Naifmvlog

Naifm vlog Gossip and News

මහ පොළොව කම්පාවන අවස්ථා 4ක්

චාපාල චේතිය ආසන්නයේදී බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආයාචනාවට අනුව මෙයින් තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේ සිදු වූ මහ පොළොව කම්පාවීමෙන්, විවේකීව ගසක් මුල වැඩහුන් ආනන්ද හිමියන් පුදුමයට පත්ව, එසේ මහ පොළොව කම්පාවීමට හේතු බුදුරජාණන් වහන්සේගෙන් විමසයි. එවිට බුදුරජාණන් වහන්සේ මහපොළොව කම්පාවන අවස්ථා අටක් ඇති බව දේශනා කරයි. සම්බුද්ධ දේශනාවට අනුව එම කාරණා මෙසේය.

ආනන්දය, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශගතය. ආනන්දය, යම් කලෙක ඒ මහා වාතායෝ හමත්, මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ පළමුවන හේතුවයි. පළමුවන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවතද, සෘද්ධි ඇති, සිත වසඟ කරගත්, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, මහත් සෘද්ධි ඇති, මහානුභාව ඇති දේවතාවෙක් හෝ ඔහුගේ ස්වල්ප වූ පෘථිවි සංඥාව වඩන ලද්දේ වෙයි. අප්‍රමාණ වූ ආපො සංඥාවෙන් හෙතෙම මේ පොළොව කම්පා කරයි. විශේෂයෙන් කම්පා කරයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇති වීමට මේ දෙවන හේතුවයි. දෙවන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවතද බෝධිසත්ව තෙම තුසිත දෙවි ලොවින් චුතව, සිහි ඇතිව, මනා නුවණැතිව, මවු කුසට බැස ගනීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇතිවීමට මේ තුන්වන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවත ද යම් කලෙක බෝධිසත්ව තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, මවු කුසින් නික්මේ ද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන්කම්පා වෙයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇතිවීමට මේ හතරවන හේතුවයි. හතරවන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවත ද තථාගත තෙම නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කරගනී ද, (බුදුබව ලබා ද) එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ පස්වන හේතුවයි. පස්වන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවත ද තථාගත තෙම නිරුත්තර වූ ධර්ම චක්‍ර දේශනාව පවත්වාද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ සයවන හේතුවයි. සයවන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවත ද තථාගත තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, ආයු සංස්කාරය හරිද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ සත්වන හේතුවයි. සත්වන ප්‍රත්‍යයයි.

ආනන්දය, නැවත ද යම් කලෙක තථාගත තෙම නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිණිවේද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ අටවන හේතුවයි. අටවන ප්‍රත්‍යයයි. ආනන්දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ හේතු අටෙකි.