Naifmvlog

Naifm vlog Gossip and News

සෙනාලි සහ මාලිනී පළමුවරට එකම ටෙලිනාට්‍යයක රංගනයේ

පරම්පරා දෙකක එකම පවුලේ දෙදෙනකු පළමුවරට ටෙලිනාට්‍යයකට එකවර දායකත්වය ලබාදීම විශේෂත්වයක්. එසේම අපගේ ප‍්‍රධාන කතා නායිකාව වන ඇය දිගු කලකට පසුව යළි රංගනයට එකතුවීමත් තවත් විශේෂත්වයක්. ඇයත් සමග සිටින අනෙක් සුරූපිනිය වත්මන් තරුණ පරම්පරාවේ ජනප‍්‍රිය රංගන ශිල්පිනියකි. චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ඇය නමින් සෙනාලි ෆොන්සේකාය. ඇය මාලිනීගේ වැඩිමහල් සහෝදරයා වූ, පසුගියදා කොරෝනා වැලඳීමෙන් එංගලන්තයේදී මියගිය උපාලි ෆොන්සේකාගේ එකම දියණියයි. මේ දෙදෙනා පළමුවරට පුංචි තිරයේ එකම ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායකවීම නිල වශයෙන් පසුගියදා ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ පැවති ‘‘මනුසත් විමන’’ ටෙලිනාට්‍යයේ මුහුරත් උලෙළේදී අත්සන් තැබීමෙන් සිදුවිය. ලලිත් රෝහිත එදිරිසිංහ තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරන ‘‘මනුසත් විමන’’ ටෙලි නාට්‍යයට පාදක වී ඇත්තේ මොනිකා පුෂ්ප කුමාරිගේ ‘‘මනුසත් විමන’’ නවකතාවයි. මේ නවකතාව ඇසුරින් කරන ටෙලිනාට්‍යයේ රඟපාන්නට මාලිනී කැමතිවීමම විශේෂත්වයකි. අපි මුලින්ම මේ විශිෂ්ට රංගන ශිල්පිනිය, අධ්‍යක්ෂවරිය සමග කතාබහ කළේ ඒ පිළිබඳවයි.

#1  ඔබ දිගු කලකට පසුවයි පුංචි තිරයේ රඟපාන්න හදන්නේ. ඇයි එහෙම සම්බන්ධ වෙන්න අදහස් කළේ?  සෑහෙන කාලයකට පස්සේ තමයි මම යළි රංගනයට එකතු වුණේ. මට සෑහෙන ආරාධනා ආවා. ඒ වුණාට ඒ චරිත ලොකු පරාසයක යන ඒවා නොවෙයි. මම කාලෙකට පස්සේ එනකොට, මොකක් හරි හොඳ මට්ටමේ චරිතයක් තුළින් තමයි පේ‍්‍රක්‍ෂකයා අතරට යා යුත්තේ. අනෙක ටෙලිනාට්‍ය බලන අපටත් එයින් යම් දෙයක් ලැබෙනවා නම් තමයි මටත් එය වැදගත් වෙන්නේ. එහෙම එකක් මට පසුගිය කාලෙට ලැබුණේ නෑ. ඒ එක කාරණයක්. අනෙක් එක අද ටෙලිනාට්‍ය කලාව පත්වෙලා ඇති තත්ත්වය ගැනත් බලන්න ඕනේ. මම මේ ක්ෂේත‍්‍රයේ අවුරුදු ගණනාවක් ඉඳලා, අඩු මුදලකට චරිතයක් කළොත්, ඒක මම අලූතින් එන අයටත් කරන අසාධාරණයක් වන බවයි මා දකින්නේ.ඒ වගේම අවුරුදු ගණනාවක් මේ ක්ෂේත‍්‍රයේ මම හිටිය එකටත් කරන ලොකු අසාධාරණයක් වෙනවා කියලයි මා හිත හිතන්නේ. මේක අපේ වෘත්තිය. මේ වගේ කරුණු හින්දා තමයි මම ටෙලිනාට්‍ය භාරගත්තේ නැත්තේ. ඒ වගේම මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න ලැහැස්ති වුණා. එයට ලැබුණු පිටපත් මගේ හිතට හරිගියේ නැහැ. අදට ගැළපෙන විදියේ ටෙලි පිටපතක් ඕනෑ. හැමදාම ඒකාකාරී චරිත කරලා. මිනිස්සු වෙහෙසට පත්කරන්න අවශ්‍ය නෑ. ඔය කාරණා කීපය නිසා තමයි මම ටෙලි නාට්‍යවලට මෙච්චර කාලයක් කැමති නැතුව හිටියේ.

#2  ඔබගේ වෘත්තිය, රඟපෑම නම්, එහෙම තෝරා බේරා ගනිද්දී ලොකු අසාධාරණයක් ඔබටත් සිදුකරගන්නවා නේද?  මම හිතනවා, අවුරුදු පනස් ගණනක් සිනමාවේ හා ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ හිටිය නිසා නිහඬවෙලා නෑ කියලා හිතනවා. හුඟාක් අයගේ හිත්වල මම ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න බැරිවීම ගැන නම් කනගාටුවක් තිබෙනවා. කැමතියි ඒ අය මගේ රංගනය දකින්න. ඒ හින්දා අවාසියක් කියලා මම හිතන්නේ නෑ.

#3  ‘‘මනුසත් විමන’’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න නම් මාලිනී අක්කාට හිතට දැනෙන චරිතයක් තිබුණාද?  මම මේ ටෙලිනාට්‍යයේ පිටපත කියැවූ විටදී එය මගේ හිත ගත්තා. කැමැත්තෙන් කරන්න පුළුවන් චරිතයක් මට තිබුණේ. මම ප‍්‍රවීණ හා නවක අධ්‍යක්ෂවරු ගණනාවක් එක්ක වැඩකරලා තිබෙනවා. සිනමාව හා ටෙලිනාට්‍යවල. මට අලූතෙන් මුණගැසුණු අධ්‍යක්ෂවරයෙක් හැටියට තමයි ලලිත් රෝහිතව දකින්නේ. ඔහු සමග කතාකරද්දී මා දකිනවා මේ ටෙලිනාට්‍යයෙන් ලැබෙන පණිවිඩය හරිම ගැඹුරු බව. මම ඒකට හරි කැමති වුණා. මම විශ්වාස කරනවා ඔහු එය සාර්ථකව කරයි කියලා. කලිනුත් ඔහු ෆිල්ම් එකක් කරලා තිබෙනවා.

#4  මෙහි ප‍්‍රථමවරට ඔබේ අයියාගේ දුවත් එක්ක රඟපාන්න ලැබෙනවා. මාලිනී අක්කට කොහොමද සෙනාලිව දැනෙන්නේ?  සොනාලිට මෙහි තිබෙන චරිතය හොඳින් කරන්න පුළුවන් කියා මට හිතෙනවා. එයාට ගැළපෙන චරිතයක්. එයා ක්ෂේත‍්‍රයේ හුඟාක් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම එයාගේ දක්ෂකම තිබෙනවා. මගේ පවුලේ අය මේ ක්ෂේත‍්‍රයේ ඉදිරියට ඒම මට ලොකු සතුටට කාරණයක්. මුලින්ම ශ‍්‍රියානි නංගි, දමයන්ති, රසාදරී, සමනලී, රුවනි, මනෝරි, තරිඳි, සඳුනි, සෙනාලි වගේ මගේ පවුලේ කට්ටියත් කලා ක්ෂේත‍්‍රයේ ඉදිරියට ආවා. ඒ එක්කම අශාන් ෆොන්සේකා, මගේ මිනිබිරියක් වන කුෂන්යා ෆොන්සේකාත් දැන් කලා ක්ෂේත‍්‍රයට ඇවිත්. කුෂන්යා ‘‘රූකඩ පැංචි’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑවා. මම කලා ක්ෂේත‍්‍රයට ඇවිත් යම් තැනකට පැමිණි නිසා ඒ අයටත් කලාවට ආදාරයක්, ඇල්මක්, ආසාවක් ඇතිවෙන්න ඇති. ඒ අය තමන්ගේ දක්‍ෂතාවලින් ඉදිරියට ආවේ. ඒවා දකිනකොට මට ඇත්තේ ලොකු සතුටක්. මේ අය දක්ෂ නැත්නම්, දක්‍ෂතා පෙන්වන්න බැරිනම් මම කැමති නෑ ක්ෂේත‍්‍රයට එනවාට.

#5  මේ දවස්වල ඔබ රඟපෑ ආචාර්ය තිස්ස අබේසේකර අධක්ෂණය කළ ‘‘පිටගම්කාරයෝ’’ ටෙලිනාට්‍යය නැවත විකාශය වෙනවා. දැන් නැවත එය බලද්දී මාලිනී අක්කාට මොකද සිතෙන්නේ?  ඇත්තටම හරිම පුදුමාකාර විදිහේ සතුටක් දැනෙන්නේ. තිස්ස අබේසේකර කියන්නේ මම හරිම අගය කරන, ගෞරවය කරන කලාකරුවෙක්. ඒ වගේ කෙනෙක් එක්ක ඒ ටෙලි නාට්‍යයේ වැඩකරන්න ලැබීම සහ මට ඒ චරිතය කරන්න පුළුවන් කියන විශ්වාසය ඔහු තුළ තිබීම ගැන මට දැන් මතක් වෙනවා. ඔහු කිව්වේ, මට මේ චරිතය මගේ අම්මා මතක් කරනවා කියලයි. ඉතිං මම හැම තිස්සෙම හරිම ගෞරවයෙන් එය සිහිපත් කරනවා. ඒ වගේ ප‍්‍රවිණ, දක්‍ෂ කෙනෙක් නැතිවීම හරිම ලොකු පාඩුවක් කලා ක්ෂේත‍්‍රයට.

#6  කලක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් විදිහටත් මාලිනී අක්කා කටයුතු කළ බව හැමෝම දන්නා කරුණක්. දේශපාලනය පැත්තෙන් අද දවසේදී මාලිනී අක්කාට තිබෙන අදහස කොයි වගේද?  මම සතුටුයි මේ වෙනස්වීම ගැන. මොකද පහුගිය කාලයේ අපි කරදරේ වැටිලා හිටියනේ. ඒ නිසා හුඟාක් අප බලාපොරොත්තුවෙන් ඉඳලා තමයි මේ වෙනස කළේ. මොන විදියකින් හරි අවශ්‍ය වෙන්නේ අපේ රටේ තත්ත්වය ඉහළට ගෙනල්ලා අනාගත පරපුරට රට හරි විදිහට ගෙනියන්න දෙන එක නේද? මම දන්නවා මෙවර වැඩි හරියකගේ බලාපොරොත්තුව ඒකයි. ඒ දැක්මේ වෙනස් වෙන්නේ නැතුව ගියොත් අපට ලෝකයට මුහුණ දෙන්න පුළුවන් දියුණු රටක් හැටියට. ඒක තමයි මාත් ප‍්‍රාර්ථනා කරන්නේ. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලය ඇතුළත මේක දකින්න තිබෙනවා නම් මොනතරම් වාසනාවන්තද?

#7  මාලිනී අක්කා එදිනෙදා ජීවිතය ගෙනියන්නේ කොහොමද කියලා අවසන් වශයෙන් දැනගන්න කැමතියි. පසුගිය කාලයේ බොහෝ දුෂ්කර දේවල්වලට මුහුණ දෙන්නත් සිදුවුණා නේද?  ඇත්තෙන්ම ඔව්. හරිම සරල විදිහට එන දෙයට මුහුණ දෙමින් ජීවිතය ගෙනියනවා. හැල හැප්පීම් නෑ. ඕනෑම දෙයක් ගැන පුළුල්ව, උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා ඉන්නවා. ඉස්සර ප‍්‍රශ්නයක් ආවාම ඒකට කලබල වෙනවා. දැන් ප‍්‍රශ්නයක් ආවාම ඒක වෙනස් විදිහට හිතන්න පුරුදු වෙලා. ඇයි ඒක ආවේ? ඇයි එහෙම වුණේ? ඒකට හොකක්ද කරන්න පුළුවන්? ඒ වගේ හරියට තෝරා බේරාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. මට පසුතැවිලි වෙන්න දේවල් නෑ. මොනවා හරි කරදරයක් වෙනවා දැක්කොත් මම එයින් අයින්වෙලා මගේ පාඩුවේ ඉන්නවා. ඒක මට හරි සනීපයි. පසුගිය කාලයේ ඒ වගේ හරිම කනගාටුදායක සිදුවීම් දෙකක් මට සිදුවුණා. ඒ දෙය මට තදින්ම බලපෑවා. මෑතකදී මගේ මල්ලී, එහෙම නැචත්නම් සෙනාලිගේ තාත්තාගේ වියෝව මට පුදුමාකාර විදිහට දැනෙන්නේ. එයාව මට බේරාගන්න බැරිවුණානේ කියන දුකයි. කොරෝනා වසංගතයට ලෝකයම මුහුණදීලා ඉන්න වෙලාවේ ඒකට මොකද කරන්නේ කියලා හරි අසරණ වෙච්ච අවස්ථාවක්.

ඒ වගේම මගේ හොඳම හිතවත්, ළඟින්ම සිටි යාළුවෙක් හිටියා කෙවින් අජිත් කියලා. ඉතාලියේ හිටියේ. එයත් මෑතකදී නැතිවුණා. මගේ ජීවිතයේ හරිම කිට්ටුවෙන් හිටිය. කොච්චරද කිට්ටු කියනවා නම් හැමදාම දවසකට එයා කෝල් කරනවා. මම එක කෝල් එකක් දෙනවා. එයා ඉතාලියේ හිටියත් අපි දෙන්නා ඒ තරමට සම්බන්ධයි. මගේ ක්ෂේත‍්‍රය, මගේ රංගනය ගැන, කොටින්ම මගේ ඇඳුම් පැළඳුම් හැම එකක්ම වගේ ඔහු හොයා බැලූවා. මගේ රසිකයෙක් වුණත්, ඊට එහා ගිය හිතවත්කමක්, ලෙන්ගතුකමක්, ආදරයක් තිබුණා. ඔහු නැතිවීම විශාල දුකක්. මාලිනී ෆොන්සේකා නමැති මේ ප‍්‍රවීණ, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය, අධ්‍යක්ෂවරිය තමන්ගේ කතාව අවසන් කළේ බොහෝ හැඟීම්බරවය. මේ වන විට ඇයගේ මල්ලී වන උපාලි ෆොන්සේකා මහතාගේ දියණිය සෙනාලි ෆොන්සේකාද තමන්ගේ නැන්දාත් සමග එකට රංගනයකට ප‍්‍රවිෂ්ට වෙන්න සූදානමින් සිටින්නීය. ඒ නිසා මේ කතාබහට සෙනාලිවත් එකතු කරගන්නට මම අදහස් කළෙමි.

#8  සෙනාලි, ඔයා පළමු වතාවට නැන්දා (ආචාර්ය මාලිනී ෆොන්සේකා) එක්ක ටෙලිනාට්‍යයක රඟපාන්න හදන්නේ. ඒ ගැන මොකද සිතෙන්නේ?  ඇත්තටම මගේ රංගන ජීවිතයට දැන් අවුරුදු 6ක් වෙන්න කිට්ටුයි. අපිට හැමෝටම තිබෙනවානේ සංධිස්ථාන ටිකක්. ඉතිං මම හිතන්නේ මගේ ජීවිතයේ එක් සංධිස්ථානයක් තමයි මේක. මම විශ්වාස කරනවා ඇයත් එක්ක මේ විදිහට රංගනයේ යෙදෙන්න ලැබෙන එක, මගේ රංගන ජීවිතයේ ලොකුම සංධිස්ථානයක් කියලා. තවම රූගත කිරීම් පටන් ගත්තේ නෑ. ඒකට අපට කොයිතරම් ප‍්‍රමාණයක් වැඩකරන්න ලැබෙයිද කියන එක තවම කියන්න හරියට දන්නේ නෑ. මම හිතනවා, අපිට එහෙම එකම නිර්මාණයේ එකට රඟපාන්න ලැබුණොත් එය මගේ රංගන දිවිය තවත් පෝෂණය කරගන්න අත්වැලක් වේවි.