Naifmvlog

Naifm vlog Gossip and News

දියුණු වෙන්න පහසු ක්‍රම

පුද්ගලයන් ධනවත් වීම සඳහා විවිධ ක්‍රම යොදාගන්නවා. ඇතැම් පුද්ගලයන් වාසනාව නිසා ඉතාම කෙටි කාලයකින්, කෙටි මාර්ගයකින් ධනවත් වෙනවා. ඇතැම් පුද්ගලයන් ඒ සඳහා දිගු කාලයක් තිස්සේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මේ කොයි ආකාරයෙන් මුදල් ඉපයීම සිදු කළත් මුදල් පාලනය කරන ආකාරය අනූවයි ධනවත් බව දිගටම රඳාපවතින්නේ. විවිධ අධ්‍යයන සිදු කරන්නකු වන ටොම් කෝර්ලි විසින් ධනවත් පුද්ගලයන් සහ ධනවත් නැති පුද්ගලයන් අතර වෙනස්කම් වසර 5ක්‌ තිස්සේ අධ්‍යයනය කළා. මේ ලිපිය සකස් කරන්නේ ඔහුගේ අධ්‍යයන ආශ්‍රයෙන්. ඉතින් ඔබත් ධනවත් වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පහත දේවල් කිරීමෙන් වලකින්න.

01. අලුත් පුද්ගලයන් දැන හඳුනා නොගැනීම.

ධනවත් පුද්ගලයන්ගෙන් 68% දෙනෙකුම අලුත් පුද්ගලයන් හමුවීමට ඉතා කැමැත්තක් දැක් වූ අතර එතරම් ධනවත් නැති පුද්ගලයන්ගෙන් එවන් කැමැත්තක් පෙන්නුවේ 11%ක්‌ පමණයි. මුදල් අතින් හොඳ ස්ථාවරත්වයක් පෙන්නුම් කරන පුද්ගලයන් නිතරම අලුත් පුද්ගලයන් දැන හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ සිතෙහි තමන් පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නැංවීමටත් නිතරම උත්සාහ ගන්නවා.

02. වාසනාව සහ ඉරණම විශ්වාස කිරීම.

ඔබට ඉතා කලාතුරකින් ඔබගේ වාසනාව, ඉරණම වැනි දේවල් ගැන විශ්වාසය තැබිය හැකි වුණත්, ධනවත් වීම වැනි ඉතාම වැදගත් කාරණයකදී එවන් යමක් මත විශ්වාසය තැබීම ඉතාම අනුවණ ක්‍රියාවක්. බොහෝ ධනවත් පුද්ගලයන් මෙවැනි අවස්ථාවලදී තමන්ගේ උත්සාහය ගැන විශ්වාස කරන අතර දුප්පත් පුද්ගලයන්ගෙන් 90%ක්ම තමන්ගේ අසාර්ථකත්වයට හේතුව ලෙස අවාසනාව සහ දෛවයට බැන වැදුනා. ඔවුන් සියලු දෙනාම පාහේ තමන්ගේ දියුණුවට හෝ අධ්‍යාපනය සඳහා ආයෝජනය කළ හැකි මුදල් අනාගතය කියන්නන් සහ ලොතරැයි සඳහා වියදම් කරනු දක්නට ලැබුණා.

03. අකමැත්තෙන් රැකියාවේ නිරත වීම.

ධනවත් පුද්ගලයන් 85%ක්ම තමන් කරන රැකියාවට ඉතා කැමති බව පැවසුවා. නමුත් දුප්පත් පුද්ගලයන්ගෙන් බොහෝමයක් දෙනා තමන්ගේ රැකියාවේ ඇති අඩුපාඩු සහ අවාසි ගැන කලකිරීමෙන් කතා කළා. එවන් මානසික තත්ත්වයක් යටතේ දියුණු වීම ඉතාම අපහසු කාරණයක්. ඔබ කරන්නේ ඔබට නොගැලපෙන, ඔබට අකමැති රැකියාවක් නම් ඒ පිළිබඳව කණගාටු වෙමින් පසු වනවාට වඩා කළ යුත්තේ අලුත් රැකියාවක් සොයා ගැනීමයි. තමන් කරන රැකියාවට කැමැත්තෙන්, සුභවාදී මානසිකත්වයකින් සිටින කෙනෙකුට නිතරම තමන්ගේ දියුණුව සලසා ගැනීම සඳහා වැඩි වැඩියෙන් නව අදහස් පහළ වෙනවා.

04. සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවීම.

ධනවත් පුද්ගලයන් ඔවුන්ගේ කාලයෙන් ඉතා විශාල කොටසක් සෞඛ්‍යය වෙනුවෙන් වැය කරනවා. ඒ අතර සමබල ආහාර වේලක් ලබා ගැනීම,සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග මගහැරීම, ව්‍යායාම කිරීම (ධනවත් පුද්ගලයන්ගෙන් 76%ක්ම අවම වශයෙන් සතියට 4 වතාවක්වත් ව්‍යායාම වල නිරත වෙනවා) දුම්බීම, මත්පැන්, සූදුව වැනි නරක පුරුදු හා ඇබ්බැහි වීම් වලින් ඈත් වී සිටීම, නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් වීම වැනි දේවල් සිදු කරනවා. නමුත් දුප්පත් පුද්ගලයන්ගෙන් 13%ක්‌ පමණයි යහපත් සෞඛ්‍යයක් සහ සාර්ථකත්වය අතර සම්බන්ධතාවයක් දුටුවේ.

05. අවදානමක් නොගැනීම.

දුප්පත් පුද්ගලයන්ගෙන් 6% පමණයි තමන්ගේ මූල්‍යමය දියුණුව සඳහා අවදානමක් ගැනීමට පෙළඹුනේ. නමුත් ධනවත් මිනිස්සුන්ගෙන් 50%ක්ම මෙම අවදානම භාර ගැනීමට කැමැති වුනා. ඒ වගේම ඔවුන් සියලු දෙනාම ජීවිතයේ එක් වරක් හෝ එවන් අවදානමක් ගෙන ඉතාම විශාල අසාර්ථකත්වයක් ලබා තිබුණා. එසේ තිබියදීත් ඔහු ඔවුන් තවත් වරක් අවදානමක් ගැනීමට පැකිලුනේ නැහැ.

06. රියැලිටි වැඩසටහන් නැරඹීම.

දුප්පත් පුද්ගලයන්ගෙන් 78%ක්ම රියලිටි වැඩසටහන් නැරඹීමට කැමැත්තක් දැක්වුවා. විශේෂයෙන්ම නැටුම් ගැයුම් වැනි රියැලිටි වැඩසටහන් වලට වඩා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතාබහ කෙරෙන රියැලිටි වැඩසටහන් වලට ඔවුන් කැමති වුණා. නමුත් ධනවත් පුද්ගලයන්ගෙන් 6%ක් පමණයි කුමන ආකාරයේ හෝ රියැලිටි වැඩසටහනක් නැරඹීම සිදු කරන්නේ. එයත් ඔවුන් පුරුද්දක් ලෙස සිදු නොකරන අතර පොදුවේ ගත් කළ රූපවාහිනිය නැරඹීමට ඔවුන් එතරම් කැමැත්තක් දක්‌වන්නේ නැහැ. අධ්‍යනයෙන් හෙළි වූ ආකාරයට ධනවත් පුද්ගලයන් බොහොමයක් දෙනා දිනකට පැයකටත් අඩු කාලයක් පමණයි රූපවාහිනිය ඉදිරියේ ගත කරන්නේ. ඒ වගේම රාජකාරිමය කටයුත්තකට හැරුණු කොට වෙනත් කාරණයක් සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔවුන් ඒ සඳහාද යොදවන්නේ පැයකටත් අඩු කාලයක් පමණයි.

07. පොත්පත් නොකියවීම.

“පොත් නොකියවීම යන්නෙන් අදහස් කරන්නේ සිතන්නේද නැති බවයි.” දොස්තයෙව්ස්කි වරක් පවසා තිබුණා. ධනවත් පුද්ගලයන්ගෙන් 88%ක්ම ලේඛකයාගේ එම ප්‍රකාශය හා එකඟ වෙනවා. ඔවුන් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ, ස්වයං දියුණුවට අදාළ පොත් හෝ ඉතිහාසය සාහිත්‍යය වැනි කුමන ආකාරයේ හෝ පොතක් කියවීමට දිනපතාම අවම වශයෙන් මිනිත්තු 30ක්‌වත් යොදාගන්නවා. නමුත් දුප්පත් පුද්ගලයන්ගෙන් පොත් කියවීම දිනපතා සිදු කරන්නේ 2% පමණයි.

08. පමා වී අවදි වීම.

ඉතාම ඉහළ ආදායමක් ලබා ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් අඩකට වඩා තමන්ගේ දවස රාජකාරිමය වශයෙන් ආරම්භ කිරීමට අවම වශයෙන් පැය 3කටවත් කලින් අවදි වීම සිදු කරනවා. ඒ කියන්නේ උදෑසන 5ට පමණ. ඉන්පසු ඔවුන් නිදහසෙන් ව්‍යායාම කිරීම, උදෑසන ආහාරය ගැනීම, දවස සැලසුම් කිරීම හෝ පෞද්ගලික ව්‍යාපෘතීන් වල නියැලීම වැනි දේවල් සිදු කරනවා. ඒ වගේම බොහෝ ධනවත් පුද්ගලයන් භාවනා කිරීමට හෝ නිශ්ශබ්දව කල්පනා කිරීමට මිනිත්තු 10-15 දිනපතාම වෙන්කර ගන්නවා. උදෑසන අවදි වීම යන්නෙන් අදහස් කරන්නේ ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම නොවෙයි. ඔවුන් සාමාන්‍යයෙන් නිර්දේශ කරන ආකාරයට රාත්‍රී 9-10 අතර නින්දට ගොස් පැය 7,8ක ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නවා. නමුත් දුප්පත් පුද්ගලයන් බොහෝ දෙනාම පාහේ පමා වී නින්දට ගොස් පමා වී අවදි වන පුද්ගලයන්.

09. වැරදි පුද්ගලයන් ආශ්‍රය කිරීම.

මාසෙන් මාසෙට අතට ලැබෙන පඩියෙන් ජීවත් වුණු පුද්ගලයන්ගෙන් 96% ක්ම නිතර තමන්ගේ ජීවිතයේ අඩුපාඩු ගැන පැමිණිලි කරන හෝ ඕපාදූප කියන පුද්ගලයෙක් ළඟින්ම ආශ්‍රය කරනවා. නමුත් ධනවත් පුද්ගලයන්ගෙන් කිසිම කෙනෙකු එවන් පුද්ගලයන් ආශ්‍රය නොකරන අතර ඒ වෙනුවට ඔවුන් නිතරම තමන්ව යමකට උනන්දු කරවන, තමාට ආදර්ශයක් සපයන, දියුණුව ගැන සැලසුම් කරන පුද්ගලයන් සමීපව ආශ්‍රය කරනවා. ඔබත් එවැනි පුද්ගලයන් ආශ්‍රය සඳහා සොයාගන්න. එසේ සොයා ගන්නා තෙක්, වැරදි පුද්ගලයන් ආශ්‍රය කරනවා වෙනුවට තනිවම සිටීම වඩා සුදුසු වෙනවා.

10. අනවශ්‍ය ලෙස වියදම් කිරීම.

බොහෝ දුප්පත් පුද්ගලයන් තමන් උපයනවාට වඩා ප්‍රමාණයක් වියදම් කරනවා. ඔවුන් තමන්ට අවශ්‍ය නැති වුණත්, වියදම දැරිය නොහැකි වුණත්, ණය යටතේ හෝ මිලාධික ජංගම දුරකථන, යානවාහන ආදී දේවල් මිලට ගන්නවා. නමුත් ධනවත් පුද්ගලයන් පහත දැක්වෙන ක්‍රමයට ඔවුන්ගේ අදායම අනූව අය-වැය පාලනය කරනවා.

  • 20% – ඉතිරි කිරීමේ ගිණුමට
  •  25% – කුලී හෝ උකස් සඳහා.
  •  15% – කෑම
  •  10% – විනෝදාස්වාදය
  • 5% – වාහන අලුත්වැඩියාව
  •  ඉතිරිය ඇඳුම්, බෙහෙත්, අධ්‍යාපනය සහ වෙනත් වියදම් සඳහා.