Naifmvlog

Naifm vlog Gossip and News

නිවසේ කරදරකාරී සතුන් පලවා හරින ක්‍රම

ගෙවල් වල නිතරම හමුවෙන කරදරකාරී සතුන් තමයි කැරපොත්තන්, හූනන්,මීයන් සහ කූඹින්. මීට අමතරව හදිසියේ සර්පයෙක් වගේ සතෙක් වුනත් ගේ ඇතුලෙන් මතුවෙන්න බැරිකමක් නෑ. මේ වගේ සත්තු නිසා ළමයි විතරක් නෙවෙයි වැඩිහිටියොත් බය වෙනවා..නිකන් හිතන්න කාලෙකින් පාවිච්චි නොකරපු කබඩ් එකකින් මොනවහරි ගන්න අත දාද්දි ඒක ඇතුලේ ඉඳන් මීයෙක් අතට පැන්නොත්?! ඇතිවෙන තිගැස්ම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ආහාර වලට මේ වගේ සත්තු ළඟා වුනාම ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක් වෙනවා. කාවන් වේයන් වගේ සතුන් පොත්පත් ,ඇඳුම්, ලී බඩු වගේ දේවල් විනාස කරනවා. ඉතින් මේ වගේ සත්තු ගෙවල් වල ඉන්නවා ගෙදරට එන අමුත්තන් දැක්කහම හිතන්නේ ඒ ගෙදර තියෙන අපිරිසිදුකම කියලානේ. ඒ නිසා අපි අද හිතුවා මේ වගේ ප්‍රශ්න ගොඩකට මුල් වෙන කරදරකාරී සත්තු ඔයාලගේ ගෙදරින් පලවා හරින ක්‍රම කිහිපයක් ගැන ඔයාලව දැනුවත් කරන්න.

1. මීයන් පලවා හැරීම.අනිත් කෘමීන් වගේ නෙවෙයි.මීයන් තරමක් ලොකු සත්තු ජාතියක්නේ. කූඹින් එහෙම නම් අපිට එන්නෙ කොහෙන්දවත් හිතාගන්න බෑ. ඒත් මීයන් එන තැන ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මීයෙක් ඉන්නව දැක්කහම ඌව අල්ලන්න කලින් ඉස්සෙල්ලාම වහලේ හරි කාමරේ මුල්ලක හරි තියෙන මේ වගෙ මී ගුල් වහලා දාන්න ඕනෙ. ඊටපස්සෙ මීයාව අල්ලන්න පොඩි උගුලක් අටවන්න. මීයා එන සිදුර වහලා මේ දේ කරද්දි බොහෝදුරට මීයා අහු වෙනවා. මොකද උගුලෙන් බේරිලා පැනලා ගියත් ඌට යන්න තැනක් නැති නිසා. නමුත් ඔබේ ගෙදර කුඩා දරුවන් ඉන්නවා නම් මී උගුල් අටවද්දි සහ ඒවා ස්ථානගත කරද්දි තරමක් සැලකිලිමත් වෙන්න. මීයන්ට හොදින් ගඳ සුවඳ දැනෙන නිසා ළූණු, සුදු ළූණු,පැඟිරි තෙල්,පෙපර්මින්ට් තෙල් වගේ සුවඳ එන දියර පුළුන් කෑලි වල පොගවලා මීයන් ගැවසෙන තැන් වල තබන්න. ඒ් සුවඳවල් වලට මීයන් කැමති නැහැ.

2. කූඹින්.කූඹි ගොඩක් වෙලාවට එන්නෙ ආහාර හොයාගෙන. කෑමක් මේසෙ උඩින් තියලා වෙන වැඩකට ගිහින් එද්දි කෑම එකට කූඹි වහලා තියෙනවා අපිට දකින්න පුලුවන්. ඒ නිසා පැණි රස කෑම වගේ දේවල් නිතර කූඹින්ට ළඟා වෙන්න පුලුවන් තැන් වල තියන්න එපා. මුළුතැන්ගෙයි කුණු ගොඩාක් එකතු වෙනකන් ඉන්නැතුව ඒවා බැහැර කරන්න. කූඹි ගොඩක් වෙලාවට එන්නේ පුරුද්දට. ඒ නිසා කූඹි පුරුද්දක් විදිහට හැමදාම එන දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ඊටපස්සෙ බේබි පවුඩර් ටිකක් බිත්ති වල සහ පොළවේ කූඹි එන මාර්ගය දිගේ ඉසින්න. කූඹි ටික වෙලාවකින්ම නැති වෙලා යාවි.

3. මැස්සන්.සමහර ගෙවල් වලට මැස්සො කියන්නේ පවුලෙම අය වගේ. ඒ තරම් ගෙවල් වල මැස්සන් පිරිලා වගේම මිනිස්සුත් උන් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා. කෑම උයන්නේ කන්නේ පවා අනිත් අතින් මැස්සො එලව එලවා. මැස්සො කියන්නේ ලෙඩ රෝග බෝ කරන ඉතාම අපිරිසිදු සත්වයෙක්. ඒ නිසා මැස්සන් එක්ක ජීවිතයකට හුරු වෙන්නැතුව උන්ව පලවා හරින්න. මදුරු දැලක් අරන් මැස්සන් ගෙදරට එන්න කලින් උදේම ජනෙල් දොරවල් ආවරණය කරන්න. ඒක අමාරු නම් ඇපල් සයිඩර් විනාකිරි වලට භාජන සෝදන සබන් දියර මේස හැන්දක් තරමක් උස වීදුරුවකට එකතු කරලා උගුලක් අටවන්න. වීදුරුවේ කට ප්ලාස්ටික් වැස්මකින් ආවරණය කරලා ඒකෙ සිදුරක් විදින්න. මැස්සො මේකට ආකර්ශනය වෙලා සිදුර තුලින් ඇතුලට යාවි. ගියාට අයෙ එලියට එන්න බැහැ.සබන් දියර නිසා උන් ඇතුලේ ගිලේවි. මැස්සන් මරන්න කැමති නැති කෙනෙක් නම් ගේ පුරා ලුණු දියර ඉසින්න.

4. මකුළුවන්.විනාකිරි සහ වතුර සමාන කොටස් මිශ්‍ර කරලා මකුළුවාට ස්ප්‍රේ කරන්න.විනාකිරි වල තියෙන ඇසිටික් අම්ලය මකුළුවන්ට විසයි. නමුත් මකුළුවා කියන්නේ අපේ කෘෂිකාර්මික හා ජෛව පද්ධතියට වටිනා සතෙක්.ඒ නිසා මකුළුවන් මරන්න හොඳ නැහැ කියලා කතාවක් අහලා ඇතිනේ. ඒ නිසා හොඳම දේ බඳින බඳින ගානට මකුළු දැල් කඩන එකයි. එතකොට කාලයක් යද්දි මකුළුවන් එන්නේ නැහැ එතනට.

5. කිනිතුල්ලන්.නිවසේ සුරතල් සතුන් ඇති කරනවා නම් හරි ඔබේ නිවස තියෙන්නේ තරමක් කැලෑබද ප්‍රදේශයකට ආසන්නව නම් කිනිතුල්ලන් ඒම සාමාන්‍ය දෙයක්. කිනිතුල්ලන් සමට ඇලුනම අපේ ලේ උරා බොමින් තමයි ජීවත් වෙන්නේ. භයානක දේ තමයි අපිට පේන්නේ නැති තැනක කිනිතුල්ලන් රැඳීම සහ ඇතැම්විට ඔවුන් ඇසට නොපෙනෙන තරම් කුඩා වීම. ඌ කාලයක් අපේ ලේ උරා බීලා ලොකු වුනාටත් පස්සෙයි අපි දකින්නේ. සමේ කිනිතුල්ලෙක් හිටියාම සබන් දියර හෝ පොල්තෙල් අලේප කරන්න. ටික වෙලාවක් කරාම ඌ මත් වෙලා ගැලවෙන්න පහසු වෙනවා.ඊටපස්සෙ ට්විසර් (tweezers) එකකින් කිනිතුල්ලන් ඇදලා ඉවත් කරන්න. ඔබේ ගෙදර කොට්ට මෙට්ට ගෘහභාණ්ඩ රසායනික ද්‍රව්‍ය යොදාගෙන පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා.

6. කුරුමිණියන්.ඇසට නොපෙනෙන තරම් කුඩා කුරුමිණියන් පවා ඉන්නවා. කූඹින් වගේම කුරුමිණියන් එන්නෙත් ආහාර තියෙන තැන් වලට. සුදු විනාකිරි සහ වතුර සමාන ප්‍රමාණ යෙදූ මිශ්‍රණයකින් ගෙදර රාක්ක, මේස පුටු,කබඩ් ආදිය හොඳින් පිසදමන්න.

7. කාවන්.කාවන් ගොඩක් විනාස කරන්නේ රෙදි වර්ගයි. විශේෂයෙන් වූල් සහ ලොම් ඇඳුම් වලට උන් ආකර්ශනය වෙනවා. ඒ නැතත් ඕනෑම ජාතියක රෙදි කාලා සිදුරු කරන්න වේයන් සමත් වෙනවා. හොඳින් සෝදපු ඇඳුම් පමණක් අල්මාරියට දමන්න. බාගෙට සෝදපු හෝ සෝදා නැති ඇඳුම් අල්මාරි වලට දමන්න එපා. කාවන් ආකර්ශනය වෙන්නේ දහඩිය සුවඳට. ඒ වගේම ඇඳුම් අල්මාරි ,රාක්ක වගේ තැන් වලට තද සුවදක් විහිදුවන තෙල් වර්ග ආලේප කරන්න. උදා:- පැඟිරි තෙල්,කපුරු තෙල්, කුරුඳු තෙල්. නැත්නම් කපුරු බෝල දමන්න.

8. වේයන්.වේයන් එන්නේ තරමක් තෙත තියෙන තැන් වලට. ඒ නිසා වේයන් ඉන්න තැන් වලට තෙතමනය සපයන තැන සොයන්න. වතුර කරාමයක කාන්දුවක් වගේ නම් ඉක්මනින් ඒවා අලුත්වැඩියා කරන්න. ඊටපස්සෙ රසායනික ද්‍රව්‍ය යොදාගෙන වේයන් පලවා හරින්න.

9. සර්පයන්.මේ වගේ සත්තු නම් තරමක් භයානකයි. ලංකාවේ අපි නම් නයි සර්පයන් වගේ සත්තු පලවාහරින්න භූමිතෙල් ඉසිනවා. නමුත් ඔබ දන්නවා නේ. භූමිතෙල් සර්ප සමට ගොඩාක් විසයි. ඒ නිසා ඌට වේදනාවක් දෙන්න නෙවෙයි පලවා හරින්න විතරක් අපිට ඕනෙ නිසා භූමිතෙල් දානකොට සර්පයාගෙ ඇඟට නොදා, ඒකෙ සුවඳට ඌ ඈතට යන විදිහට සර්පයා ලඟ පොළවට ඉසින්න. කොස්සක් කෙවිටක් වගේ දෙයක් අරන් සතා කලබල නොකර ඌව නිවසින් එලියට යවන්න උත්සාහ ගන්න.මේ එකක්වත් හරියන්නේ නැත්නම් හොඳම දේ තමයි සර්පයන් එලවන්නම ඉන්න පුද්ගලයෙක් මේ සඳහා ගෙන්වාගන්න එක. මොකද නයි වගේ සත්තු වෙනත් අත්හදා බැලීම් වලට සුදුසු සතුන් නොවෙයි.

10. කැරපොත්තන්.කැරපොත්තන්ට තමා ගොඩක් දෙනෙක් බයක් වගේම අප්පිරියාවක් දක්වන්නේ. කෑම වලට, බිම වැටුන කෑම කැබලි වලට වගේ ඕනෙම දේකට කැරපොත්තන් ආකර්ශනය වෙනවා. රසායනික ස්ප්‍රේ එකක් තමා මේ සදහා අපි බොහෝවිට යොදාගන්නේ. නමුත් ඒ වෙනුවට දෙහි භාවිතා කරලා බලන්න. දෙහි යුෂ කැරපොත්තන් ඉන්න තැනකට මිරිකන්න. එහෙම නැත්තන් කැරපොත්තන් නිතර ගැවසෙන තැන් වල දෙහි කැබලි තබන්න. එහෙමත් නැත්නම් බෝරික් අම්ලය,පිටි සහ සීනි යෙදූ පිටි ගුලි හදලා කැරපොත්තන් එන තැන් වල තබන්න. පිටි සීනි වලට ආකර්ශනය වන කැරපොත්තන් ඒක ආහාරයට ගනීවි.නමුත් ඔවුන් දන්නේ නෑ බෝරික් අම්ලය ඔවුන්ට විසයි කියලා.

මීට අමතරව කරදරකාරී සතුන් පලවා හරින ක්‍රම තියෙනවා නම් ඒවාත් අපිට කියන්න අමතක කරන්න එපා.