Naifmvlog

Naifm vlog Gossip and News

ඔබ තෝරාගෙන ඉන්න සැමියා ගැන දැනගමු

මේ ලෝකයේ කිසි කෙනෙක් අංග සම්පුර්ණ නැහැ. නමුත් ආදරයෙන් බැඳී ඉන්නකොට නම්, හොඳ, ලස්සන සහ සත්‍යගරුක හැමදෙයින්ම පරිපුර්ණ සහකරු අපට ලැබිලා තියෙනවා කියලයි අපිට හිතෙන්නේ. කොහොම වුනත්, ටික කලකට පස්සේ, අපි නිවැරදි පුද්ගලයා තෝරාගෙන තියෙනවාද කියලා අපට සැකයක් ඇති වීමට පටන් ගන්නවා.

රණ්ඩු සරුවල් ඇති වීමේදී, අදහස් නොගැලපීමේදි අපිට විවාහය එක තැන පල් වෙනවාක් වැනි කලකිරීමක්, එපා වීමක් ඇති වෙන නිසා ඉතිරි ජීවිත කාලයම එකට ගත කරන්න තමන් තෝරාගත්තේ හරි කෙනාද කියලා ඔබ‍ට සැක හිතෙනවා. ඉතින් ඒ සැකය නැති කරන්න, ඉතාම හොඳ ස්වාමි පුරුෂයෙක් සතු ලක්ෂණ අපි මේ ලිපියෙන් දක්වනවා. මේ ලක්ෂණ ඔබේ සැමියා ලඟ තියෙනවා නම්, ඔයා ගත්තා තීරණය වැරදිද කියලා ඔයා සැක කරන්න ඕනේ නැහැ. ඔයාට ලැබිලා තියෙන්නේ හොඳම කෙනා !

01. ඔහු ප්‍රශ්න වලට බය නැහැ.

හොඳ ස්වාමි පුරුෂයෙක් ලස්සන වචන කතා කරනවා වගේම, අවශ්‍ය වෙලාවට තීරණාත්මක, අසීරු හා නැණවත් තීරණ ගන්නත් පැකිලෙන්නේ නැහැ. ප්‍රශ්න වලට බිය නැති ඔහු ඔබ ප්‍රශ්නයකට මුහුණ දෙන විට ඔබව සනසන්න වගේම එයට විසඳුමක් හොයාගන්නත් දන්නවා.

02. ආහාර පිසීම.

නුතන කාන්තාවන් යෝග්‍ය සැමියන් ලෙස සලකන්නේ ආකර්ශනීය පෙනුම, කටහඬ, ගතිගුණ ඇති පිරිමින් පමණක් නෙවෙයි, ආහාර පිසීමේ හැකියාවත් තියෙන අයයි. ලොකු දේවල් නෙවෙයි, මුළුතැන්ගෙය වනසන්නේ නැතිව පළතුරු ටිකක් කපල සලාදයක් හදාගන්න පුළුවන් නම් කාන්තාවක් සතුටු කිරීමට එයත් ප්‍රමාණවත්.

03. ඔබේ වරදකදී උනත් ඔබ‍ට සහය වෙනවා.

ඕනෑම කෙනෙක් වැරදි කරනවා. ඒ වගේ වෙලාවට කවුරු නැතත් ඔබේ පැත්තේ සිටිය යුතු සමීපතමයන් අතර ඔබේ සැමියා ඉදිරියෙන්ම ඉන්නවා. ඔබ ගත් තීරණය වැරදි උනත්! පසුව පෞද්ගලිකව කතා කර වැරදි හදාගන්න පෙළඹීම අත්‍යාවශ්‍ය වුනත්, පිරිසක් ඉදිරියේ ඔබව විවේචනය කරනවා වෙනුවට ඔබට සහාය දැක්වීමයි ඔහු සිදු කළ යුත්තේ.

04. සුළු දේවල් වලට අවදානය දැක්වීම.

ඔබව මුණ ගැහුණු පළමු දවසේ ඔබ ඇඳන් හිටිය ඇඳුමේ පාට වගේ දේවල් නොවුනත්, ඔබේ ප්‍රියතම ගීතය, කැමතිම කෑම, ඔබ තේකට සීනි හැඳි කීයක් දානවද වැනි එදිනෙදා සිදු කරන දේවල් වල සියුම් ලක්ෂණ වලට ඔහු අවධානය දක්වනවා.

05. බුද්ධිමත් වීම.

බුද්ධිමත් වීම යන්නෙන් අදහස් කරන්නේ ඔහු වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු හෝ ක්වොන්ටම් භෞතික විද්‍යාව පැහැදිලි කළ හැකි විද්‍යාඥයකු විය යුතු බව නෙවෙයි. නමුත් ඔහු එදිනෙදා ජිවිතයේ ප්‍රශ්නවලට සාර්ථක විසඳුමක් සොයා ගත හැකි පුද්ගලයෙකු වෙන්න ඕනේ. ඔබ අම්මත් එක්ක රණ්ඩු වෙලා අමනාපෙන් ඉන්නා විට ඔබ දෙදෙනා අතර සාමය ඇති කළ හැකි උපදෙසක් දීමට හැකි සැමියෙක් ඉන්නවා නම් ඔබ ඉතා වාසනාවන්තයි.

06. ඔබව සතුටු කරන ක්‍රමය ඔහු හොඳින්ම දන්නවා.

ඔබ දුකින් ඉන්නා විට විහිළුවක් කිරීමෙන් හෝ නිවැරදි ආකාරයට ආදරය පෙන්වීමෙන් හෝ සිත සැනසීමට හැකි දෙයක් කිරීමෙන් ඔබගේ මුහුණට නැවත සිනාවක් ගේන්න ඔහු හොඳින්ම දන්නවා.

07. සාකච්ඡා කර විසදුමකට ඒමට ඔහුට හැකියි.

දක්ෂ සැමියකු සෑම විටම පොලිස් නිලධාරියකු, නිවසේ සේවකයකු, කරදරකාරී අසල්වැසියෙකු හෝ තමන්ගේ කෝපයෙන් පසුවන බිරිඳ සමඟ වුනත් ඕනෑම ප්‍රශ්නයකදී සාකච්ඡා කර විසඳුමකට හෝ දෙපාර්ශවයම සතුටට පත්වන තීරණයකට එළැඹීමට හැකි පුද්ගලයෙක්.

08. නිවසෙන් පිටවූ වහාම ඔබව අමතක කර දමන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පිරිමියකුට එක් වරකට අවධානය යොමු කළ හැක්කේ එක දෙයකට පමණයි. ඒ නිසයි ගෙදරදී සාකච්ඡා කරන ඔබේ ප්‍රශ්නයක් නිවසෙන් පිටවූ වහාම ඔවුන්ට අමතක වී යන්නේ. නමුත් හොඳ සැමියෙකුට නම් තමන් ආදරය කරන පුද්ගලයාගේ ප්‍රශ්න හෝ අවශ්‍යතා සුළු වේලාවකින්ම අමතක වී යන්නේ නැහැ. ඔවුන් සෑම විටම මූලිකත්වය දිය යුතු දේ ගැන සිහියෙන් පසුවෙනවා.

09. ඔබගේ අදහසට ඔහුට වටිනවා.

විවාහයක් කියන්නේ එකට ජීවත් වීම පමණක් නොවෙයි. විවාහයකදී සැමියා සහ බිරිඳ එකිනෙකාගේ මිතුරන් වගේම එකිනෙකාට උපදෙස් දිය හැකි පුද්ගලයන් බවටත් පත් විය යුතුයි. පවුල් ජීවිතයේදී එළඹෙන ප්‍රශ්න දෙදෙනාම සාකච්ඡා කර විසඳිය යුතු අතර අදහස් වලට ගරු කළ යුතුයි. මේ නිසා තනියෙන් තීරණ ගන්නවා වෙනුවට හොඳ සැමියෙක් ඕනෙම දෙයකදී ඔබේ අදහස් විමසනවා.

10. නිවසේ වැඩ වලට සහය වීම.

හොඳ සැමියකු කිසිවිටෙක ඔබව නිවසේ සේවිකාව බවට පත්කර ගන්නේ නැහැ. එවන් කෙනෙකු ආහාර පිසීම හා නිවස පිරිසිදු කිරීම කියන්නේ බිරිඳගේ පමණක් රාජකාරියක් කියා සලකන්නේ නැහැ. නිවසේ කටයුතු බෙදාහදාගෙන කිරීමෙන් ඒ සඳහා ගත කරන කාලය අඩු කරගත හැකි නිසා, ඒ ඉතිරි වන කාලය ඔබ දෙදෙනාට එකට චිත්‍රපටියක් නැරඹීමට, පවුලේ ප්‍රශ්න කතාබහ කිරීමට,දරුවන් සමග කාලය ගත කිරීමට ආදි ප්‍රයෝජනවත් දෙයකට වෙන්කරගත හැකි නිසා හොඳ සැමියෙක් සැමවිටම නිවසේ කටයුතු සඳහා ඔබට හැකි තරම් සහාය වෙනවා.

අපි මේ කිව්වේ හොඳ සැමියකුගේ පොදු ලක්ෂණ පමණයි. නමුත් එක් එක්කෙනාට වඩාත්ම හොඳින් ගැළපෙන පුද්ගලයා ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් අනෙක් සෑමදේම පසෙකලා “ඔබව අංක එක” බවට පත් කරගත හැකි කෙනෙක්, “ඔබට අංක එක” බවට පත් කර ගත හැකි කෙනෙක් සහකරුවා හෝ සහකාරිය ලෙස තෝරා ගැනීම තමයි සාර්ථක විවාහ ජීවිතයකට ඇති මාර්ගය.