Naifmvlog

Naifm vlog Gossip and News

දත් කැක්කුම සුව කරන පහසු ක්‍රම

ඔබේ දත් හා විදුරුමස් ආශ්‍රිතව කැක්කුමක් ඇති වෙනවා නම් එය ඔබේ දුර්වල දන්ත සෞඛ්‍යය පිළිබඳ සලකුණක් වෙන්න පුළුවන්. ඉතින් එවන් අවස්ථාවකදී ඔබ මූලිකත්වය දිය යුත්තේ දන්ත වෛද්‍යවරයෙකු මුණ ගැසීමටයි. නමුත් එසේ වෛද්‍යවරයෙකු මුණ ගැසීම පහසු නොවන අවස්ථාවක, උදාහරණයක් ලෙස රාත්‍රියේදී දත් කැක්කුමක් ඇති වුනොත් ආදී වෙලාවක ඔබට ඉක්මනින් සහනය අත්කර දිය හැකි, කෙටිකාලීන එහෙත් ඉතා ඵලදායී සහ සරල ක්‍රම කීපයක් අප පහතින් සඳහන් කරනවා.

01. උණුසුම් ලුණු වතුර.ලුණු වලට ඔබගේ මුඛයේ ඇති ආසාදිත දියරයන් ඉවත් කිරීමටත් බැක්ටීරියාවන් සෝදා හැර, ඉදිමීම අවම කර, සුව වීම වේගවත් කිරීමටත් හැකියි. මේ සඳහා උණු වතුර වීදුරුවකට ලුණු කුඩු තේ හැන්දක් පමණ එකතු කර හොඳින් දිය වූ පසු කටට එයින් උගුරක් ගෙන තත්පර 20-30 පමණ හොඳින් සොලවා විසි කරන්න. උගුර, විදුරුමස, දත්, දිව ආදී සෑම ප්‍රදේශයක්ම හොඳින් සේදී යන පරිදි මෙය කිහිප වතාවක් සිදු කරන්න.

02. සංවේදී දත් සඳහා ඇති දන්තාලේප.ඔබ නිතර දත් කැක්කුම් වලින් හෝ දත් වල වෙනත් ප්‍රශ්නයකින් පෙළෙන කෙනෙක් නම් නිතරම සංවේදී දත් සඳහා ඇති දන්තාලේපයක්ද ළඟ තබා ගන්න. සාමාන්‍ය පරිදි දත් මැද අවසන් වූ පසු මෙම දන්තාලේප වලින් ටිකක් ගෙන කැක්කුම ඇති දත් හා විදුරුමස අවට ප්‍රදේශයේ ආලේප කරන්න. දත් වල ඇති සංවේදී බව සහ වරින් වර ඇතිවන කැක්කුම අවම කර ගැනීමට දිනකට දෙවරක් එසේ ආලේප කරන්න.

03. කරාබුනැටි තෙල්.හිරි වැටීම මගින් වේදනාව නොදැනී යනවා. ඔබගේ දත් හා විදුරුමස් ආශ්‍රිත ප්‍රදේශය ස්වභාවිකව හිරිවැටීමට ලක් කිරීමට හැකි දෙයක් තමයි කරාඹුනැටි කියන්නේ. කරාඹුනැටි තෙල් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නට තිබෙනවා. කොට්න් බඩ් එකක් (Cotton bud/Cotton swab/Q tip) මෙම කරාඹුනැටි තෙල්වල යන්තමින් පොඟවා වේදනාව ඇත්තේ දතට තබා තද කරගෙන සිටින්න. මෙය ඔබට සහනයක් දැනෙන තුරු කිහිප වතාවක් මිනිත්තු 5 – 10 ත් අතර කාලයක සිදු කරන්න. එසේත් නැත්නම් කරාඹුනැටි තෙල් වල යන්තමින් පෙඟවූ පුළුන් කැබැල්ලක් දත්වලින් හපාගෙන සිටීම හෝ ඔබ‍ට කරාබුනැටි තෙල් නැත්නම් ආහාර පිසීමේදී යොදා ගන්නා සාමාන්‍ය කරාඹු නැට්ටක් වේදනාව ඇති දත්වලින් සහනයක් දැනෙන තුරු සපාගෙන සිටින්න.

අප ඉහතින් සඳහන් කළ ක්‍රම නිවසේදීම සිදු කල හැකි තාවකාලික ක්‍රම කීපයක් පමණයි. සාමාන්‍යයෙන් දත් කැක්කුමක් ඇති වන්නේ දත් කුහර, විදුරුමස් රෝග, පිටතට ඒමට නොහැකි වී විදුරුමසේ රැඳුණු දත් ආදී නොයෙක් හේතු නිසයි. ඉතින් මෙවන් අවස්ථාවක දන්ත වෛද්‍යවරයෙකු මුනගැසීම අනිවාර්යයි. අප මේ සඳහන් කළේ එසේ වෛද්‍යවරයකු හමුවන තෙක් ඔබට සහනය ලබා දිය හැකි ක්‍රම කිහිපයකුයි. උණ, විදුරුමස්වලින් ලේ ගැලීම, අධික වේදනාව, විදුරුමස් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉදිමීම, මුඛයේ අප්‍රසන්න පිළුණු රසයක්‌ දැනීම, උෂ්ණත්වයට හා සීතලට දත් අධික ලෙස සංවේදී වීම ආදී ලක්ෂණ තිබෙනවා නම් මෙසේ ඔබ වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි.