයි. එම රුව දකින ඕනෑම අයෙකුට මෙය කිනම් හෝ දෙවිකෙනෙකුගේ යැයි වැටහීමක් ලැබෙනවා. අනෙක මනුෂ්‍ය ස්වරූපයයි.මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී සිටින රන්වල දෙවියන්ගේ රූපය දකින අයෙකුට සිතෙන්නේ මෙය ගම්බදව ජීවත් වූ යම්කිසි ප්‍රභූවරයකුගේ ප්‍රතිමාවක් විය හැකි බවයි.

රන්වල දේව ප්‍රතිමාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ මෙම මනුෂ්‍ය ස්වරූපයෙන්.එම ප්‍රතිමාවල විශේෂයෙන් දක්නට ලැබෙන දෙය වන්නේ නිරාවරණය වුණු උඩුකය උතුරු සළුවකින් වසාගෙන සිටීම සහ අතේ ‛සෝලු ලීයක්’ හෙවත් සැරයටියක් තබාගෙන සිටීමයි. ඊට අමතරව නවගුණ වැලක් අතින් ගත් ස්වරූපයක් මෙන්ම පුස්තකයක් අතේ තිබෙන ස්වරූපය වැනි විවිධාංගීකරණයට ලක්වුණු රන්වල දේව ප්‍රතිමාවන් ද දකින්නට පුලුවන්.නමුත් රන්වල දෙවියන්ගේ අනන්‍යතාව පැහැදිලි වන ප්‍රතිමා ස්වරූපය වන්නේ නිරාවරණය වූ උඩුකය උතුරු සළුවකින් වසාගෙන තිබීමයි. එයින් පැහැදිලි වන්නේ එතුමන් උපාසක ස්වරූපයකින් පෙනී සිටින බවයි.

එමෙන්ම අදටත් ගංවතුර සමයන්හි ඇතැම් සන්ධ්‍යා සහ රාත්‍රී කාලවල රන්වල තොටුපළ, දුම්බුකඩුව, රක්ගහවත්ත, ඇස්වත්ත ආදී තොටුපළවල් ආශ්‍රිතව ඉහත සඳහන් රූපකායට සමාන අත්භූත රූපයක් ඇතැම් ගැමියන් හමුවේ දර්ශනය වන බවත් ඒ රූපය රන්වල දෙවියන් ලෙසින් හඳුනාගෙන ඇති බවත් එම ප්‍රදේශවල ජන විශ්වාස විමසීමේදී දැනගන්නට පුළුවන්.රන්වල දෙවියන් මෙසේ උපාසක ස්වරූපයෙන් පෙනීසිටීම පිළිබඳව බොහෝ පුරාවෘත්ත අසන්නට ලැබෙනවා. එවැනි පුරාවෘත්ත සිය ගණනක් වුවත් සොයාගන්නට පුලුවන්. මේ අතුරින් ප්‍රකටම පුරාවෘත්තයක් වන්නේ දෙවැනි ලෝක යුද සමයේදී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සිටි ඉන්දියානු සෙබලකු මුහුණ දුන් අත්දැකීමක්. ඒ සිද්ධිය මෙසේයි.ඒ කාලයේ වර්තමාන හංවැල්ල සහ සමනබැද්ද අතර කැලණි ගඟ හරහා පාළමක් ඉදිවී තිබුණේ නැහැ. එතැන තිබුණේ තොටුපොළක් පමණයි.

එය එකල හැඳින්වූයේ ‛හංවැල්ල තොටුපළ’ ලෙසිනුයි. ඊට ‛ගුරුබැවිල’ යන නම ද යොදා තිබෙනවා. නමුත් දෙවැනි ලෝක යුධ සමයේදී මෙහි පාරු පාළමක් තනා තිබුණා.ඒ පාරු පාළම යොදාගෙන තිබුණේ හේවාගම් කෝරළයේ සිටි හමුදා සෙබලුන් සියනෑ කෝරළය කරා ප්‍රවිෂ්ට කිරීම සඳහායි. එදා එතැන මුර සේවයේ යොදවා තිබුණේ ඉන්දීය ජාතික සෙබලෙක්.කැලණි ගඟ ඔස්සේ නිතර ඔරු පාරු ගමන් කරන නිසා මෙතැන පාරු පාළමක් ඉදිකොට තිබුණත් එය ප්‍රයෝජනයට නොගන්නා අවස්ථාවලදී පාළමේ පාරු කීපයක් තාවකාලිකව ඉවත්කොට සාමාන්‍ය ඔරු ගමන් කරන්නට ඉඩකඩ සලසා දී තිබුණා.දිනක් මෙහි මුර කටයුත්තේ යෙදී සිටි ඉන්දීය සෙබලා ගඟේ ඉහළ පැත්තේ සිට පහනක් දල්වාගෙන පැමිණෙන ඔරුවක් දුටුවා. මධ්‍යම රාත්‍රි යාමය වූ එය පාරු පාළමින් කැලණි ගඟ සම්පූර්ණයෙන්ම වැසී තිබුණු අවස්ථාවක්.එබැවින් සාමාන්‍ය ඔරු පාරු ගමන් කිරීම සඳහා ඉඩ සළසා තිබුණේ නැහැ.

කිසියම් පුද්ගලයකු එම ඔරුවේ සිටගෙන සිටින බවත් එහි පහනක් දැල්වෙන බවත් මේ සෙබලා දුරදීම දුටුවා.එබැවින් මෙම සෙබලා ‛හෝල්ට්’ යනුවෙන් මහ හඬින් මොර දුන්නා. නමුත් ඔරුවේ පැමිණි තැනැත්තා ඒ පිළිබඳව තැකීමක් කළේ නැහැ. මේ අවස්ථාවේදී සෙබලා කළේ තම අණ නොතැකීමේ වරදට එම ඔරුවේ එන පුද්ගලයාට වෙඩි තැබීමයි.වෙඩි හඬත් සමග එම ආලෝකය නැතිවී යන අයුරු සෙබලා දුටුවා. වෙඩි වැදුණු තැනැත්තා ගං දියඹට ඇද වැටෙන්නට ඇතැයි සෙබලා සිතන්නට ඇති.නමුත් ඊළඟ මොහොතේ ඔහු දුටුවේ නැවතත් එම ආලෝකය දැල්වී ගඟ අවහිර කරමින් වැටී තිබූ පාරු පාළම අතරින්ම එම ඔරුව සහ පුද්ගලයා ගඟේ පහළට නිරුපද්‍රිතව යාත්‍රා කරන අන්දමයි.මෙය දැකීමත් සමඟ සෙබළාට මර උණ ගැනුණා.

එම උණ රෝගය සහිතවම ඇඹුල්ගම හමුදා මුරපොළට ගිය ඔහු රාත්‍රියේ තමා දුටු එම අද්භූත සිදුවීම එහි සිටි බොහෝ දෙනෙකු හා පැවසුවා. ඒ සමගම උණ රෝගය උත්සන්නවීම නිසා ඔහු එහිදී මිය ගියා.මේ සිද්ධිය සියනෑ කෝරළයේත් හේවාගම් කෝරළයේත් ජනතාවගේ මුවින් මුව තුඩුදුන් කතාවක්. ආර්.ඒ. පියදාසයන් ලියූ ‛රන්වල දෙවියෝ’, සුසන්ත ජයමාන්න ලියූ ‛අසිරිමත් කැලණිය’ යන කෘතීන්වලත් මෙම ජනප්‍රවාදය සඳහන් වෙනවා.රන්වල මුත්තාගේ මරණයෙන් පසු රාත්‍රී කාලයට කැලණි ගඟේ ඉහළට පහළට වරින් වර ගමන් කරන ආලෝකයක් බොහෝ දෙනෙකු දැක තිබෙනවා. ඇතැමුන් පවසන්නේ එම ආලෝකය අද ද ඉඳහිට දක්නට ලැබෙන බවයි. නමුත් බොහෝ දෙනෙකු තමන් මෙම ආලෝකය දුටු බව කිසිවකු හා පවසන්නට මැළිකමක් දක්වනවා.එයට හේතුව තමන්ගේ රහස් අන් අය හා පවසනවාට රන්වල දෙවියන් කැමැත්තක් නොදක්වන බව ගැමියන් විශ්වාස කිරීමයි.

කෙසේ හෝ අතීතයේ සිටම මෙසේ වරින් වර කැලණි ගඟේ ඉහළ පහළ යන ආලෝකය දැක තිබූ ගැමියන්, එය රන්වල දෙවියන් කැලණි විහාරය වැදුම් පිදුම්කිරීමට යන ගමනක් ලෙස හඳුන්වන්නට පටන් ගත්තා.අතීතයේ කැලණි ගඟ දිගේ පහළට ප්‍රවාහනය කරන ලී පහුරු එක්තරා ස්ථානයකදී පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ ස්ථානය හැඳින්වූයේ ‛මුරපොළේ තොටුපල’ නමින්.ඒ තොටුපළේ රේන්දය ලබාගෙන තිබුණේ කැලණියේ ධනවත් ව්‍යාපාරිකයකු සහ වෙද මහතෙකු වූ ‛සියනේරිස් වෙද මහත්තයා’ යි. මේ මුරපොළේ තොටුපොල සියනේරිස් වෙදමහතාගේ ඉඩමට යාබදව පිහිටීමත් ඔහු මේ රේන්දය ගැනීමට හේතුවන්නට වන්නට ඇති.

ඉතා කාර්ය බහුල දිවියක් ගත කළ සියනේරිස් වෙදමහතා බොහෝවිට මේ තොටුපළේ රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වී සිටියා. බොහෝ විට කැලණි ගඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය සිදුවූයේ රාත්‍රී කාලයේදීයි.කෙසේ නමුත් රාත්‍රී කාලයේදී ගඟ දිගේ ගමන් කරන රන්වල දෙවියන්ගේ ආලෝකය ඔහු බොහෝ අවස්ථාවල දැක ඇති බවත්, එය තව බොහෝ දෙනෙකුට පවසා තිබූ බවත්, ජනප්‍රවාදයේ පැවසෙනවා. මේ ප්‍රවෘත්තිය ද ‛අසිරිමත් කැලණිය’ කෘතියේ සඳහන්.ඒ අනුව වර්තමානයේ වුවත් ගංවතුර කාලයට රන්වල දෙවියන්ගේ රූපය සහ ආලෝකය තවත් බොහෝ දෙනෙකු දැක තිබුණත් එය වෙතත් අයකුට නොපැවසීමේ හේතුවත් අපට සිතා ගන්නට පුලුවන්.