Naifmvlog

Naifm vlog Gossip and News

ඔබේ අවසානය සිදුවෙන හැටි

දූ දරු වස්තු සම්පත් අසීමිත තණ්හාවෙන් බදා ගෙන සිටින මිනිසා, තමන් ගේ ධනය බලය පෙරදැරි කොට ගෙන මරණය අමතක කරන්නට උත්සාහ කරයි. මැරෙන බව සිතාගන්නටවත් අකැමැතිය. “අද අද එයි මරු පින් කැර ගන්නේ… කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ” යි ලෝ වැඩ සඟරාවේ තිබුණ ද ඒ පාඩම බොහෝ දෙනාට අමතක ය. ඊට හේතුව අවිද්‍යාවය, නොදන්නා කමය. මෝහය හෙවත් මෝඩකම ය. බොහෝ දෙනා සිතා සිටින්නේ දූ දරුවන් දියුණු වී මුනුපුරු මිනිබිරියන් දොස්තර හෝ ඉංජිනේරුවන් වී වැජඹෙන අයුරු දකින්නට පුළුවන් ය කියා ය. එහෙත් නොසිතූ නොපැතූ අයුරින් හිටි හැටියේ මැරී වැටෙන තුරු එවැනි මරණයක් කිසි සේත් ම බලාපොරොත්තු නොවෙති. වර්තමානයේ රජයේ හා පෞද්ගලික රෝහල්වල ෆාමසිවල පෝලිම් දකින විට ද ඒ වෛද්‍යවරු – සේවකයෝ හෝ රෝගීහු තමන් තවත් කාලයක් ජීවත් විය යුතුම යැයි සිතා ගෙන සිටිති. මරණය ඉතා ම අප්‍රසන්න, හිතන්නවත් අකැමැති දෙයකි, දුකකි.

මිනිසෙකු මේ ලොවට බිහි වන්නේ කෙසේදැයි පළමුව විමසා බලමු. මවු පිය සම්බන්ධයෙන් ඉතා ම කුඩා සියුම් මස් වැදැල්ලක් ගර්භාශ බිත්තියක ඇලී හට ගනී. කර්මානුරූප භව ගාමියෙකු ගේ පෙර භවයේ චුති චිත්ත වේගය සමඟ හදය වත්ථු රූපය හා ජීවිතේන්ද්‍රිය රූපය එක වර (පෙර පසු නොවී) මේ ස්ථානයට පහළ වෙයි. එයට ප්‍රතිසන්ධිය හෙවත් පිළිසිඳ ගැනීම යයි කියති. මෙසේ හදය වත්ථු රූපයත් ජීවිතේන්ද්‍රියත් පහළ වී ඊට කාය දසක, භාව දසක හා වස්තු දසක යන රූප කලාප තුන හට ගැනේ. එතැන් පටන් හැදී වැඩී මවු කුසින් බිහිව ආහාර – ඍතු – චිත්ත – කර්ම ශක්තීන්ට අනුව ජීවත් වෙති. ඒ අභිධර්මයට අනුව ය. මෙසේ ජීවත්වන මිනිසාට මරණය සිදු වන සැටි අපවත් වී වදාළ අභිධජ මහා රට්ඨ ගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ ඉතා සරලව පැහැදිලි කළේ මෙසේ ය. මිනිසාගේ භෞතික ශරීරය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි අවස්ථාවේ අවසාන චුති චිත්තය නිරුද්ධව ඒ ශරීරයෙන් නික්ම යෑම, ඉවත්වීම, මරණය වශයෙන් සැලකෙනවා.

වර්තමාන මිනිසා ජීවත්වන මේ කාල පරිච්ඡේදය “කලියුගය” වශයෙන් සැලකෙනවා. මේ කලියුගයේ මිනිසකුට ජීවත්විය හැකි උපරිම වයස අවුරුදු 120 ක් කියලා පිළිගැනීමක් තියෙනවා. කෙනෙක් අවුරුදු 500 ක් ජීවත් කරවන්න පුළුවන් කර්ම ශක්තියකින් උපන්නත් ඔහුගේ හෝ ඇගේ ශරීරය පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාර පාන ඍතු ගුණ ආදියට අනුව ඊට වඩා කාලයක් ජිවත් වෙන්න මේ යුගයේ අමාරුයි. ජීවිතය පවත්වා ගෙන යන්න හටගත් කර්ම ශක්තියට අනුව සකස් වුණ, යුගයට නියමිත වයස අවුරුදු 120 ට ළං වෙන කොට ඔහු මැරෙනවා. ආයු ශක්තිය, බලය ක්ෂය වීම නිසා සිදුවන ඒ මරණයට “ආයුක්ඛය මරණය” යැයි කියනවා. ඒ වගේ ම කෙනෙකුට ප්‍රතිසන්ධියේ දී උපත ලබා දීමට ක්‍රියාත්මක වූ කර්ම ශක්තිය ගෙවීමත් සමඟ සිදු වන මරණයට “කර්මක්ෂය මරණය” යැයි කියනවා. ඔහු අවුරුදු 90 ක් ජීවත් කරවන්න ශක්තිමත් කර්මයකින් ඉපිද වයස 90 දී මැරුණොත් ඒ කර්මක්ෂය මරණයයි.

ඔහුට මේ යුගයට සම්මත අවුරුදු 120 ජීවත්වෙන්න බැරි වුණා. ඊට කලින් ජනක කර්මයේ ශක්තිය ක්ෂය වුණා. කෙනෙක් අවුරුදු 120 ක් ජීවත් කරවන්නට සමත් ජනක කර්මයකින් උපන්නා නම් ඒ අවුරුදු 120 ගෙවුණු තැන ඒ යුගයට අයත් නියමිත වයස් සීමාව ද ගතකොට මැරුණා නම් ඒ උභයක්ෂය මරණයයි. ආයුෂය හා කර්මය යන උභය ශක්තීන් අවසන් වීමෙන් මේ “උභයක්ෂය මරණය” සිද්ධ වෙනවා. කෙනෙක් අවුරුදු 120 ක් ජීවත් කරවන්නට පුළුවන් කර්ම ශක්තියකින් උපත ලබා දුන්නත් ඔහුගේ චර්යාවන්ගේ වරදක් අඩුපාඩුවක් නොසැලකිලිමත් බවක් නිසාත් කර්මානුකූලව නියමිත ආයුෂ ගෙවෙන්න කලින් අකාලයේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන්, ශරීරය දුර්වල කැරගෙන මැරෙන්න පුළුවන්.

සිහි කල්පනාව වෙනතකට යොමුකොට අපරීක්ෂාකාරීව ගමන් කිරීමේදී වාහන අනතුරකට ලක්වීම ආදී නොසැලකිලිමත් බවක් නිසා කෙනෙක් මැරෙන්න පුළුවන්. ඉක්මන් කෝපය, හදිසි කලබල ගතිය නිසාත් එහෙම වෙනවා. ඒවාට අතීත අකුසල කර්ම විපාකත් බලපාන්න පුළුවන්. නියමිත ආයුෂයත්, ජනක කර්ම ශක්තියත් තිබියදී මෙසේ සිදුවන මරණවලට අකල මරණ හෙවත් “උපච්ඡේදක මරණ” යැයි කියනවා.

මේ සතර ආකාරයෙන් වුණත් මරණය සිද්ධ වෙන්නේ පිළිසිඳ ගැනීමේ දී පහළ වූ ජීවිතේන්ද්‍රිය හෙවත් ජිවත් කිරීමේ ශක්තිය භෞතික ශරීරයෙන් මිදී ඉවත්ව යෑම නිසයි. මේ ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ භවය, හෙවත් අත්බව ඇති කරන්නට හේතු වූ පූර්ව කර්මයක විපාකයක්. රූපය යැයි කියන්නේ සීත උෂ්ණාදි හේතු නිසා රුප්පනය හෙවත් වෙනස් වීමට ලක්වන නිසා බුදු රජාණන් වහන්සේ රූපයේ ඉතා ම සියුම් කුඩා ඒකකය බුදු නුවණින් සොයා දැක වදාළා. “රූප කලාපය” සෛලයටත් වඩා, පරමාණුවටත් වඩා කුඩා ඇසට නොපෙනෙන, තවමත් නවීන විද්‍යා උපකරණවලින් පවා දැකිය නොහැකි වූ කුඩා ම ඒකකයක්. මේ කුඩා ම රූප කලාපය තුළත් පථවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර මහා ධාතූ රූප ද, ඒ ධාතු රූප නිසා හට ගන්නා වර්ණ, ගන්ධ, රස, ඕජා, යන උපාදා රූප සතර ද යන රූප අට හෙවත් ශුද්ධාෂ්ටකය පවතිනවා. ගස් ගල් ඇඳ පුටු ආදී සියලු භෞතික වස්තුවලත් කුඩා ම ඒකකය මේ ශුද්ධාෂ්ටකයයි.

ඒත් මිනිස් ශරීරයේ මේ ශුද්ධාෂ්ටකය සමඟ තවත් රූප විසි අටක් පවතිනවා. මේ රූප උපදින්නත් හේතු හතරක් තියෙනවා. කර්මය නිසා උපදින “කර්මජ රූප”, සිත හෙවත් චිත්ත ශක්තිය නිසා උපදින “චිත්තජ රූප”, ඍතුව නිසා හට ගන්නා “ඍතුජ රූප”, ආහාර නිසා හට ගන්නා “ආහාරජ රූප ඒ සතරයි. අපේ ශරීරය සෑදී තියෙන්නේ මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක් සමූහ වශයෙන් ඝන වශයෙන් එක් වෙලා. මේ කර්මය හේතුවෙන් හට ගන්නා රූප ඉපදවන්නට නැත්නම් පාලනය කරන්නට රූප සමීපයේ “කර්මය” නැහැ. කර්මය අතීතයේ දී නිරුද්ධ වී හමාරයි. කර්මය නිරුද්ධ වී ගියත් ඒ කර්මය විසින් ඇති කරනු ලැබූ ශක්තිය “විපාක” වශයෙන් පුද්ගලයා ලුහුබැඳ එනවා. මේ කර්මය හේතු වී හට ගන්නා රූප පාලනය කරන්නේ “ජීවිත රූපය” හෙවත් ජීවිතේන්ද්‍රියයි. ජීවිතේන්ද්‍රියන් නාම ජීවිතේන්ද්‍රිය හා රූප ජීවිතේන්ද්‍රියය කියා දෙයාකාර රූප දෙකක්.

ජීවිත රූපය මඟින් මේ ශරීරයේ රූප පරම්පරාව පවත්වා ගෙන යන රූපවලට අපි “කර්මජ රූප” යැයි කියනවා. මිනිස් ශරීරය තුළ නාම, රූප පරම්පරාව පවත්වා ගෙන යන කර්මජ රූප නවයක් (9) ක් තියෙනවා. චක්ඛු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය, ජීවිතා ප්‍රසාදය, කාය ප්‍රසාදය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය, වස්තු රූපය හා ජීවිත රූපය (ජීවිතේන්ද්‍රිය) ඒ රූප නවයයි. මේ මේ ජීවිතේන්ද්‍රිය මඟින් කර්මජ රූප පාලනය කරනවා. ජීවිතේන්ද්‍රිය සත්ත්ව ශරීරවල මිසක් භෞතික වස්තුවල නැහැ.

ඉහත කී ජීවිතේන්ද්‍රිය හා අනිකුත් කර්මජ රූප නැවියා සහ නැව වගෙයි. නැවියා නිසා නැව ගමන් කරනවා. නැව නිසා නැවියා ගමන් කරනවා. මේ අපේ ජීවිතය පවත්වා ගෙන යන ශක්තිය වූ ජීවිතේන්ද්‍රිය ශරීරයෙන් මිදී යෑමයි මරණය කියන්නේ. මේ අත්බව ඇති කරපු පූර්ව කර්මයේ විපාකයක් ජීවිතේන්ද්‍රිය. උත්පත්තිය ඇති කළ කර්මයේ විපාක දීම් ශක්තිය අවසන් වූ විට ජීවිතේන්ද්‍රිය අවසන් වෙනවා. නිරුද්ධ වෙනවා. එතකොට අර කලින් කී ක්‍රම හතරෙන් එකකින් මරණය සිද්ධ වෙනවා. මේ මරණයට බෞද්ධ සාහිත්‍යයේ කියනවා මාරයා අරගෙන යනවා ය කියා. “මාර” තත්ත්වය පංච විධයි.

මරණයෙන් පසු මිනිසා සුගතියට හෝ දුගතියට යනවා. සමහර ආගම්වල මරණයෙන් පසු දෙවියන් වහන්සේ වෙත හෝ අපායට යනවා කියනවා. මේ හැම දෙයකින් ම කියන්නේ මරණයේදී කර්මානුරූපව ඊළඟ භවය සකස් වෙන බවයි. මරණය දුකයි. සාමාන්‍ය බොහෝ දෙනා මරණාසන්නයේ දී කළ අකුසල් හා නොකළ කුසල් නිසාත්, ලෝභ, ද්වේෂ, මෝහ නිසාත් පසු තැවෙනවා. දැවෙනවා. එය දුගතිගාමී වීමට හේතු වෙනවා