Naifmvlog

Naifm vlog Gossip and News

මට දැන් සිවුර හොඳට හුරුයි – සිඳු ටෙලි නාට්‍යයේ රාහුල හාමුදුරුවෝ

කලා ක්ෂේත්‍රයේ මෑත කාලීනව කරලියට ආ චරිත අතර දකින බොහෝ නිර්මාණවල හාමුදුරු චරිතයන්ගේ නිරූපණයෙන් ප්‍රේක්ෂකාගාරයට එන ඔහු ඉන්දික මධුරගේ සඳැල්ල මෙවර කතාබහ තුළින් අපිත් සමග එකතු වුණා. කැමරාව ඉදිරියේ ගිහි ජීවිතේට වඩා වැඩි කාලයක් පැවැදි ජීවිතේ විඳින ඉන්දික ඒ රසබර තොරතුරු සමග කතාබහට එකතු වුණේ මෙලෙසින්. 1).  දකින දකින හැම නිර්මාණයකම ඉන්දික කියන්නේ හාමුදුරුනමක් මොකද මේ වෙන්නේ?  ගිහි ජීවිතයේ ඇඳුමට වඩා මට දැන් හුරු සිවුර. උදේට මහණවෙනවා. හවසට සිවුරු අරිනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඇත්තටම මම සැබෑ ජීවිතෙත් හාමුදුරුනමක් කියලා. ඒ දකින සෑම නිර්මාණයකම හාමුදුරු චරිත කරන නිසා. කොච්චර නැහැ කිව්වත් සමහර ප්‍රේක්ෂකයන් පිළිගන්නේ නැහැ. දැනට මම ටෙලි නාට්‍ය වේදිකා චිත්‍රපටි ත්‍රිත්වයේම හාමුදුරු චරිත 20 වතාවක් විතර නිරූපණය කරලා තියෙනවා. හාමුදුරු චරිතයක් තියෙනවා නම් බොහෝ අධ්‍යක්ෂකවරුන්ට මතක් වෙන්නේ මාව. ගිහි ජීවිතේට වඩා වැඩි කාලයක් ඇත්තටම මම ඉන්නේ පැවිදි ජීවිතේ.

2).  ඉතින් මේ දවස්වල මොනවද අලුත් වැඩකටයුතු?  මේ දවස්වල සිඳු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. පසුගිය දවස්වල රන්තිලිවැව ටෙලි නාට්‍යයේ රූගතකිරීම් ඉවර කළා. හාමුදුරු චරිත ගණනාවක් කළත් සිඳු ටෙලි නාට්‍යයේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය ප්‍රේක්ෂක හදවතේ ඇඳිලාම තියෙන චරිතයක් වෙලා. කොච්චර හාමුදුරු චරිත කළත් ඒ ලැබෙන ප්‍රතිචාර දශමයක්වත් අඩුවෙලා නැහැ. ඊට අමතරව නිර්මාණ පැත්තෙන් ශ්‍රියාණි අමරසේන මහත්මිය නිෂ්පාදනය කරපු අලුත්ම චිත්‍රපටය ‘පාද යාත්‍රා’. මේක අධ්‍යක්ෂණය කළේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා. ළඟදීම මේ චිත්‍රපටය විකාශනය වන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම සිසිල් ගුණරත්න අධ්‍යක්ෂකවරයාගේ ‘මිගෙට්ටුවත්තේ ගුණනාන්ද’ කියන චිත්‍රපටයටත් මම දායක වුණා. ඒ නිර්මාණයේ මම රංගනයෙන් දායක වෙන්නේ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගේ චරිතයට. ඒ චිත්‍රපටයත් ළඟදීම තිරගත වේවි කියන බලාපොරොත්තුව තියනවා. කෙහොම වුණත් සිඳු ටෙලි නාට්‍යයේ රාහුල හාමුදුරුවන් ලෙස ප්‍රේක්ෂක හිත් වලට කාවැදුණු නිසා ගොඩක් නිර්මාණවල මට ලැබෙන්නෙම හාමුදුරු චරිත.

3).  හැමෝටම හිත් වලට කාවැදුණු නිසාමද හාමුදුරු චරිතම බාර ගන්නේ?  නැහැ. ප්‍රධානතම හේතුව අධ්‍යක්ෂකවරු මගේ දිහා බලන්නේ දැන් රාහුල හාමුදුරුවන්ගේ ඇහෙන්.  4).  ඒක ඉන්දික ඇතුළේ ඉන්න නළුවාට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?  වෙලාවකට අසාධාරණයක් කියලත් හිතෙනවා. ඒත් මේ චරිත මගේ පෙනුමත් එක්ක ලැබෙන දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉදිරියේදී දැක්කොත් පද්මාවතී චිත්‍රපටයෙන් මාව හාත්පසින්ම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන් වේවි. එදාට අධ්‍යක්ෂකවරුන්ට ප්‍රේක්ෂකයන්ට මා පිළිබඳව වෙනස්වූ නිගමනයන්ට එන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා. ඒ නිසා මම ඇත්තටම කැමතියි දැක්කොත් පද්මාවතී කියන චිත්‍රපටය ඉක්මණින්ම එනවනම්. මම ආස කරන චරිත ගොඩක් තියෙනවා, මගේ දක්ෂතා පෙන්විය හැකි සුදු චරිත වලට වඩා ආසා කළු චරිත කරන්න. මම සටන් කලාව හොඳට හදාරලා තියෙනවා. ඒ පැතිවලින් වෙනසක් කරන්න ආසයි. ඒත් අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අනාගතයේදී කවුරුහරි අධ්‍යක්ෂකවරයෙක් මාව වෙනස් ඇසකින් බලලා මගේ අනෙක් දක්ෂතා උරගාලා බලනව නම් ඉන්දික ඇතුළේ ඉන්න සැබෑ නළුවා එළියට එයි.

5).  රන්තිලි වැව නිර්මාණයේ ඔබේ රංගනය ගැන කතාකළොත්.  ඒකත් හාමුදුරු චරිතයක් වුණාට ඒ චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඒ භාෂා විලාශයට එකවර හුරුවීම මට ලොකු අභියෝගයක් වුණා. කොහොම වුණත් ඉදිරියේදී මට ලැබෙන්නේ හාමුදුරු චරිතම නම් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන්නම් මම ඕනෑම චරිතයක් භාරගන්නවා.  6).  ඉන්දික එදා කලාව තෝරා නොගත්තා නම්?  මම 1998 දි රංගන වැඩමුළුවකින් තමයි ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. ඔය විදියට ටිකෙන් ටික බොහොම මහන්සියෙන් දුෂ්කරව ආපු ගමනක් මේක. ඇත්තටම එදා මම කලාව තෝරා නොගත්තා නම් මම අද දක්ෂ සටන් ශිල්පියෙක් වෙන්න තිබුණා. වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය වලට දායක වෙන්න අවස්ථාව ලැබුණාට පස්සේ සටන් ශිල්පියාව යටපත් කරන්න වුණා.