Naifmvlog

Naifm vlog Gossip and News

චූටිම කාලේ මම නංගිත් එක්ක රණ්ඩු වුණේ අම්මව බෙදාගන්න – සුජානි

නංගි මට වැඩිය අවුරුදු 6ක් බාලයි. නංගි චූටි කාලෙත් මම රඟපානවා. මම ෂූටින් යන්නේ තාත්තා එක්ක. ඒ කාලේ මමත් පොඩි දරුවෙක් නිසා ෂූටින් ඉවරවෙලා ගෙදර එන්නෙ අම්මා ළඟට යන්න බලාගෙන. ඒත් නංගි පොඩි නිසා එයා හැමවෙලාවෙම අම්මා එක්ක ඉන්නෙ අම්මගෙ අයිතිකාරයා වගේ. ඉතින් මට දුකයි;තරහයි. චූටිම කාලේ මම නංගිත් එක්ක රණ්ඩු වුණේ අම්මව බෙදාගන්න. හැබැයි අපි දෙන්නා ටික ටික ලොකු වෙනකොට දෙන්නට දෙන්නා නැතිවම බැරි වුණා. නංගි පොඩි කාලේ ඉඳලම මට ගොඩක් ආදරෙයි. එයාගේ මුළු ලෝකෙම වෙලා හිටියේ මම. # සුජානිගේ වදන් පුරා දෝරගලා යන්නේ ඇගේ සිතේ ද සොයුරිය වෙනුවෙන් ඇති සෙනෙහසයි. උදාරිකා අක්කාගේ කතාවට අඩුවැඩිය එක් කළේ මේ විදිහටයි… පුංචිම කාලේ අක්කා මට ටිකක් සැරයි. ඒ කාලේ අපි දෙන්නා වැඩිපුරම රණ්ඩු වෙන්නෙ ටීවී එකේ චැනල් මාරු කරන්න රිමෝට් එක ගන්නයි. දැනුත් අපි අතර හිටපු ගමන් පොඩි පොඩි රණ්ඩු තියෙනවා. ඒත් ඒවා ඒ වෙලාවට විතරයි. අපි දෙන්නට දෙන්නා නැතිවම බෑ. විවාහ වෙලා වෙනමම ජීවත් වෙනකොට සහෝදර බැඳීමේ වටිනාකම වැඩිපුර හිතට දැනෙනවා. ඒක මටත් එහෙමයි. ඒ නිසා ඉස්සරටත් වැඩිය දැන් අපේ බැඳීම වැඩියි. සමහර වෙලාවට අම්මට කියන්නෙත් නැති දේවල් මම අක්කට කියනවා. මගෙ ප්‍රශ්නවලට හරිම උත්තර දෙන්නෙ අක්කා. ඒ උත්තරෙන් මගෙ හිත රිදුණත් මම තරහ වුණත් එයා අවංකව විවෘතව ඒ දේ කියනවා. මට අක්කව ගොඩක් විශ්වාසයි. ඒ නිසාම හුඟක් වෙලාවට මම අක්කා කියන දේ අහනවා.

# උදාරිකා එහෙම කියද්දී සුජානිගෙන් අප විමසුවේ නැඟණියගේ ඇය වඩාත් සිත්ගත් ගතිගුණ ගැනයි…  නංගි තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මගෙ නංගි අයිස් කුට්ටියක්. වෙලාවට කන්න ඕන. වෙලාවට නිදාගන්න ඕන. සුවපහසුවට ඉන්න කැමති කෙනෙක්. පුංචි කාලේ නංගිට හොඳට රඟපාන්න පුළුවන්. එයාට අවුරුදු 9-10 වගේ කාලෙදි විදේශීය චිත්‍රපට කිහිපයකත් ටෙලිනාට්‍ය දෙක තුනකත් රඟපෑවා. හැබැයි ඒ පුංචි වයසෙදිම නංගි තාත්තට කිව්වා ” මට නම් රඟපාන්න බෑ. ඒවාට ගියාම මට මහන්සියි, වෙලාවට කන්න හම්බෙන්නෙත් නෑ” කියලා. # ‍මේ වන විට දෙදෙනාම අවිවේකී ජීවිත ගතකළත් අවිවේකී බව සහෝදර බැඳීමට බාධාවක් නොවන බව උදාරිකා පැවසුවා… විවේක වෙලාවට අපි අක්කලාගේ ගෙදර යනවා. අක්කලා අපේ දිහා එනවා. අපි එකට චිත්‍රපට බලන්න යනවා. විනෝද ගමන් යනවා. බිමල් අයියා වගේම මගෙ මහත්තයත් අපි දෙන්නගේ බැඳීම පවත්වාගෙන යන්න හොඳ සහයෝගයක් දෙනවා. හොල්මන් ෆිල්ම් බලන්න අපි දෙන්නම ගොඩක් ආසයි. හැබැයි ෆිල්ම් එක අතරමඟදි අක්කා නැඟිටලා යනවා. බිමල් අයියා නැතිවෙලාවට ගෙදර තනියෙන් ඉද්දි ඒවා මතක් වුණාම බයයි කියලා. ඒත් ඊළඟ දවසෙත් හොල්මන් ෆිල්ම් බලනවා. ඒ බැලුවත් බාගයයි බලන්නෙ.”

# උදාරිකා සිනාසෙමින් කියද්දී සුජානි තවත් රසබර සිදුවීමක් සිහි කළා… අපි දෙන්නා වැඩිපුරම කැමති ෂොපින් කරන්නයි. ඇඳුම් තමයි වැඩිපුරම ගන්නෙ. කාලෙකට කලින් නංගි දවසක් මට හොරෙන් ෂොපින් කරලා තාත්තා එයාට ලස්සන ඇඳුම් ගොඩක් අරගෙන දීලා තිබුණා. මම කිව්වා නංගිට ඇඳලා පෙන්නන්න කියලා. එයා ඒවා අඳිනකොට මම ආස ඇඳුම් එයාට කැතම කැතයි කියලා ඒ ඇඳුම් ටික මම ගත්තා. ඒ පුරුද්ද නම් අදටත් එහෙමයි. නංගි අලුතින් ඇඳුම් ගත්තම මට ඇඳලා ෆොටෝස් එවනවා. ඒ ඇඳුමට ආස හිතුණොත් මම කියනවා “ඒක නම් ඔයාට කැතයි. ඕක තියන්න, මම ආව වෙලාවක ඇඳලා බලන්නම්” කියලා. එතකොට නංගි ඒ ඇඳුම මට දෙනවා. ඒ වුණාට නංගි මට බණිනවා “ඔයා බොරු කියලා මාව රවට්ටලා ඇඳුම් ටික ගන්නවා, ආයෙ නම් මට රැවටෙන්නෑ” කියලා. ඒත් ආයෙ අයෙත් වෙන්නෙ ඒකමයි. # සුජානි දඟකාර ලෙස හිනැහෙමින් කියද්දී උදාරිකාගේ මුව ද සිනහවෙන් හැඩ වුණා… දැන් නම් අලුත් ඇඳුමක් ගත්තම මුලින්ම මම ඇඳල පස්සෙ තමයි අක්කට පෙන්නන්නෙ. එසේ කීවද ඇගේ දෙනෙත් සොයුරිය ගැන සෙනෙහසින් දැල්වී තිබුණා.