Naifmvlog

Naifm vlog Gossip and News

වඩාත්ම සුදුසු වන්නේ දින කීයකට වරක් ස්නානය කිරීමද?

අපි සාමාන්‍යයෙන් ස්නානය කළ යුත්තේ දින කීයකට වරක්ද? දිනපතා ස්නානය කිරීමෙන් හිසකෙස් වියළී රළු බවට පත්වෙනවා. නිතර ස්නානය නොකළොත් හිසකෙස් අපිරිසිදු වී අප්‍රාණික වෙනවා. ඉතින් මේ දෙක අතරමැද ස්ථානයක් සොයා ගැනීම කාන්තාවන්ට ඉතාම අපහසුයි. මෙය කාන්තාවන්ට විශේෂ වන්නේ පුරුෂයන්ට වඩා දිග හිසකෙස් කාන්තාවන්ට තිබීම නිසයි. ඔවුන්ගේ ස්නානය කිරීමේ කාල සටහනේදී හිසකෙස් වියළීමට ප්‍රමාණවත් කාලයක් තිබීම, අනෙකුත් දෛනික වැඩ කටයුතු වලට බාධාවක් නොවීම ආදී කරුණු ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මේ සියල්ලම සලකා බලා ඔබ කොයි තරම් දින ගණනකට වරක් ස්නානය කළ යුතුදැයි ඔබට අදහසක් ලබා ගැනීමට වැදගත් කරුණු කිහිපයක් අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙනවා.

01. හිසකෙස් වර්ගය ගැන සැලකිලිමත් වීම.හිසකෙස් සඳහා වන රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගැනීමේදී එක් එක් හිසකෙස් වර්ගයට වෙන වෙනම නිෂ්පාදන තිබීමට හේතුවක් තිබෙනවා. මොකද එක් එක් හිසකෙස් වර්ග වලට වෙනස් ආකාරයන්ට අවධානයක් ලබා දිය යුතුයි. ඔබගේ ස්නානය කිරීමේ කාල සටහනත් ඒ ආකාරයෙන්ම හිසකෙස් වර්ගය අනුව වෙනස් වෙනවා. තරමක් ඝන හිසකෙස් නම් නොසෝදා තරමක් දිගු කාලයක් තබා ගන්න පුළුවන්. නමුත් තුනී හිසකෙස් ඉක්මනින්ම තෙල් සහිත ස්වභාවයක් ගෙන අපිරිසිදු වෙනවා. කැරළි හිසකෙස් (Curly hair) නොසෝදා දිගු කාලයක් වියළිව තබා ගැනීමට පුළුවන් වුණත් සෘජු හිසකෙස් (Straight hair) ඊට වඩා වැඩි වාර ගණනක් සේදීම අවශ්‍ය වෙනවා. කෙටියෙන්ම කියනවා නම් තරමක් රළු, ඝනකම්, කැරලි වැනි පැත්තට බර හිසකෙස් සෝදනවාට වඩා වැඩි වාර ගණනක් තුනී, සෘජු සහ සිනිඳු ස්වභාවයක් ගන්නා හිසකෙස් සේදීම අවශ්‍ය වෙනවා.

02. ජීවන රටාව සහ ක්‍රියාකාරකම්.බොහෝ දෙනෙක් තමන්ගේ ජීවන රටාව ගැන සැලකිලිමත් නොවී තමයි ස්නානය කිරීමේ කාලසටහන හදා ගන්නෙ. ඔබත් නිතරම අව්වේ වැඩ කරන හෝ ව්‍යායාම කරන ක්‍රියාකාරී ජීවන රටාවක් අනුගමනය කරන කෙනෙක් නම් තරමක් වැඩි වාර ගණනක් හිසකෙස් සේදුවාට ගැටළුවක් නැහැ. මොකද ඔබගේ හිසෙහි දහඩිය තැන්පත් වීම නිසා නිතර හිස අපිරිසිදු වීමත්, හිස්කබලේ සිදුරු වැසී යාමත් සිදු වෙනවා. නමුත් ඔබ දවසේ වැඩි කාලයක් කාර්යාලයක් තුළ වැඩ කරන හෝ නිවසේ සිටින කෙනෙක් නම් දිනපතා ස්නානය කිරීම හෝ නිතර ස්නානය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

03. දින කීයකට වරක් හිසකෙස් සේදීම අවශ්‍යද? සාමාන්‍යයෙන් පොදුවේ පවසනවා නම් වියළි හිසකෙස් ඇති අය සතියකට උපරිම වාර දෙකක් හිසකෙස් ෂැම්පු දමා සේදීම ප්‍රමාණවත්. ඔබගේ හිසකෙස් තෙල් සහිත නම් ඔබට දිනපතා සේදීමට සිදු වේවි. ඔබගේ හිසකෙස් වියළි හෝ තෙල් සහිත නොවන සාමාන්‍ය වර්ගයේ හිසකෙස් නම් ඔබට අවශ්‍ය යැයි සිතෙන වාර ගණනක් ස්නානය කිරීමේ වාසිය ඔබ‍ට තිබෙනවා. ඝනකම්, වියළි හෝ කැරලි සහිත හිසකෙස් වල හිස්කබලේ ඇති වන තෙල්, තුනී සිනිදු සෘජු හෝ තෙල් සහිත හිසකෙස් වල සිදුවන තරම් ඉක්මනින්,කෙස් ගසේ පහළට ගමන් කිරීම සිදුවන්නේ නැති නිසා මේ ආකාරයෙන් දින කිහිපයක් නොසෝදා සිටීමට හැකියාවක් තිබෙනවා.දිනපතා ස්නානය නොකිරීමෙන් ඔබ අපිරිසිදු බවක් හැඟවෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය සෑම වේලාවකම හොඳින් ඇඟ සෝදා පිරිසිදුවීම ප්‍රමාණවත්. එසේම දිනපතා හෝ සතියට වැඩි වාර ගණනක් ස්නානය කිරීමට පුරුදු වූ කෙනෙකුට එසේ නොකර සිටීමට අපහසු නම් ෂැම්පු නොයොදා නිකන් වතුරෙන් පමණක් සේදීම සිදු කරන්න. ෂැම්පු කිරීම සතියට උපරිම වාර දෙක තුනකට පමණක් සීමා කරන්න. හිස් කබලේ ඇතිවන ස්වභාවික තෙල් වලට ඉඩ දීමයි සුදුසු වන්නේ. ෂැම්පු කරා ඒවා සෝදා ඉවත් කිරීම හිසකෙස් වියලී නිරෝගී බව නැති වී යන්නට පුළුවන්.

04. ෂැම්පු වෙනුවට ආදේශකයක්? දිනපතා ෂැම්පු කිරීම සුදුසු නැති බව අපි කලින් පැවසුවානේ. ඉතින් ඔබට ෂැම්පු නොකර, ස්නානය කලා වගේම නැවුම් පෙනුමක් සුවඳක් පිරිසුදු බවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා “වියළි ෂැම්පු” නොහොත් “Dry shampoo” භාවිතා කරන්න. ඒවා මගින් හිසකෙස් වල සහ හිස් කබලේ ඇති අතිරික්ත තෙල්, සීබම් තරලය, කුණු සහ දූවිලි අවශෝෂණය කරගෙන හිසකෙස් වලට පිරිසුදු පෙනුමක් සහ නැවුම් සුවඳක් ලබා දෙනවා.මෙම වියළි ෂැම්පු ආකාර දෙකකින් පැමිණෙනවා. ඒ පවුඩර් සහ ස්ප්‍රේ එකක් ලෙස. ඒ දෙකෙන් කුමන එකක් භාවිතා කළත් ප්‍රශ්නයක් නැහැ. වියළි ෂැම්පු ස්නානය නොකර සිටීමට ආදේශකයක්ම නොවෙයි. එය පවතින්නේ ඔබට ස්නානය නොකර සිටින දින ගණන වැඩි කර ගැනීම සඳහා උදව්වක් ලෙස පමණයි. සතියට දින දෙකක් පමණ ස්නානය කර ඒ අතර දිනවල දී ඔබට වියළි ෂැම්පු භාවිතා කර හිසකෙස් පිරිසුදුව තබා ගැනීමට පුළුවන්. එයින් වැඩ අධික සතියේ දිනවලදී ස්නානය කිරීමට යන ඔබගේ කාලය ඉතුරු කර ගැනීමටත් පුළුවන්. ඒ වගේම වර්ණ ගන්වා හෝ ඩයි කර ඇති ඔබගේ හිසකෙස් වල එම වර්ණ වියැකී නොයා දිගු කාලයක් පවත්වා ගැනීමටත්, හිසකෙස් හැඩකර ගැනීමටත් විශාල ලෙස උපකාරී වෙනවා.

05. හිසකෙස් හැඩගස්වා ගන්න.අප යම්කිසි රටාවකට හුරු වුනොත් හිසකෙස් ද එම රටාවට හුරු වෙනවා. මේ නිසයි දිනපතා ස්නානය කර පුරුදු කෙනෙක්ට දින කිහිපයක්වත් තෙල් එකතු වීමට නොදී, නොසෝදා සිටීමට නොහැකි වන්නේ. ඔබ වැඩිපුර සෝදන තරමට ඔබගේ හිසකෙස් මූලයන්ගෙන් තෙල් නිපදවීම සිදු වෙනවා. නමුත් ක්‍රමානුකූලව ඔබ දින දෙක තුනකට වරක් ෂැම්පු කර හිසකෙස් සේදීම පුරුදු වුනොත් ඔබේ හිසකෙසුත් එම රටාවට අනුව හැඩ ගැසෙනවා. ඔබ නිතර සැර ෂැම්පු වර්ග යොදා තෙල් ඉවත් නොකරන බව දැනුණු විට හිසකෙස් වලින් කාලයත් සමග අධික ලෙස තෙල් නිපදවීමත් අඩු කරනවා. මේ නිසා දින තුනකට හෝ 2කට වරක් ස්නානය කිරීමට ඔබගේ හිසකෙස් හැඩගස්වා ගන්න.ඉතින් අවසාන වශයෙන් අපි කැමතියි ඔබට හිසකෙස් පිළිබඳ විශේෂඥයන්ගේ නිර්දේශය ඔබට ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ නිර්දේශය අනූව වඩාත්ම සුදුසු වන්නේ “දින තුනකට වරක්” හිසකෙස් ෂැම්පු යොදා සේදීමයි!