Naifmvlog

Naifm vlog Gossip and News

බරුකොකු ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය

බරුකොකු තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙන මීමන වර්ගයේ ශාකයකි.බෑවුම් සහිත ස්ථානවල බොහෝවිට මෙම ශාකය පඳුරක් ආකාරයෙන් වැවේ.අත්තක දෙපසට විහිදෙන සේ සිහින් දිගැටි පත්‍ර පිහිටයි.එම බරු ශාකයේ ලපටි දල්ල කොක්කක් ආකාරයට පිහිටයි.බරු කොකු ලෙස ආහාරයට ගනු ලබන්නේ එම දිග කොකු දණ්ඩයි.රතු හා කොල ලෙස වර්ණ දෙකකින් දක්නට ලැබේ.දණ්ඩ පොඩිකල විට සෙවෙල් සහිත බවකින් යුත්තය.

බරුකොකු ආයුර්වේදයට අනුව ඉතාමත් ගුණදායක මෙන්ම රසවත් ආහාරයකි.ඔස්ට්‍රියෝ ෆොරෝසීස් නම් රෝගයට මෙම බරුකොකු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක බව පිළිගැනෙ.

අශ්තිවල ගෙවුනු කාටිලේජ නැවත යථා තත්වයට පත් කිරීමේ විශේෂ හැකියාවක් බරුකොකු සතුය.සන්ධිවල යම් යම් ගැටළු හේතුවෙන් ඇතිවන වේදනාවන් මෙන්ම වර්තමානයේ බොහෝ පිරිසකට ඇති රෝගයක් වන දනහිස් වේදනාව සඳහා බරුකොකු ආහාරයට ගැනීමෙන් සුව ගෙන දේ.

බරුකොකු ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය..දිග නොහැරුණු ළපටි බරුකොකු හෝ නොමේරූ ලා දලු සහිත බරුකොකු දඬු කීපයක් ගෙන හොඳින් සෝදාගන්න.සමහරුන් කොටස්වලට කඩාගත් පසුද සෝදාගනු ලබයි.එහි ගැටළුවක් නැත.බරුකොකු සාරය පහසුවෙන් ජලයෙහි දිය නොවේ.(ව්‍යංජනය සැකසීමේදී ප්‍රමාණය අඩුවන නිසා ටිකක් වැඩිපුර ගන්න)

අතින් කුඩා කැබලිවලට කඩාගන්න.දණ්ඩෙහි පහලට කඩනවිට මෝරා ඇති කොටස කැඩීමේදී ඉහල දඬු කොටසට වඩා තරමක් හයියයි.එම තරමක් හයිය කොටසින් පහල කොටස් ගන්න එපා.ටික් ටික් ශබ්දයෙන් පහසුවෙන් කැඩෙන කොටස් පමණක් ගන්න.

සැලකිය යුතුයි – බරුකොකු දණ්ඩෙහි රෝල් වී ඇති කොටස කැඩීමේදී හොඳින් දිගහැර බලා කඩාගන්න.සමහර බරුකොකු දඬුවල රෝල් වී ඇති කොටස තුල පණුවන්,කුඩා කෘමීන් සිටිය හැකිය.

කුඩා කැබලිවලට කඩාගත් බරුකොකුවලට රතුළූණු,අමුමිරිස්,රම්පෙ,කරපිංචා,ගොරක කෑලි කීපයක්,මිරිස් තුණපහ සහ ලුණු අවශ්‍ය පමණ දමා කලවම් කරගන්න.(අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක්,කුරුදු කෑල්ලක්,සේර කැබලි කීපයක් එකතු කරගත හැකිය.තක්කාලි කැබලි කීපයක් එකතු කිරීමෙන් වඩාත් රසවත් වේ )

තෙල් ස්වල්පයක් ලිප තබා එයට බරුකොකු මිශ්‍රණය දමා හොඳින් කලවම් කර මද ගින්නේ ටික වෙලාවක් තැම්බෙන්නට හරින්න.
(තෙල් ආහාරයට ගැනීමට අකමැති අයෙකුට අවශ්‍ය නම් තෙල් නොදමා එම මිශ්‍රණය බරු කොකුවල තෙතමනයෙන්ම මද වෙලාවක් තම්බා ගත හැකිය)

මද වෙලාවකින් පසු එයට මිටිකිරි ස්වල්පයක් එක් කර හොද්ද අවශ්‍ය ප්‍රමාණයට හිඳෙනතුරු හොඳින් පිසගන්න.බරුකොකු ව්‍යංජනය ගුණදායක මෙන්ම රසය අතින්ද ඉතාමත් රසවත් ව්‍යංජනයකි.