Naifmvlog

Naifm vlog Gossip and News

ටී බෑග් විසි කරන්න එපා

ඔබත් ගෙවතු වගාවේ යෙදීමට කැමැති කෙනෙක් ද? එහෙනම් අපි ළඟ තියෙනවා ඔබ සඳහා අපූරු උපක්‍රමයක්! තේ සෑදීම සඳහා යොදාගන්නා තේ කොළ පිරවූ කුඩා “ටී බෑග්ස් (Tea bags)” භාවිතයෙන් පසු ඉවතලනවා වෙනුවට අදින් පසු ඔබට ඒවා ඔබගේ ගෙවත්ත සඳහා යොදාගන්න පුළුවන්. කසල ලෙස ඉවත දැමීමට සූදානම් වන දෙයකින් ඔබගේ ගෙවත්තට බොහෝ ප්‍රයෝජන තිබෙනවා කියා කවදාවත් ඔබ හිතන්න නැතුව ඇති. ඉතින් මේ ලිපියෙන් අපි ඔබ‍ට ඒ ප්‍රයෝජන සියල්ලම කියලා දෙන්න හිතුවා.

ගෙවතු වගාව කියන්නේ පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබ වගා කිරීම සිදු කරන්නේ බීජ භාවිතයෙන් නම් එය තවත් අමාරුයි. මොකද අපි බීජ බොහොමයක් යොදා ගත්තත් එයින් ප්‍රරෝහණය වන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් නිසා. නමුත් ඔබ පසට ටී බෑග් එකක් යොදනවා නම් වැඩි පැල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.

ටී බෑග්ස් වල අඩංගු තේ කොළ මගින් පසට පෝෂණය සැපයෙනවා. තේ කොළ වල අඩංගු ටැනින් සහ වෙනත් පෝෂකයන් නිසා එය ස්වභාවික පොහොරක් ලෙස ක්‍රියා කරනවා. විශේෂයෙන්ම තේ කොළ දමා ඇති කුඩා සුදු පැහැති බෑගය නිර්මාණය කරන්නේද කෙසෙල් වැනි ශාකයක් වන ඇබාකා ශාකයෙන් (Abaca plant) නිසා ඒවායේ බොහෝ තන්තු අඩංගු වෙනවා. එම නිසා තේ කොළ වගේම එම තුනී බෑගයද දිරාපත් වීමෙන් පසු පැල වර්ධනය වීම සඳහා සුදුසු ලෙස පෝෂණය සපයනවා.

ටී බෑග්ස් පලිබෝධකයන් පලවා හැරීම සඳහාද උපකාරී වෙනවා. ඔබට අවශ්‍ය නම් ටී බෑග් එකක් සමග කෝපි කුඩු ටිකක්ද පැළ වලට යෙදිය හැකි අතර ඒවායේ සුවඳ නිසා පැළ වල පත්‍ර හා මල් කා දමන පණුවන් ඒවායින් ඈත්ව සිටිනවා. ටී බෑග් එකක් පසට යට කිරීමේ ඇති තවත් ප්‍රයෝජනයක්‌ වන්නේ ඒවායේ ඇති වතුර රඳවා ගැනීමේ හැකියාවයි. ටී බෑග් මගින් වතුර උරා ගෙන රඳවා ගැනීම නිසා ඔබට වතුර දැමීමට අතපසු වූ දිනයක පවා පැල වලට හානියක් අඩුපාඩුවක් නොවී පවත්වා ගැනීමට හැකි වෙනවා.

පැලයේ මුල් අවට සහ පැලය වටේට ටී බෑග්ස් පසට යට කිරීම මගින් වල් පැලෑටි වලට වැවීමට ඉඩක් නොමැති වන නිසා පැලයට අවශ්‍ය පෝෂණය ලබා ගන්නා අතරම වල්පැළෑටි ඈත් කර තැබීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. බීජ වලින් පැල ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අවස්ථාවකදී බීජ සමඟ ටී බෑග් එකකුත් පසට යට කරන්න. එමගින් වැඩි බීජ සංඛ්‍යාවකින් පැළ ලබාගැනීමටත්, බීජ ප්‍රරෝහණය වන වේගය දෙගුණ කර ගැනීමටත් ඔබට හැකි වෙනවා.

පැළ සඳහා හානි කරන්නේ කෘමීන් වැනි කුඩා සතුන් පමණක් නොවේ. නිවසේ සුරතලයට ඇති කරන බළලුන් වැනි සතුන් විසින් මලපහ කිරීමට වලවල් හාරනවා ඔබ දැක ඇති. ඉතින් ඔවුන් මේ සඳහා ඔබගේ වගාව පහුරු ගානවා දැකීමට නම් ඔබ කැමති වෙන්නේ නැති වෙයි. ඉතින් මේ සඳහා ඔබට ඔබගේ වටිනා පැළ අසල ටී බෑග් සමග කෝපි කුඩු ටිකක් දමා තිබීමෙන් ඊළඟ දිනයේදී මලපහ කිරීමට පස ඉව කරමින් පැමිණෙන බළලුන් එම සුවඳට එතනින් ඉවත් වී යාවි.

පණුවන් කියන්නේ පැළ සඳහා එතරම් හිතකර සතුන් පිරිසක් නොවේ. නමුත් ඔබ පැල සමග ටී බෑග්ස් වල දමනවා නම් ඔබට ඔවුන්ගෙන් පවා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. පසේ ඉන්නා පණුවන් කොළ මතට ගොඩ වීමට පෙරම ඔවුන්ට පසේදීම ආහාරයට ගැනීමට දෙයක් තිබෙනවා නම් ඔවුන්ට කොළ වෙත ගමන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ටී බෑග් වල ඇති තේ කොළ මගින් ඔවුන්ට අවශ්‍ය ආහාර සපයන නිසා ඔවුන් පත්‍ර ආහාරයට ගන්නේ නැහැ. ඒ වගේම තේ කොළ පණුවන් විසින් ආහාරයට ගෙන ජීර්ණය කර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ලෙස පසට එකතු වූ පසු ඒවායේ ඇති පෝෂණ ගුණය තවත් වැඩි වෙනවා!