Naifmvlog

Naifm vlog Gossip and News

සැබෑ දේව පිහිට ලබාගන්න විදිය

ආකාසට්ඨාච භුම්මට්ඨා – දේවා නාගාච මහිද්ධිකා / පුඤ්ඤංතන් අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු ලෝක සාසනං …  මේ ගාථාව දෙවියන්ට පින්දෙන ගාථාව බව අප සැවොම දන්නා කරුණකි. අහසෙහි පොළොවෙහි වසන දේව, නාග සියලුදෙනාටම පින් දී චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයත් අපවත් ආරක්‍ෂා කරදෙන මෙන් පින් දී කරන ඉල්ලීමකි. දෙවියන් පමණක් නොව නාගයන් පවා අපට කෙතරම් සමීප බවක් ඇත්ද යන්න මින් පෙනීයයි. මෙහි නාගයන් යනු නාග ගෝත්‍රික නා ලොව වෙසෙන විවිධ වෙස් ගත හැකි, බුදුරජාණන් වහන්සේට බොහෝ ගරු කරන පින් කැමැති දේව සමූහයක් වෙයි.

එම නා ලොව වෙසෙන දෙවියන්ටද අප පින්දිය යුතුයි. අද බොහෝ දෙනකු තුළ දෙවියන් ගැන විවිධ මත ඇතිවී තිබේ. ඇතැම් හේතුවාදී අදහස් දරන්නන් දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැත. දෙවියන් ඇත, නැත, දෙවියන්ට වැඩ අවැඩ කරන්නට හැකියාවක් ඇත, නැත මේ ආදී විවිධ මතවලින් ගහන යුගයක මේ ලිපිය මඟින් කෙරෙන්නේ සැබෑ ලෙසින් දේව පිහිට පතන්නන් හට ඒ සඳහා මඟපෙන්වීමකි. වැරැදි මඟ ගොස් මංමුළා නොවී නිවැරැදි ලෙසට දෙවියන්ගේ පිහිට ලබන්න මෙය කියවන ඔබට උපකාරි වේ යැයි සිතමි.

බුදුරජාණන් වහන්සේ දිනක් ශක්‍ර දේවේන්ද්‍රයන් කැඳවා මෙසේ වදාළහ. “මගේ ඇවෑමෙන් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්‍ෂා වන්නේ ශ්‍රී ලංකාද්වීපයෙහිය. එම රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරන්නැයි” උන්වහන්සේ සක් දෙවිඳුට වදාළහ. සක් දෙවියන් වහාම උත්පල වර්ණ (උපුල්වන්) මහා විෂ්ණු දෙවියන්ට එම කාර්ය භාර කළේය. මහා විෂ්ණු දෙවියන් යනු දෙව්ලොව තේජවන්ත, බලවන්ත මහා දෙවියන් ලෙසින් හැඳින්වෙයි. අදත් මෙරට විපත්වලින් ආරක්‍ෂා කරන්නේ උන්වන්සේගේ පිහිටෙන්ය. එදා බෝ මැඬදී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව මුලින්ම දුටුවේද දෙවියන් විසිනි.

උන් වහන්සේට උතුම් වූ ධර්මය දේශනා කරන්න ඇරැයුම් කළේද දෙවියන්ය. තථාගතයන් වහන්සේගේ පළමු දම්සක් සූත්‍ර දේශනාවේදී පස්වග මහණුන් හැරුණු විට සිටියේ කෙළ ලක්‍ෂයක් දෙවියන් බඹුන් ඇතුළු පිරිසයි. මහාමංගල සූත්‍රය අනුව පෙන්වා දෙන්නේ එදා දෙවියන් දෙව්රම් වෙහෙර බබළවමින් මැදියම් රැයේ පැමිණ තථාගතයන් වහන්සේගෙන් මංගල කරුණු විමසූ බවයි. මේ අනුව පිරිත් සූත්‍ර විශාල ප්‍රමාණයක මහා සමය සූත්‍රය වැනි පිරිත් දේශනාවල දෙවියන් සිටින බව පැහැදිලිව සඳහන් වෙයි. මේ දෙවියන් අතර බුදුන් සරණ ගිය සම්‍යක්දෘෂ්ටික දෙවියන් මෙන්ම විවිධ තරාතිරම්වලට පත්වූ දෙවිවරු බොහෝ වෙයි.

අප තිස්තුන්කෝටියක් දෙවිවරු ගැන සඳහන් කරනුයේ එබැවිනි. අපේ පැරැණි අය සාමාන්‍ය ඇසට නොපෙනෙන නොහමුවන දේ ගැන සෙවීමේ ගුප්ත ශාස්ත්‍ර දැන සිටියේය. මෙහි ඉදිරියෙන්ම සිටියේ දේව විශ්වාසයයි. දේව භක්තියයි. දෙවියන්ට පුද පූජා පැවැත්වීම හා සැලකිලි දැක්වීම මිථ්‍යාවක් හෝ බෞද්ධ විරෝධී ක්‍රියාවක්ද නොවේ. මිනිස් හෝ දේව හෝ තමාට ප්‍රයෝජනවත් තමාට වඩා උසස් කොයියම් කෙනකුට හෝ යමක් පිදීම, සැලැකීම, ගරු කිරීම වරදක් හෝ සාපයක් හෝ නොවේ.

එහෙත් ලෝකෝත්තර මඟ ලොවට පෙන්වා වදාළ උත්තරීතර තථාගතයන් වහන්සේට වැඩියෙන් හෝ සමානත්වයෙහිලා පෞද්ගලිකව තමන්ට ලැබෙන ලාභයක් වෙනුවෙන් යම්කිසි පුණ්‍ය මහිමයකින් තාවකාලිකව බලයට පැමිණි දෙවි කෙනකුට සැලැකීම කිසිසේත් සුදුසු නොවේ. එය අන්ධ භක්තියයි. එතැනදි බෞද්ධකමක් ඇති නොවේ. මිසදිටු දෙවියෝ පවා බුදුන් සරණ යති. ඔවුහු රත්නත්‍රය විෂයෙහි පුද පූජා පවත්වති. කිසිවිටෙකත් දෙවියන් තුනුරුවන්ට වඩා උසස් කොට නොසැලකිය යුතුය. රුධිරය, පුළුටු, බිලි පූජා බෞද්ධ වූ අපට සුදුසු නොවේ. දෙවියන් සැලකීම, පිදීම කළ යුත්තේ බෞද්ධකම රැකෙන පරිදිය.

“නත්ථි මේ සරණං අඤ්ඤං – බුද්ධො මේ සරණං වරං” (බුදුන් සරණ හැර අන් සරණක් නැත) දැක්වෙන්නාක් මෙන් ඇතැම් ස්තෝත්‍ර මැද “එකම පිහිට මේ දෙවියාය” ඉන් වැඩි කිසිවක් නැත යනුවෙන් අදහස් වන ස්තෝත්‍රද ඇත. අපට එබඳු කියුම් කිසිසේත් සුදුසු නැත. දෙවියන්ට කටයුතු කළයුත්තේ බෞද්ධ විරෝධී නොවන අන්දමටයි. ඇතැම් ධනවතුන්ගේ ගෙමිදුල්වල බොහෝ අලංකාර දිලිසෙන දේව මන්දිර ඇතත් කිසිදු දේව බැල්මක් නැත. දුප්පතුන්ගේ පිරිසුදු පැල්පත්වල දෙවියන්ගේ බැල්ම ඇත.

දෙවියන් කිසි විටෙකත් මුදලට ගත නොහැකියි. දැවැන්ත පූජා වට්ටි සාදාගෙන ප්‍රසිද්ධ දේවාල ගාණේ දුවන අයද නැතුවා නොවේ. දෙවියන් කරගහගෙන ඉන්න උදවියගේ ලෙඩ දුක් නිමක් නැත. අතගසන සියල්ල අඩපණ වෙයි. බොහෝ නිහඬව තම දේව පිහිට පතන උදවියට උසස් ප්‍රතිඵල අත්වන බව පෙනෙන්න තිබේ. ධනය – බලය තිබුණත් දෙවි පිහිට ලැබිය නොහැකියි. දෙවියන් අදහන්නා තුළ පළමුව පාරිශුද්ධිය ඇතිකර ගතයුතුය. බාහිරින් නොව අභ්‍යන්තරයෙන්ද ඇතිවිය යුතුයි.

සිත දෙවොලක් මෙන් පිරිසුදු විය යුතුය. අපවිත්‍ර වූ හදවතකට දෙවියන් තබා තිරිසනකුද පිහිට නොවේ. දෙවියන් සෑම විටම පින් කැමැති සත්ත්වයාට පිහිට වෙයි. එසේ සේවය කොට උසස්වීමට බලා සිටිති. නිරන්තරයෙන් දයාව – කරුණාව – මෛත්‍රිය ඇතුව අන් අයට සෑම විටම පිහිට වී ගුණධර්ම වැඩිය යුතුයි. මේ උදාර ගුණධර්ම රැඳෙන්නේද පවිත්‍ර හදවතක පමණි. කිසිවිටෙකත් තව කෙනකුට වෛරී චේතනාවෙන් කටයුතු නොකොට අනුන්ගේ සැපත, දියුණුව උදෙසා ආශීර්වාද කළ යුතුයි. වහා කිපෙන මසුරු ආත්මාර්ථකාමී බව ඈත් කළ යුතුයි. දෙවියන් යදින්නා තුළ මේවා තිබීම සුදුසු නැත.

අනාගතය පෙනෙන, මිනිසාගේ ඇතුළත පිටත පෙනෙන දෙවියන් රැවටීමට කවරෙකුටවත් කළ හැක්කක් නොවේ. කර්ම විපාක හඳුනන, දෙවියන් හඳුනන, කවරකු හෝ වැරැදි වැඩ නොකරයි. දෙවියන් පිහිට පතන්නා ආත්ම ගෞරවයෙන් යුතුව සදාචාර සම්පන්නව කටයුතු කිරීමට සෑම විටම වග බලා ගත යුතුයි. ගෙවල් තුළ හෝ අපිරිසුදු ස්ථානවල දෙවියන්ට පහන් දල්වා පිහිට පැතීම සුදුසු නොවේ. තෙරුවන් වැඳ ආගමානුකූලව කටයුතු කර දේව කටයුතුවල යෙදීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතුවෙයි. පුද පූජාවලට වඩා දෙවියන් පින් බලාපොරොත්තු වන බැවින් කුමක් හෝ කුසලයක් කර දෙවියන්ට පිදිය යුතුයි.

වත්මන්හි බොහෝ දෙනෙක් නිවැරැදිව නිවැරැදි වේලාවට පහන් දල්වා දෙවියන්ට පුද පූජා නොකිරීමෙන් කරදරවලට මුහුණ දෙන අයුරු අප හා කරන කතාවලින් පැහැදිලි වෙයි. විශේෂයෙන් පිරිසුදු බව, ගුණගරුක බව, මිනිස් ගුණධර්මවල යෙදීම දෙවියන් සතුටු වීමට හේතුවකි. ආවාට ගියාට සිතෙන සිතෙන වේලාවට පහන් දල්වා ඒ පහන්වලට භූත කොට්ඨාස අරක්ගත් විට විවිධ කරදර බාධක ළඟා වෙයි. දෙවියන් ලෙස පෙනී සිට ඔබ විපතට හෙළන භූත කොට්ඨාසවලින් පරෙස්සම්වීමට වගබලා ගතයුතුයි.

දෙවියන්ගෙන් විවිධ භූත බලවේගයන්ගෙන් ශාස්ත්‍ර කියන ස්ත්‍රී -පුරුෂ දෙපක්ෂයම වැඩ වරද්දාගත් තැන් අනන්ත වෙයි. තම පවුල් ජීවිත පවා අකාලයේ විනාශ වීම ඇති කරයි. මේ නිසා බුද්ධිමත්ව ක්‍රමානුකූලව තෙරුවන් ගුණ සිහිකර දේව පිහිට පැතිය යුතුය. දේවාලවල කපුකම් කරන අයටත් ඒ අයගේ පරම්පරාවල අයටත් දේව වරප්‍රසාද ඇති කරයි. බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර, කතරගම, විභීෂණ, සුමන, පත්තිනි, දැඩිමුණ්ඩ වැනි මහා දෙවිවරු බන්ධනය කර වැඩ ගන්න සිතන අය කිසි විටෙකත් එසේ නොකළ යුතුයි. දෙවියන් යටත් කර ගැනීම කාටවත් නොගැළපේ.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී අලුත්අම්බලම බී.ඒ. සමන් ගුණසේන